News Political

ඉන්ධන, ගෑස්, පොහොර, ගල් අඟුරු අර්බුදයන් සියල්ලට නුදුරේදීම විසඳුම් සූදානම්…- විමල් හෙලි කරයි…

විපක්ෂයේ සිටියත් තමන් ඇතුළු ස්වාධීන පක්ෂ එකමුතුවේ නායකයන් විදේශ රාජ්‍යයන් කිහිපයක් සමග සාකච්ඡා කරමින් තෙල්, ගෑස්, ගල් අඟුරු හා පොහොර ලබා ගැනීම පිළිබඳ අර්බුදයන්ට විසඳුම් ලබාදීමේ දැවැන්ත මෙහෙයුමක නිරතව සිටින බවත් ආණ්ඩුවේ ප්‍රතිචාරය අයහපත් නොවුණහොත් එම උත්සාහය තව දින කිහිපයකින් සාර්ථක වනු ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසා සිටියි.

බොරැල්ලේ පිහිටි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවති ස්වාධීන පක්ෂ එකමුතුවේ පක්ෂ නායක මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

විශ්වාසය අහිමි කරගත් අගමැති

“රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය තනතුරට පත් වී මාස දෙකකට ආසන්න කාලයක් ගතවී තිබෙනවා ඔහු එම මාස දෙක තුළ කටයුතු කළ ආකාරය ගැන දැන් ආණ්ඩුව ඇතුළෙන්ම විවේචන එල්ල වීමට පටන් ගෙන තිබෙනවා. හාහා පුරා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණ, ඒ සමගම කැබිනට් අමාත්‍ය ධුරයක් ලබා ගැනීමට හැකියාව ලැබුණු ධම්මික පෙරේරා මහත්තයා අද වන විට පවසා තිබෙනවා, ‘රනිල් වික්‍රමසිංහ මහතා මුදල් ඇමතිකමට සුදුසු නැහැ’ කියා. ඒකට හේතුව ලෙස ඔහු කියන්නේ, කිසිදු සැලැස්මක්, ඩොලර් ඉපැයීමට සැලැස්මක් අගමැතිවරයා සතුව නොතිබීම. ඒ වගේම ආණ්ඩුවට පිටින් කියනවා, ජනාධිපතිවරයාගේ භාවිතය පිළිබඳව සෑහීමකට පත්විය නොහැකියි, කියා. ඒ කියන්නේ වත්මන් පාලනයට විශ්වාසය ගොඩනගා ගැනීමට බැහැ, කියලයි. අඩුම තරමින් වත්මන් අගමැතිවරයාට කැබිනට් මණ්ඩලය ඇතුළෙවත් විශ්වාසය තහවුරු කරගැනීමට බැරිවෙලා තිබෙනවා.

අර්බුද කළමනාකරණය

අර්බුද කළමනාකරණය කියන්නේ වෙනම විෂයයක්. අර්බුදයකදී එම අර්බුදයෙන් ගොඩඒමට උත්සාහ දරන ක්‍රියාන්විතයේ නායකයින් හැසිරිය යුත්තේ සාමාන්‍ය තත්ත්වයකදී හැසිරෙන ආකාරයට නොවෙයි. සාමාන්‍ය තත්ත්වයකදී කැබිනට් මණ්ඩලය සතියකට එක් වතාවක් හමුවීම ප්‍රමාණවත් වීමට පුළුවන්. අර්බුදකාරී තත්ත්වයකදී කැබිනට් මණ්ඩලය සතියකට තුන් වතාවක් හමු වුවත් එය මදි වීමට පුළුවන්. සාමාන්‍ය තත්ත්වයකදී බස්රථයක අසුන් පනවා තිබෙන්නේ එකිනෙකට පිටුපසින් පේළි දෙකකට වෙන්න පුළුවන්. නමුත් අර්බුදකාරී තත්ත්වයකදී එම අසුන් ගලවා මුහුණට මුහුණ බලා ගෙන යා හැකි පරිදි අසුන් සවිකර, මැද වැඩිපුර ඉඩ තිබෙන ආකාරයට සකස් කළ යුතුව තිබෙනවා. අපේ රටේ තිබෙන ලොකුම ඛේදවාචකය තමයි අර්බුදකාරී තත්ත්වයකදී ඉන් ගොඩඒම සඳහා අවශ්‍ය නියමානුකූල පියවර ගැනීම මෙම නායකත්වයන්ගෙන් සිදු නොවීම. ඒ නිසා අර්බුදය දවසින් දවස වැඩිදියුණු වෙනවා. ඒ සමඟම සමාජයේ ආතතිය වැඩි වෙනවා. ඒ වැඩි වෙන ආතතිය පාවිච්චි කරලා රටේ රාජ්‍ය සම්පත් කුණුකොල්ලයට දීමට පොට පාදාගැනීමට බලනවා.

‘පෙට්‍රෝලියම් එකට වැඩේ දීම’

මම දැක්කා අග්‍රාමාත්‍යවරයා පවසනවා, ‘පෙට්‍රෝලියම් එක නාස්තිකාර මහා ණය බරක් තිබෙන ආයතනයක්. මේ බර මහජනයා පිට පටවලා හරියන්නේ නැහැ’ කියලා. ඒ බර මහජනයා නිර්මාණය කළේ නැහැනේ. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ‘රජය සතුව බලශක්ති සුරක්ෂිතාව තිබිය යුතුයි’ යන ප්‍රතිපත්තියේ සිට සිරිමාවෝ ආර්. ඩී. බණ්ඩාරනායක මැතිනියගේ පාලන කාලයේ ඇරඹූවක්. එහි සේවක පිරිස වැඩි නම්, ඇමතිවරු දමපු සේවකයෝ පැටව් ගහලා ඉන්නවා නම් ඒවා කප්පාදු කිරීම ආණ්ඩුව විසින් ගතයුතු පියවරක්. එහෙම නැතිව තෙල් පෝලිමේ පීඩාවෙන් ඉන්න මිනිහාගේ විෂම මනස යොදාගෙන ‘පෙට්‍රෝලියම් එකට වැඩේ දීම’ තමයි අද මේ අර්බුදය කළමනාකරණය කරන අයගේ එකම වැඩේ වී ඇත්තේ. අර්බුදයක් හමුවේ කළමනාකරණය කියන්නේ ඒකට නොවෙයි.

‘පොදු සතුරා සමග සටනක්’

මේ අර්බුදය, ජාතියේ පුනරුදයේ මොහොත බවට පත් කරගැනීමට පුළුවන්. මේ ආර්ථික අර්බුදය කියන සතුරා අද අපි කාගේත් ජීවිතවලට බලපෑම් කරනවා. අද අපි කාටත් ඇත්තේ ආර්ථික අර්බුදය කියන පොදු සතුරා සමග සටනක්. ඒ පොදු සතුරා සමග සටනට මුළුමහත් ජාතිය එකරාශී කරන්න පුළුවන් වෙන්න ඕනේ. මිනිස්සු මැරෙන්න දීලා බලාගෙන ඉන්න එක නෙවෙයි අර්බුද කළමනාකරණය කියන්නේ.

‘පික්-පොකට්’ ගහන මොහොත

නමුත් අපට පෙනෙන්නේ අර්බුදය, පුනරුදයේ මොහොත බවට නොවෙයි, අර්බුදය, ‘පික්-පොකට්’ ගහන මොහොත බවට පත්කරගෙන ඇති බවයි. දැන් එක්තරා ඇමැතිවරයෙක් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ ඇමතිවරයා ඉල්ලා අස්වී ඇත්තේ එක්තරා රටක තානාපතිවරයකු ජනාධිපතිවරයා හමුවී ඒ ඇමතිවරයා තමන්ගේ රටේ සමාගමකින් පගාව ඉල්ලූ බවට සිදු කළ පැමිණිල්ල නිසයි. මේක රට හතරගාතෙන් ඇදවැටී ඇති මොහොතක්. මේ අය, අම්මාගේ මිනිය සාලේ තියාගෙන බූරු ගහනවා. මේ අයට ලැජ්ජාවක් ගෑවිලාවත් තිබෙනවාද? අබමල් රේණුවක තරම්වත් රට ගැන හැඟීමක් තිබෙනවාද? ගෑස් ගෙන්වීම පිළිබඳවත් ඒ වගේම චෝදනාවක් තිබෙනවා. ඊයේ පාර්ලිමේන්තුවේ කෝපා කමිටුවේදී විශාල විමර්ශනයක් සිදු කරලා ඒ පිළිබඳ ඇත්ත නැත්ත සොයා ගෙන තිබෙනවා.

‘අර්බුදයන් සියල්ලටම විසදුම්’

විරුද්ධ පක්ෂයේ සිටියත් අපි කල්පනා කරන්නේ ‘මේ අර්බුදයෙන් රට ගලවාගන්නේ කෙසේද?’ කියලයි. අපි දැන් රජයන් කිහිපයක් සමග සාකච්ඡා කරගෙන යනවා. ඒ සමහර ප්‍රයත්නයන් ඉතාම සාර්ථක ප්‍රතිඵල අත්කර දෙමින් තිබෙනවා. අපි දරන ඒ උත්සාහය සාර්ථක වුවහොත් මේ රටේ ඉන්ධන, ගෑස්, පොහොර හා ගල් අඟුරු ලබා ගැනීම පිළිබඳ අර්බුදයන් සියල්ලටම විසදුම් ලබා දීමට හැකි වෙනවා. අපි හිතනවා, ‘අපේ උත්සාහය සාර්ථක වෙයි’ කියා. අසාර්ථක වුණොත් අසාර්ථක වෙන්නේ මෙරට රජය පැත්තෙන් තිබෙන යම් මන්දගාමී ස්වභාවයක් නිසයි. තව දින තුන හතරකින් අපට පුළුවන් මේ පිළිබඳව ඔබට පූර්ණ විස්තරයක් ලබා දීමට.

අපට වුවමනා මේ රට අවුලෙන් අවුලට යෑමට ඉඩ දීලා වැටෙන යමක් අහුලාගන්න නොවෙයි. මේකට මෙහෙම යන්න දීලා බලා සිටියොත් කෙළවර වන තැනක් ගැන හිතාගන්නවත් බැහැ. නිදසුනක් ලෙස ඉන්ධන නොමැතිකම නිසා හෝ දැන් උතුරු මුහුදේ නාවික හමුදා මුර සංචාර සිදුවන්නේ නැහැ. ඒ වගේම ඉන්ධන හිඟකම නිසා උතුරේ ධීවරයන් මුහුදු යන්නෙත් නැහැ. දැන් ඉන්දියානු ධීවරයා රටේම ධීවර සම්පත නිදහසේ කොල්ලකමින් සිටිනවා. මේ අර්බුදය වැඩෙන්න, වැඩෙන්න වාසිය ලැබෙන්නේ මේ රටේ කිසිවකුටත් නොවෙයි, බාහිර බලවතුන්ටයි.

‘අපි දැන් දැවැන්ත මෙහෙයුමක’

තෙල් නැතිව දුක් විඳින මිනිසුන්ගේ දුක නැති කරන්න, ගෑස් නැතිව හූල්ලන මිනිස්සුන්ගේ දුක නැති කරන්න, විදුලිබල උත්පාදනයට අවශ්‍ය ගල් අඟුරු ටික නියම වෙලාවට ගෙනවිත් දීමට, ඒ වගේම රසායනික පොහොර මේ රටේ ගොවි ජනතාවට ලබාදීමට අපි දැන් දැවැන්ත මෙහෙයුමක නිරතව සිටිනවා. ආණ්ඩුවේ ප්‍රතිචාරය අයහපත් නොවුණොත් ඒ උත්සාහය සාර්ථක කරගැනීමට ඔබෙන් තව දින කිහිපයක් ඉල්ලා සිටිනවා.”

මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්, හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා ද එක්ව සිටියේය.

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

Related posts

බොරුවලට රැවටෙන්න එපා.. පැමිණ එන්නත ලබා ගන්න…

Shiran Viraj

මරදාන ශාන්ත ජෝසප් විදුහලේ ගින්නක්…

Shiran Viraj

ආසාධ්‍ය කොරෝනා අයට දෙන එන්නත් ලක්‍ෂ 7-10ට විකුණයි.. එන්නත් මහ ජාවාරමක්..

Shiran Viraj

Leave a Comment