Local News News

ලංවිම කොම්පැනි 18කට හා ආයතන 4කට කොම්පැනිකරණය වෙයි.. පූර්ණ සැලසුම මෙන්න..

කැබිනට් මණ්ඩලය ගනු ලැබූ තීරණයක් අනුව ලංකා විදුලි බල මණ්ඩලය කොම්පැනි 18කට හා වෙනත් ආයතන 4කට කොම්පැනිකරණයකට ලක්වීමට යන බව හිටපු විදුලි බල ඇමැතිවරයෙකු මෙන්ම 43 සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

එමෙන්ම ජල විදුලිය නිපදවන ජලාශ කොම්පැනිකරණය කළහොත් එය ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සපුරාගැනීම හා ගොවිතැනට ජලය අහිමි වීමේ තර්ජනයක් බව ද ඔහු පෙන්වා දෙයි. එමෙන්ම දැනට පවතින සැබෑ ඉන්ධන මිල හා සැබෑ ඉල්ලුම රටට හෙළිකර දීම අමාත්‍යංශයේ හා මහජන උපයෝගීතා කොමිසමේ වගකීම වන අතර, එසේ නොකර විදුලි බිල වැඩි කිරීම විසඳුමක් හෝ අවශ්‍යතාවයක් නොවන බව ද හෙතෙම පෙන්වා දෙයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ‘විදුලි බල මණ්ඩලය කොම්පැණිකරණය කිරීම’ මැයෙන් 43 සේනාංකය සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවක් අමතමිනි.

“ඉතාම සරලව කිව්වොත්, ලංකාවේ විදුලිබල මණ්ඩලය සහ ඊට අනුබද්ධ ආයතන එකිනෙකට වෙනස් කොම්පැනි 18 කට හා ආයතන 4 ක්ට වෙන් කරන්නට අදාළ කමිටු වාර්තාවක් නිකුත් උනා. ඒ කමිටු වාර්තාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරලා තිබෙනවා. කොම්පැනි 18 කට හා ආයතන 4 ක් හැටියට 22 කට ලංකා විදුලිබල මණ්ඩලය හා අනුබද්ධ ආයතන වෙන්කොට පවත්වා ගැනීම. මේක කියන්න පුළුවන් ලංවීම විසුරුවා හැරීමක් කියලා. මේ යෝජිත වැඩ පිළිවෙල 1969 බිහිකරපු මේ ආයතනය විසුරුවා හැරීමක්”

ජනන, සම්ප්‍රේෂණ හා බෙදාහැරීම් ලෙස ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන අංග 3 ක් පවතී. 2002 දී කොටස් 6 කට වෙන්කොට පාලනය කළත් ලංවිමය නමැති තනි ඒකකයේ පැවැත්ම අහෝසි වූයේ නැත. යෝජිත නව කොම්පැනිකරණය යටතේ ජනන ක්ෂේත්‍රය ආයතන 6 කට වෙන් කෙරේ.

1. “1950 සිට අවු. 70කට අධික කාලයක් මේ රටට විදුලිය ලබා දුන් විමලසුරේන්ද්‍ර මහතා විසින් ආරම්භ කළ ලක්ෂපාන, කැළණි ගඟේ තියෙන සියලුම බලාගාර සංකීර්ණයේ. මාඋස්සාකැලේ, කැන්යෝන්, ලක්ෂපාන, බ්‍රෝඩ්ලන්ඩ් දක්වා තියෙන කැළණි ගඟේ තිබෙන ජල විදුලි බලාගාර සංකීර්ණය.
2. මහවැලිය. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ආරම්භ කරලා, ජේ. ආර්. ජයවර්ධන මහතා විසින් කඩිනම් කරපු කොත්මලේ, වික්ටෝරියා, රන්දෙණිගල, පොල්ගොල්ල ආදී වශයෙන් තිබෙන මහවැලි සංකීර්ණය.
3. ජේ. ආර්. ජයවර්ධන යුගයේ ආරම්භ වුණ සමනල වැව ඇතුළු අනෙකුත් විදුලිබල මණ්ඩලයට අයිති කුඩා ජල විදුලි බලාගාර ඇතුළත්
4. පුත්තලම ලක්විජය බලාගාරයේ මෙගාවොට් 810 කින් යුතු ඒ ගල් අඟුරු බලාගාරය සහිත සංකීර්ණය
5. කැලණිතිස්ස හා සපුගස්කන්ද ප්‍රදේශවල පිහිටලා තියෙන ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ඩීසල් දැවිතෙල් බලාගාර, තාප බලාගාර සංකීර්ණ.
6. බොහොම අමාරුවෙන් අපි ආරම්භ කළ මන්නාරම මෙගාවොට් 100 ක සුළං බලාගාරය

ඊළඟට සම්ප්‍රේෂණ, කොටස් 2 කට වෙන් කරලා තියෙනවා.
7. බලශක්ති පාලන සහ විකිණීම්, (ශක්ති මෙහෙයුම් ඒකකය)
8. දැනට තියෙන රැහැන්ගත ජාලය, රැහැන්ගත සම්ප්‍රේෂණ ජාලය. ඒක තව කම්පැනියක් හැටියට වෙන් කරලා තියෙනවා.

ඊළඟට බෙදාහැරීම්,

9. කලාප 1
10. කලාප 2
11. කලාප 3
12. කලාප 4

නමින් හඳුනාගත්ත දැනටත් තිබෙන ඒ ඒකක 4 කොම්පැණි 4ක් වෙනවා

පස්වෙනි කොම්පැණිය ලෙකෝ එක දැනටමත් කම්පැනියක් හැටියට පවත්වාගෙන යනවා.”

රජය සතු සමාගම් හැටියට යන ඒවා ටික සියල්ලම මහා භාණ්ඩාගාරය යටතට තාවකාලිකව පත් කරන්න යෝජනා කරලා තියෙනවා විදුලිබල මණ්ඩලය. ඊට තව විදුලිබල මණ්ඩලයට අනුබද්ධ ආයතන කිහිපයක් තිබෙනවා.

13. බෙදාහැරීම් ආයතනය,
14. ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් ලිමිටඩ්. ඒකට වෙස්කෝස් බලාගාරයත් අයිතියි. ඒ වගේම සොබා දනවි බලාගාරයත් අයිතියි. අනික ලංකාවට ගල් අඟුරු ගෙන්වන ලංකා කෝල් මේ ආයතන තුනත් වෙන වෙනම කොම්පැනි බවට පත් කරලා, ඒවා මහ භාණ්ඩාගාරයට කරන්න යෝජනා කරලා තියෙනවා.
15. විදුලිබල මණ්ඩලයට විසින් පවත්වාගෙන යන අනෙකුත් සේවා, උදාහරණයක් හැටියට කොළඹ මහ රෝහලේ වායුසමන යන්ත්‍ර ලංවිමය පාලනය කරනවා. ඒක ව්‍යාපාරයක් හැටියට කරනවා. ඒ වගේම සමහර අවස්ථාවලදී විදුලි ජනක යන්ත්‍ර, කුලියට දෙන එක එහෙම කරනවා. ඒ වගේ අමතර සේවා කරනවා විදුලිබල මණ්ඩලය රජයට හා පුද්ගලික අංශයට. එම සේවාවන් සහිත එක තවත් කොම්පැනියක් බවට පත් කරනවා. ඊළඟට ආයතන කිහිපයක් යෝජනා කරලා තියෙනවා.
16. ලංකා විදුලිබල මණ්ඩලයේ සේවක අර්ථසාධකයට වෙනම ආයතනයක් පිහිටුවනවා.
17. විදුලිබල මණ්ඩලය සතු ණය සියල්ල එකට එකතු කරලා, ඒ ණය භාර ගන්නා තවත් ආයතනයක් මහා භාණ්ඩාගාරය යටතේ පිහිටුවනවා.
18. දැනට විදුලිබල ක්ෂේත්‍රයේ කටයුතු කරන, විදුලිබල මණ්ඩලයත් එක්ක යම් යම් ගැටුම් ඇති කරගෙන තියෙන මහජන උපයෝගී කොමිසම සමග වෙනුවට වෙනත් නියාමන කොමිසමක් පත්කිරීමට යෝජනා කරලා තිබෙනවා. ඒ වගේම විදුලිබල ක්ෂේත්‍රයේ පැන නගින ගැටුම් විශේෂයෙන්ම ප්‍රසම්පාදන ක්‍රියාවලීන් ආදියේදී පැන නැගෙන ගැටුම් වල විසඳීම සඳහා ස්ථිර විනිශ්චය මණ්ඩලයක් පිහිටුවීමටත් යෝජනා කරලා තියෙනවා.

ඒ වගේ විදුලිබල බලශක්ති ප්‍රතිසංස්කරණ පනත, නමින් නව පනතක් යෝජනා කරලා තියෙනවා. මේක ක්‍රියාත්මක කිරීම සඳහා. ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා, වසර දෙකක කාලයක් ඇතුළත මේ පරිවර්තනය අවසන් කිරීම තමයි අරමුණ.

“මෙහි භයානකම අංගය තමයි. ජල විදුලිය කොම්පැනි කරණය කිරීම. මේකට නම් මේ රටේ ජනතාව කිසිම විදිහකට කිසිම රජයකට ඉඩ දිය යුතු නෑ. ලක්ෂපාන බලාගාරයට සම්පූර්ණයෙන්ම ඒ බලාගාර සංකීර්ණයට කැලණියේ ගඟේ අපි ගෙවලා ඉවරයි. මහවැලි බලාගාර වලට මේ රටේ ජනතාව ගෙවලා ඉවරයි. මේවා නැවත විකුණන්න පාලකයින්ට කිසිම අයිතියක් නෑ.”

“මේ ජල විදුලි බලාගාර හුදු විදුලි බලාගාර නෙමෙයි. පුත්තලම ගල් අඟුරු බලාගාරය වගේ. විදුලිය සපයනවා ඇරෙන්න වෙන කරන කිසිම මෙහෙවරක් නෑ. නමුත් කැළණි ගඟෙන් තමයි කොළඹ නගරයේ වතුර බොන්නේ. ගම්පහ දිස්ත්‍රික්කයේ වතුර බොන්නේ. මහවැලි ගඟෙන් තමයි, මහවැලි කලාපයේ ගොවියෝ වතුර දැම්මේ. දැන් කොම්පැනි වලට විකුණුවාට පස්සේ කොළඹට වතුර දෙන්න බැහැ. අපි ඒකෙනුත් හදනවා කියලා ඒ කොම්පැණිය කිව්වොත්. මොකද කොළඹ නගරයේ ජල පානය කරන මිනිස්සුන්ට වෙන්නේ. මහවැලිය වික්ටෝරියාව අපි දිගටම දුවනවා. අපිට වැඩක් නැහැ. යල කන්නේ මහ කන්නයට වතුර දෙන එක කියලා කොම්පැනිය කල්පනා කළොත් මොකද වෙන්නෙ ගොවියන්ට. ඒ නිසා ප්‍රායෝගිකව මේ කවුරු උඩ ඉඳන්, හීතල කාමරවල ඉඳන් මේවා විකුණලා, අච්චර ඩොලර් එනවා, මෙච්චර ඩොලර් එනවා කියලා හීන මැව්වට, මේවා රටේ ජනතාවගේ ජාතික සම්පත් මේ වතුර. මේවායින් දස ලක්ෂයන් සංඛ්‍යාත පිරිසක් වතුර බොනවා. විශේෂයෙන්ම බස්නාහිර පළාතේ මිලියන 1.5 කට අධික පිරිසක්, ලක්ෂ පහළොවකට අධික පිරිසක් ජලය පානය කරනවා. එක කොම්පැනියක අතට දුන්නොත් එහෙම මොනවා වෙයිද? ලක්ෂ සංඛ්‍යාත හෙක්ටයාර් ප්‍රමාණයක් මහවැලියේ වගා කරනවා. ගොවි පවුල්. ලක්ෂ සංඛ්‍යාත ගොවි පවුල් ප්‍රමාණයක් යැපෙනවා. මහවැලියේ කොම්පැනියකට දුන්නොත් මොකද වෙන්නේ? ඉතින් ඒක නිසා මේවා ගැන කිසිම අවබෝධයකින් තොරව කරපු දෙයක් අපි තරයේම විරුද්ධයි”

ප්‍රශ්නය:

විදුලි බිල වැඩි කරන්න බැරි වෙනවා නම් පැය 5-6 ක් විදුලිය කපන්න වෙනවා කියලා ජනතාවගේ තියෙන ප්‍රශ්නත් එක්ක ආණ්ඩුව කේවල් කරනවා කියන ගතිය පේනවා. ඔබතුමා මොකක්ද හිතන්නේ

පිළිතුර:

ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති හැමදාම පාවිච්චි කරපු ආයුධය ඕක තමයි. මිනිස්සුන්ව අත්අඩංගුවට අරගෙන ප්‍රාණ ඇපයට අරගෙන තමයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඇත්තෝ කටයුතු කළේ මුලින්ම කියන්න ඕනේ, මේ දැනට කියන කතා, ඒ කියන්නේ මේ ජනතාවට සහනයක් දෙනවා. රුපියල් 56 ඒකකය රු. 29 ට විකුණනවා. ඒකක තිහට අඩු දුප්පත් ජනතාව ඒකකයට ගෙවන්නේ රු 8 යි. හැබැයි අපිට පනස් හයක් යනවා. ඒකක තිස් එකයි හැටයි අතර අය ගෙවන්නේ රුපියල් දහයයි. අපිට පනස් හයක් යනවා. ඒකක හැට එකයි, අනූවයි අතරේ ගෙවන්නේ රුපියල් දාසයයි. අපට රුපියල් පනස් හයක් යනවා. අපිට පාඩුයි කියලා කියනවනේ නේද?

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉන්න ප්‍රධානීන් කියනවා. ඇමතිතුමත් කියනවා. මේක තමයි කියන කතාව. මේක පට්ටපල් බොරුවක්. ඒක කියන්න ඕනේ. කොහොමද එහෙම වෙන්නේ? පළවෙනි දේ ලංකා විදුලිබල මණ්ඩලය කොහොමද විදුලිය නිපදවන්නේ? පළමුවෙන්ම අඩුම ගාස්තු සහිත දේවල් තමයි මිනිස්සුන්ට ලබාදෙන්නේ. අඩුම ගාස්තු තියෙන්නේ. මොනවද ඒ? මුලින්ම දෙන්නේ ලක්ෂපාන විදුලිය. කීය ගානේද? විදුලි ඒකකයක් රුපියල් 2.41 ගානේ. මේ වසරේ කීයක් ඒකක නිපදවලා තියෙනවද? මේ වසරේ දැනට අපේක්ෂිත ඒකක ගණන දෙසැම්බර් මාසෙත් එක්ක. ගිගාවොට් පැය 1440 යි. ඉතිහාසයේ ලොකුම ගානක් ඒක. ඊළඟට කාගේ විදුලියද ගන්නේ? ඊළඟට ගන්නේ මහවැලි විදුලිය. මහවැලි විදුලිය කීය ගානද ගන්නේ? රුපියල් 2.70 ගානේ ඒකකය. කීයක් ගන්නවද? මේ වසරේ අපේක්ෂිත ගාන 2385 යි. ගිගාවොට් පැය.

ඊළඟට ගන්නේ සමනල විදුලිය. කීයද ගාන? 675යි ගිගාවොට්. 3.68 ගානේ ගන්න දැන් මේ එකේ ඉඳන් තිහ දක්වා ආයේ කොච්චර පාවිච්චි කරනවාද? 4500 ක් ඊගාවට මේ එකේ ඉඳන් තිහ දක්වා ඉන්න ලක්ෂ දාහතරක් වෙච්ච දුප්පත්ම වැසියෝ විදුලි ඒකක කීයක් ගන්නවද? 170 යි. ජල විදුලිය මේ රටේ ජනතාවට අයිති ක්‍රම දෙකකට. එකක් ඒක නිකන් ලැබෙන සම්පතක්. දෙක එකට මිනිස්සු ගෙවලා තියෙනවා. ඔය සියලුම බලාගාරවල ණය ගෙවන්න රටකජු විකුණන, පාරේ හිඟමන් යන, යාචකයාගේ ඉඳන් හැමෝම ගෙවලා තියෙනවා. ඒ නිසා ඒ විදුලිය ජනතාවට ලැබිය යුතුයි. ඒක මේ ලංකා විදුලිබල මණ්ඩලය දෙන සහනාධාරයක් නෙමෙයි.

ඒ සියලුම දෙනාට, ඊළඟට තිස් එකේ ඉඳන් හැටට ලක්ෂ දාහතක් ඉන්නවා. කීයද පාවිච්චි කරන ඒකක ගාන? 846 යි. ගිගාවොට් පැය. හැට එකේ ඉදන් අනූවට ඉන්නවා ඒත් ලක්ෂ දාහතක්. හරි. මේ ටික ඔක්කොම එකතු කළාට පස්සේ ඉන්නවා ලක්ෂ පනහක්. ඔක්කොම විදුලිබල පාරිභෝගිකයෝ ඉන්නේ ලක්ෂ හැත්තෑ පහක්. හරි. එතකොට මේ ලක්ෂ හැත්තෑ පහෙන් ලක්ෂ පනහක්ම පාවිච්චි කරන්නේ කීයද? ගිගාවොට් පැය 2422 යි. රුපියල් 2.70 ගානේ ජල විදුලිය නිපදවනවා 4500 ක්. එතකොට මේ මිනිස්සුද මේ ඩීසල් බලාගාර ක්‍රියාත්මක කරලා තියෙන්නේ? නෑ. ඒවා ක්‍රියාත්මක කරලා තියෙන්නේ අධික විදුලිය පාවිච්චි කරන අය. අන්න ඒගොල්ලන්ට සහන දීලා. ඒ නිසා මතක තියාගන්න. මේ ජල විදුලි බලාගාර පාවිච්චි කළාට පස්සේ පාවිච්චි කරන්නේ පුත්තලමේ ගල් අඟුරු බලාගාරය. ඒ පුත්තලමේ ගල් අඟුරු බලාගාරය අවශ්‍ය වෙලා තියෙන්නේ ඇයි? අධික ඒකක ගානක් පාවිච්චි කරනවා ඒ නිසා. ඒකක එකසිය අසූවට, තුන්සීයට වඩා වැඩියෙන් පාවිච්චි කරන ගෘහස්ථ පාරිභෝගිකයෝ, වාණිජ පාරිභෝගිකයෝ, කර්මාන්ත පාරිභෝගිකයෝ නිසා. එහෙනම් ඒගොල්ලොයි ඒක ගෙවන්න ඕනේ. එහෙම නැතුව මේ අනිත් මිනිස්සු නෙමෙයි.

ඊළඟට ඉනුත් එහාට ගියාට පස්සේ විදුලි ඉල්ලුම. පුත්තලම් බලාගාරයත් එහාට ගියාට පස්සේ, විදුලි ඉල්ලුම සපයන්නේ කවුද? එක වගේ, දැවිතෙල් බලාගාර ඉදිරිපත් වෙනවා. කවුද ඒකට ගෙවන්නෙ මේ ඒකක තිහේ, හැටේ, අනූවේ අයද? නෑ. ඒකක හාරසිය පනහේ, පන්සීයේ, හයසීය පාවිච්චි කරන අය. ඒකට ගෙවන්න ඕන. ඊටත් පස්සේ ඕන වෙනවා අර අධික මිල සහිත ඩීසල් බලාගාර, කවුද ඒකට අවශ්‍ය වෙන්නේ? ඒකක තුන්දාහක්, හාරදාහ පාවිච්චි කරන අය. ඒගොල්ලෝ විදුලිබල මණ්ඩල පද්ධතියේ නැත්නම්, ගෑස් ටර්බයින් පාවිච්චි කරන්න ඕනේ නැහැ. ඒකක පන්සීයට වැඩි අය, විදුලිබල මණ්ඩල පද්ධතියේ නැත්නම්, එක පාවිච්චි කරන්න ඕනේ නැහැ. ඒකක තුන්සීයක විදුලිබල මණ්ඩල පද්ධතිය නැත්නම්, ගල් අඟුරු බලාගාරයේ අවශ්‍යතාවයක් නෑ.

එහෙනම්, මේ අනුන්ගේ, විදුලිබල පරිභෝජනයකට, දුප්පත් මිනිහට, ඒ නිසා මම කරුණාවෙන් ඉල්ලනවා විදුලිබල මණ්ඩලයේ සියලු දෙනාගෙන්ම, මේ සහන දෙනවයි කියන පට්ටපල් බොරුව කියන්න එපා. අපි මේවට ගෙවලා තියෙනවා. ඒවාට ලැබෙන්න සලස්වන්න. එච්චරයි. ලංකා විදුලිබල මණ්ඩලයේ මම දැක්කා දාලා තියෙනවා, විවිධ, විය හැකි දේවල් පැය තුනක් විදුලිය කැපුවහම මොකද වෙන්නේ? දෙදාස් විසි තුන ගැන මං මේ කතා කරන්නේ. පැය තුනක් විදුලිය කැපුවහම මොකද වෙන්නේ? පැය විසි හතරෙම විදුලිය දෙන්න ගියහම මොකද වෙන්නේ? මොකක්ද මේ කරලා තියෙන්නේ? කරලා තියෙන්නේ පළමුවෙන්ම කරලා තියෙනවා අධික ඉල්ලුමක් පෙන්නලා තියෙනවා.

දැන් උදාහරණයක් හැටියට දවස් එකහමාරක් ඊයේ නෙමෙයි පෙරේදා. ලංකාවේ විදුලි ඉල්ලුම තියෙන්නේ ගිගාවොට් පැය හතළිහෙන්. හැබැයි මේගොල්ලන්ගේ එකට අනුව දෙදාස් විසිතුනේදී හතළිස් හතක් එතකොටනේ අර අධික බලාගාර ටික එන්නේ. මම කියන්න ඕන, ලංකාවේ ආර්ථිකය වේගයෙන් කඩා වැටෙමින් තියෙන්නේ. ඇත්ත, දෙදහස් දහනවයේ යහපාලනය තියෙනකොට, හොඳ ආර්ථික තත්වයක් තියෙනකොට, ලංකාවේ විදුලි ඉල්ලුම තිබුණා, ගිගාවොට් පැය පනහේ. දැන් ලබන අවුරුද්දේ මේක වෙන්නේ, එක්කෝ තිස් අටයි, නැත්නම් තිස් හතයි. හතළිස් හතට හදන්නේ ඇයි? අධික බිලක් ලංකා විදුලිබල මණ්ඩලයට යනවයි කියලා පෙන්නන්න. පෙන්නලා අපිව බය වද්දන්න. ඒ නිසා මම ආර්ථික වර්ධනයට අනුකූලවයි මේක වෙන්නේ. ඒ අනුව ක්‍රියා කරන්න. මේ බොරු සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරන්න එපා කියලා විදුලිබල මණ්ඩලයේ, ජනන අංශයේ අයට. ඊළඟට ආර්ථිකය ඍණ නම්, විදුලි පරිභෝජනයත් ඒ අනුව අඩුවෙනවා. ඒක තමයි ඇත්ත මේ රටේ. ආර්ථිකය සීයට නවයකින් සංකෝචනය වුණා මේ වසරේ. විදුලිබල ඉල්ලුමත් සීයට දහයකින් විතර සංකෝචනය වෙලා තියෙනවා. ලබන වසරේ ආර්ථිකය තව සියයට තුනකින් සංකෝචනය වෙනවයි කියලා පුරෝකථනය කරලා තියෙනවා. වියළි බල ඉල්ලුමත් ඒ අනුව අඩු වෙනවා. ඒ අනුව විදුලිය එන්න එන්න අඩුවෙමින් අධික මිල සහිත බලාගාර වැසී යනවා මිසක් අලුතෙන් එකතු වෙන්නෑ.

ලොකුම දේ විදුලි බිල වැඩි කලානේ. ඔක්තෝම්බර් මාසේ ලංකා විදුලිබල මණ්ඩලයේ ලාභය කීයද? රුපියල් මිලියන 2840 යි. දෙදාස් අටසිය හතළිහයි. වියදම වුණා 32986 ක් මිලියන. ආදායම වුණා 35826 ක් මිලියන. එතකොට ඇත්තටම මේ විදුලි බිල වැඩි කරේ ඔක්තෝම්බර් අගෝස්තු මාසේ මැද ඉඳන් දැන් ක්‍රමයෙන් ලංකා විදුලිබල මණ්ඩලයට මුදල් ගලාගෙන එනවා. මේ මේ අධික බිල මේ රටේ මිනිස්සු ගෙවනවා. තවත් පාඩුයි පාඩුයි කිය කිය වැඩි කරන්න කතාවක් නෑ. ඔක්තෝම්බර් මාසේ විතරක් මම වගකීමෙන් කියනවා රුපියල් බිලියන දෙදාස් අටසිය හතළිහක් මේ විදුලි ගාස්තු අසාමාන්‍ය විදිහට වැඩි කිරීම නිසා සල්ලි ඇවිල්ලා තියෙනවා. එතකොට කොහොමද පාඩුයි කියන්නේ? මේ තාම විදුලි බිල වැඩි කරලා තාම මේ මාස දෙකයි. ඉඩ දෙන්න මාස හයක් විතර. ඒ මාස හය ඇතුලත බලමු අපි ලංකා විදුලිබල මණ්ඩලයට තව අතිරේක වියදම් තියෙනවද නැද්ද කියලා බලලා ඊට පස්සේ යම් තීරණයක් ගන්න. මේ දැන් ඉඳන්ම ජනවාරි මාසේ 30% කින් වැඩි කරනවා. ජූලි මාසේ තව 40% කින් වැඩි කරනවා කියලා කියන්න මණ්ඩලයට අයිතියක් නෑ. ඒ වගේම විදුලිබල මණ්ඩලයේ ණය බව අපි පිළිගන්නවා. ඒ ණය පිළිබඳ ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම මහජනයා මත පැටවීමත් වැරදියි. පාඩුවේ ප්‍රමාණය ඇගයීමට ලක් කරලා ඊට පස්සේ පුළුවන් ගාස්තු වෙනස් කරන්න. එහෙම නැතුව මේ ලංකා විදුලිබල මණ්ඩලයේ පිරිසක් එකතුවෙලා අච්චර ඉල්ලුමක් තියෙනවා කියලා වැරදි ඉල්ලුමක් දීලා, අච්චර වියදමක් යනවයි කියලා වැඩි, තෙල් මිල ගණන් දාලා ඒ ගාණට මෙච්චර වැඩි වෙන්න ඕනැයි කියන එක ගෙවන්න අපි ලෑස්ති නෑ. මේ රට ලෑස්ති නෑ.”

මේ මාධ්‍ය හමුවේ දී විදුලි බල ක්ෂේත්‍රයේ තනතුරු දැරූ අත්දැකීම් ඇති හිටපු නිලධාරියෙකු වන 43 සේනාංකයේ නියෝජිත බන්දුල චන්ද්‍රසේකර මහතා ද අදහස් දැක්වීමට එක් විය.

– Media unit

Related posts

නාමල් සෞඛ්‍ය අමාත්‍යංශය වෙනුවෙන් කොරෝනා විදේශාධාර බාරගනී

Shiran Viraj

තවත් මත්පැන් බලපත‍්‍ර..

Shiran Viraj

ජිප් රථයක් ප්‍රපාතයට පෙරළෙයි – සංඝයා වහන්සේ නමක් ඇතුළු 2 කට තුවාල

Shiran Viraj

Leave a Comment