Local News News

මාර්තු වන විට රට පංච මහා අර්බුදයකට….

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනා යනු මෙරට අයිතිකරුවන් නොව ජනතාව විසින් ඔවුන් වෙනුවෙන් රට පාලනය කිරීම සඳහා භාරදුන් භාරකරුවන් පමණක් බව බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේ ය.

ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ පාර්ලිමේන්තුව අමතමිනි.

ඒහිදී බලශක්ති අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ප්‍රකාශ කර සිටියේය

මේ අර්බුදය කොරෝනා නිසා ද ?

විපක්ෂ නායක තුමාගේ සංඛ්‍යාලේඛන වලින් පිරුණු කතාවෙන් පසුව මේ ගරු සභාව අමතන්න ලැබීම ගැන සතුටු වෙනවා. අවාසනාවට එතුමාට සමහර සංඛ්‍යා ලේඛන ලබා දීලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් ඒ සංඛ්‍යාලේඛන වැරදියි. ඒවට මම පිළිතුරු දීම පසෙක තබලා මා එතුමා මතුකළ එක ප්‍රශ්නයක් මගේ කතාව ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. එතුමා ඉතා වැදගත් ප්‍රශ්නයක් මතු කළා. සමස්ත ලෝකයම කොරෝනා වසංගතයට මූණ දුන්නා නම් ශ්‍රී ලංකාව විතරක් රටවල් බහුතරයකට නැති අර්බුදයකට මුහුණ දෙන්න සිදු වෙලා තියෙන්නෙ ඇයි ? ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි මේ ප්‍රශ්නයට උත්තරේ මං ගියවර අයවැය විවාදයේ දී ඉදිරිපත් කළා. විපක්ෂ නායකතුමා ඉන්නේ නැතිව ඇති . මම නැවතත් ඒ පිළිතුර දෙන්නම්.

අද අපි ඉන්නේ මේ කොරෝනා නිසා ඇතිවුන අර්බුදයක නෙමෙයි. 1955 සිට ම ණය ගනිමින් ආදායමට වඩා වැඩියෙන් වියදම් කිරීම නිසා ඇතවුන ණය විසින් ඇති කරන ලද ආර්ථික අර්බුදයක ඉන්නේ . ඉතිහාසය පුරාම ආර්ථික පුරා මේ ආර්ථික අර්බුදය බැලුනය ට හුලං පිරිලා පිරිලා කොහොමත් තව වසර පහකින් විතර මේක පුපුරන්නයි තිබුනේ. කොරෝනා ආපු නිසා මේ බැලුම පිපිරීම ඉක්මණ් උනා මිසක් කොරෝනා නිසා මේ පැලුම් ඇති වුණා නෙමෙයි. ඇත්තෙන්ම මේ ආර්ථික අර්බුදය තවදුරටත් උඩුදුවා ගියොත් මාර්තු මාසය වන විට පංච මහා අර්බුදයකට අපි මුහුණ දිය හැකි බව මම අනතුරු ඇඟවීමක් කළා .

ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේක අපි හදපු අර්බුදයක් නෙමෙයි. 1955 සිට මේ රට පාලනය කළ සෑම ආණ්ඩුවක්ම මේ අර්බුදයට දායක වී තිබෙනවා . මේ අර්බුදයට අනිවාර්යෙන් වගකිව යුතුයි. ඒ වගේම 1978 සිට අපි අපනයන ආදායමට වඩා වැඩියෙන් ආනයන වලට වියදම් කළා ඩොලර් වලින් ණය අරගෙන. එහෙමනම් කොළ පාට නිල් පාට රතු පාට ගුරු පාට කහ පාට මේ සෑම පක්ෂයක්ම මේ අර්බුදයට දායකත්වය දක්වලා තියෙනවා. ඒ නිසා එකිනෙකාට ඇඟිලි දිගු කරල අපට මේ අර්බුදයෙන් ගොඩ එන්න බෑ.අපි මේ සභාවේ ඉන්න ඕනෑම මන්ත්‍රී කෙනෙක් එක් ඇඟිල්ලක් අනෙකාට දික් කරද්දි ඇඟිලි හතරක් තමන් දෙස දිගුව තිබෙන බව අමතක කරන්න නරකයි . අපි අද මූණ දෙන්නේ එක පක්ෂයක එක ආණ්ඩුවක එක සන්ධානයක ප්‍රශ්නයක් නෙවෙයි . ඉතිහාසයේ සෑම ආණ්ඩුවක් ම දායකත්වය ලබාදීලා බිහිකරපු අර්බුදයකට . මේ අර්බුදය වසරකින් දෙකකින් තුනකින් අවසන් වෙනවා කියලා කාටවත් කියන්න බෑ . කවුරුහරි මේ ආණ්ඩුව පෙරලලා ආණ්ඩු බලය ඉක්මනින් ලබා ගැනීමට සිහින දකිනවා නම් ඔබ ආණ්ඩු බලය ලබා ගන්නවා කියන්නේ මේ අර්බුදයේ උච්චතම ස්ථානයේදී මේ අර්බුදයේ පීඩනය බාර ගන්නවා කියන එකත් සිහිපත් කරන්න ඕනේ.

අර්බුදයට විසඳුම කුමක් ද?

එහෙම නම් අපි දැන් මොකද කරන්න ඕනෙ . අපි එහෙනම් එදා අර ජාතක පොතේ තියෙන වටු කුරුල්ලන්ගේ කතාව වගේ පක්ෂ භේද පසක තියල ද වාද භේද පසෙක තියලා යටි දේශපාලන අරමුණු පසෙක තියලා වටු කුරුළු රෑන සේ මේ ආර්ථික අර්බුදය දැල ඔසවාගෙන යන්න දැන් කාලේ උදා වෙලා කියන එක අපි මේ සමස්ත ජාතියට සිහිපත් කරන්න ඕනේ . මේ අර්බුදයෙන් ගොඩ යෑමේ පළමු පියවර තමයි අපි දැන් ඉන්නේ දැවැන්ත අර්බුදයක කියලා අපි පිළිගැනීම . ඇත්ත කෙතරම් තිත්ත උනත් ඇත්ත ඇත්තමයි. ඇත්ත අපට මඟ හැර යන්න බෑ. මේ 225 දෙනා මේ රටේ අයිතිකාරයෝ නොවේ .ජනතාව විසින් ඔවුන් වෙනුවෙන් රට පාලනය කරන්න බාර දුන්න භාරකාරයෝ පමණයි. ඒ නිසා මේ රටේ සැබෑ අයිතිකාරයෝ වුණු ජනතාවට ඇත්ත දැනගැනීමේ අයිතිවාසිකමක් තියෙනවා . එහෙනම් අපි මේ තිත්ත ඇත්ත ජනතාවට කියන්න පැකිලෙන්න ඕනේ නෑ . දෙවෙනි පියවර තමයි මේ අර්බුදයට හේතු අර්බුදය දිග පළල පිළිබඳ සැබෑ වූ ද ගැඹුරු වූ ද විග්‍රහයක් ඉදිරිපත් කරන්න ඕනේ . අපේ රටේ ජනතාව බුද්ධිමත් අපේ රටේ ජනතාව උගත් ඒ අයට මේ අර්බුදය තේරුම් ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා අපි මේ අර්බුදය සැබෑ ස්වරූපය ගැන ජනතාවට පවසන්න ඕනේ . තුන්වැනි කාරණය වෙන්නේ අර්බුදයෙන් ගොඩ යන මග අපි වහාම ජාතිය ඉදිරියේ තැබිය යුතුයි .ජාතික වැඩපිළිවෙළක් ජනගත කළ යුතුයි . ජනතාව අඳුරේ ඉන්න බයයි. බිංගේක අඳුරේ ගමන් කරන විට ජනතාව යන්නේ සෙමින් . හැබැයි බිංගේ කෙළවරින් ආලෝකයේ එක සේයාවක් මතුවෙනවා නම් අන්න කඩිනමින් ආලෝකය දෙසට ගමන් කරන්න පෙලඹෙනවා .මහ මුහුද මැද ඔහේ හබල් ගාන රුවල් නැවක් ඈත කොනක දූපතක් පේනවා දැක්කම මහා ජවයකින් හබල් ගහන්න පටන් ගන්නවා . ඒ නිසා මාස හයක් ද අවුරුද්දක් ද අවුරුදු දෙක තුනක් ද කොච්චර කාලෙකින් මේ අර්බුදයෙන් ගොඩ යන්න පුළුවන්ද කියන නිශ්චිත වැඩපිළිවෙළක් කාල වකවානු සහිතව අපි ජනගත කළ යුතුයි .

ගොබෙල්ස්ලාට පිළිතුරක්

ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි දැන් මම එන්නම් විපක්ෂය මන්ත්‍රීතුමන්ල ඊයෙ නගපු බොරු චෝදනා වගේම අපේ විපක්ෂ විපක්ෂනායකතුමාගේ කතාවේ තිබ්බ බොරු සංඛ්‍යාලේඛන ගැන පොඩි කතාවක් කරන්න . ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි මේ ආණ්ඩුව අපේ රටේ ණය ශ්‍රේණිගත කිරීම් වලින් පල්ලෙහාට ඇදලා දාලා රට අර්බුදයක හෙලුවයි කියලා එතුමා චෝදනා කළා. නමුත් ගරු මූලාසනාරූඪ මන්ත්‍රී තුමියනි මම පරික්ෂා කරල බැලුවා මේ කතාවේ ඇත්ත නැත්ත.ප්‍රධාන ශ්‍රේණිගත කිරීමේ ආයතන තුනයි .

මූඩීස් B1 සිට B 2 දක්වා අපේ ශ්‍රේණිගත කිරීම පහලට දාන්නෙ 2018 දෙසැම්බර් මාසේ .
ෆිච් රේටින් BB – ඉඳන් B + දක්වා ශ්‍රී ලංකාව පහලට දාන්නෙ 2016 වසරේ .
Standard and Poor’s ශ්‍රේණිගත කිරීම් වල ශ්‍රී ලංකාව B + සිට B දක්වා පහතට දාන්නෙ 2018 දෙසැම්බර් මාසයේ .

එහෙනම් මේ ශ්‍රේණිගතකිරීම් පල්ලම් බැසීම corona නොතිබුණු විපක්ෂය විසින් මේ රට පාලනය කළ යුගයේදී සිදු වුණා කියන එක අපි සිහිපත් කරන්න ඕන . ඒ වගේම එතුමා සඳහන් කළ ආර්ථික වර්ධන වේගයේ දී අන් රටවල් ධන වෙද්දි අපේ රට ඍණ උනේ කොහොමද කියලා. ගරු විපක්ෂනායක තුමනි ඔබතුමා සංසන්දනය කළේ ලංකාව සම්බන්ධයෙන් 2020 දත්ත අනුරට වල් සම්බන්ධයෙන් විශේෂයෙන් ඉන්දියාව සම්බන්ධයෙන් 2021 ට අදාල දත්ත . ලංකාවේ 2021 ට අදාල දත්ත තාම එළියට ඇවිල්ල නෑ. 2020 ගත්තොත් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය – 3.6 යි . හැබැයි ඉන්දියාවේ ඒක – 6.7යි. ලංකාවට වඩාත් වඩා දෙගුණයකින් තමයි ඉන්දියාව 2020දී ආර්ථික පල්ලම් බැසීමක් සිදුවුණේ.

ඒ වගේම ගරු මූලාසනාරූඪ මන්ත්‍රී තුමියනි මම සභාගත කරනවා 2022 ජනවාරි 14 වනදා ජනගහනයට සාපේක්ෂව කෝවිඩ් සමස්ත මරණ ගණන. ඇමරිකා එක්සත් ජනපදයේ ජනගහනයෙන් මිලියනයකට 2550. එක්සත් රාජධානිය 2224. රුසියාව 2148. ප්‍රංශය 1880. ජර්මනිය 1377 . කැනඩාව 824. හැබැයි මේ බැරි බැරියාව කියන අපේ පුංචි ලංකාව 706.6 . මේ ඉලක්ක වලින් පෙන්නන්නේ මා මේ ලේඛනය සභාගත කරනවා එතකොට විපක්ෂ නායක තුමාට එතුමාට ලේඛනය දුන්න අයගේ මූලාශ්‍ර යි මේ මූලාශ්‍රයයි සංසන්දනාත්මකව බලන්න පුළුවන් . මේ මූලාශ්‍ර එවන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කියන එක විපක්ෂ නායක තුමාට මතක් කරන්න ඕන .

ඒ වගේම මා මිත්‍ර ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රිතුමා සභාවේ ඉන්නවා මං ඒ ගැන සතුටු වෙනවා .ඊයෙ එතුමා බොරු චෝදනාවක් නඟලා තිබුණා . ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය පිළිබඳ අපි අත්සන් කළ ගිවිසුම හොර ගිවිසුමක් කියලා එතුමා ඊයෙ බොරුවක් කිවුවා. ඉන්දියාව සමඟ සාකච්ඡා කරන්න කලින් තුන් වතාවක් ජවිපෙ සමග සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂය ඇතුළු සියලුම වෘත්තීය සමිති වලට සාකච්ඡාවේ ප්‍රගතිය දැනුම්වත් කළා. ඒ වගේම අමාත්‍ය මණ්ඩලයට ප්‍රගතිය දැනුම්වත් කළා . තෙල් සංස්ථාවේ ඉහළ කළමනාකාරීත්වයට ප්‍රගතිය දැනුම්වත් කළා . ඒ වගේම ගිවිසුම අත්සන් කරන්න පෙර ඔක්තෝම්බර් මාසේ 14 වැනිදා හිරු බලය වැඩසටහනේදී අපේ වෘත්තීය සමිති නායකයින් එක්ක මේ ගිවිසුම පිළිබඳ සංවාදයක යෙදුණා. ජනවාරි 4 වෙනිදා සමගි ජන බලවේගයෙන් අශෝක් අබේසිංහ මන්ත්‍රිතුමා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මැතිතුමන් එක්ක අපි මේ ගිවිසුම ගැන සංවාදයක යෙදුණා.මං තමුන්නාන්සේලාගෙන් ඉල්ලා සිටිනවා පාළු ගෙවල් වල වලං බිදින්නේ නැතුව ඒ විවාද දෙක බලන්න තමුන්නාන්සේලාගේ පුස් තර්ක වලට අපි එතන පිළිතුරු බැඳලා තියනවා . ඒ වගේම අමාත්‍යාංශ නිලධාරීන් හා මම විපක්ෂය නොමැති රූපවාහිනි ගුවන්විදුලි සංවාද පහක් කළා .ඊට පස්සේ දෙසැම්බර් මාසේ තිස් එක් වෙනිදා ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කරන්න කලින් මාධ්‍ය හමුවක් තියලා ගිවිසුමේ අන්තර්ගතය ජාතියට කිව්වා . එදාම ජාතික සංවිධාන සියල්ල කැඳවලා මේකෙ අන්තර්ගතය ගැන කරුණු පැහැදිලි කරලා ඔවුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දීලා මේවා පැහැදිලි කළා.

ඒ විතරක් නෙමෙයි මේක ඇමති මණ්ඩලයට දාලා ජනවාරි මාසේ තුන් වෙනිදා ඇමති මණ්ඩල අනුමැතිය අරගෙනයි ජනවාරි මාස 6 වෙනි ද අත්සන් කරන්නේ . අත්සන් කළ ගිවිසුම ඊළඟට පැවති පළවෙනි අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරනවා . එදාට පහුවදාම අමාත්‍යාංශය තෙල් සංස්ථාව වෙබ් අඩවි වලින් ප්‍රසිද්ධ කරනවා.ඒ වගේම ගරු මූලාසනාරූඪ මන්ත්‍රී තුමියනි මම සැලසුම් කරල තිබ්බේ ජනවාරි 19 වෙනිදා නැත්තං ඊයේ. ඒ ගිවිසුමත් ගිවිසුම සම්බන්ධයෙන් අපි හදපු පොතත් භාෂා තුනෙන්ම සභාගත කරලා අපේ මන්ත්‍රීතුමන්ලා ට දැනගන්න සලස්වන්න සභානායකතුමා ඉල්ලීමක් කළා. මේ විවාදෙ ට මේ දවස් තුන තියන්න පෙබරවාරි 8 වැනිදා කිවිසුම සභාගත කරන්න . පොත් ටිකත් එදාම දෙන්න . ඊට පස්සේ ඔබතුමාට කල්තැබීමේ විවාදයක් අපි ලබා දෙන්නම් කියලා .නැත්තං මේ ගිවිසුම සභාවටත් අද වෙනවිට ඇවිල්ල ඉවරයි .ඒ නිසා මෙතරම් මෙතරම් පාරදෘෂ්‍ය ආකාරයට ලංකා ඉතිහාසයේ කිසිම ගිවිසුමක් අස්සන් කරල නෑ . අත්සන් කරපු එකම ගිවිසුම තියෙනවා නම් මීට වඩා පාරදෘශ්‍ය කළ ඒ ගිවිසුම මොකක්ද කියලා මේ සභාවට කියන්න කියලා මං විපක්ෂයට අභියෝග කරනවා .

ගරු මූලාසනාරූඪ මන්ත්‍රී තුමියනි ඒ වගේම කිරිඇල්ල මන්ත්‍රීතුමා ඊයේ කිවුවා 2003 එජාපය ඉන්දියාවට දුන්නේ ටැංකි 10 කියලා . ඔක්තෝබර් 6 වැනිදා මෙතුමාත් කබීර්හෂීම් මන්ත්‍රීතුමාත් ඔය බොරු ඔය විදිහටම කිව්ව . මම එදා දෙදහස් තුනේදි ටෑන්කි 99 වසර 35කට ලබාදුන්න ගිවිසුම සභාගත කරලා මෙතුමන්ලට අභියෝගයක් කලා ඔබ කියන ඔය ටැංකි දහයක් විතර දුන්න ගිවිසුම පුළුවන්නම් සභාගත කරන්න කියලා . ඒ දවස ඇතුළත සභාගත කරන්න කියලා කිව්වේ දවස ගෙවිලා ගියා විතරක් නෙවෙයි ගරු මන්ත්‍රී තුමියනි මාස තුනකට වඩා ගත වෙලා ඉවරයි . හැබැයි එහෙම ගිවිසුමක් සභාගත කලේ නෑ . සභාගත කලේ නෑ නෙමෙයි සභාගත කරන්න බෑ මොකද එවැනි ගිවිසුමක් නැති නිසා .

ගරු මූලාසනාරූඪ මන්ත්‍රී තුමියනි මා මේ කාරණයෙන් මගේ කතාව අවසන් කරනවා හිට්ලර්ගේ ප්‍රචාරක ඇමති ජෝසප් ගොබෙල්ස් තමන්ගේ ප්‍රචාරක උපාය ලෙස භාවිතා කළේ තමන්ගේම න්‍යායක්. ඔහු අපූරු දෙයක් තමන් 1925 දී ලියූ පොතක සඳහන් කළා ඒ තමයි එකම බොරුව සිය වරක් පවසන විට අසන්නාට මෙන්ම කියන්නාට ද එය ඇත්තක් ලෙස දැනෙනු ඇත . අද ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය පිළිබඳ ඇත්ත දනිමින් ඒ ඇත්ත නැත්ත කරමින් ඒ නැත්ත සිය වරක් ජප කරන්නේ එය ඇත්ත බවට පත් කර ගැනීමේ ගොබෙල්ස් න්‍යාය අනුගමනය කිරීමටයි කියන එක. විපක්ෂය එවැනි පිළිකුල්සහගත උත්සාහයක යෙදී ඉන්නවයි කියන එක ඉතාම කනගාටුවෙන් වුණත් සිහිපත් කරන්න ඕන . ඒ නිසා මම ඉල්ලා සිටිනවා විපක්ෂයට අපි මේක පාර්ලිමේන්තුවේ විවාද කරමු ඔබට කැමති දින ගණනක් ගමු අන්න එදාට ඔබේ බොරුව ඔබේ නිරුවත ඔබේ ගිවිසුම් සම්බන්ධ ඉතිහාසය මේ රටට හෙළි කරන්න අපි සූදානම් කියන එක මේ ගරු සභාවට සිහිපත් කරමින් මා නිහඬ වෙනවා.

– media unit

Related posts

ක‍්‍රිකට් තේරීම් කමිටුව විසුරුවා හරිනවා..- ක‍්‍රිඩා ඇමති

Shiran Viraj

විල්පත්තු ප්‍රේරක කලාපයේ ‘අවුරා ලංකා’ දැවැන්ත සැනකෙලියක…

Shiran Viraj

නැගෙනහිර සියළු පාසැල් වසා දමයි.. ප‍්‍රචණ්ඩ සුළි කුණාටුවට අවතැන් කදවුරු ලෙස සූදානම්..

Shiran Viraj

Leave a Comment