News Political

”මෙහෙම වැඩ කරන්න දෙන්න බෑ” – ජනපතිගෙන් අගමැතිට දෝස්මුරයක් !

ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කිරීමට කැබිනට් පත්‍රිකාවක් තමා විසින් ඉදිරිපත් කර තිබියදී එය නොසලකා කමිටුව රැස්කිරීම පිළිබඳව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (27දා) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාව දෝෂ දර්ශනයට ලක් කොට තිබේ.
ජනාධිපතිවරයා මෙසේ දෝෂ දර්ශනයට ලක් කර තිබෙන්නේ ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කිරීමේ තීන්දුව සති දෙකකට කාලයක් ලබා දෙන ලෙසට සංවර්ධන උපාය මාර්ගික හා ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික් සමරවික්‍රම සිදුකළ ඉල්ලීමෙන් පසුවය.
ආර්ථිකය මෙහෙයවීම කළ යුත්තේ කැබිනට් මණ්ඩලය බැවින් එලෙස කාලය ලබා දිය නොහැකි බව ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.
ජනතාව දුන් පණිවිඩය තේරුම් ගන්න :
පළාත් පාලන මැතිවරණයේදී ජනතාව රජයට පණිවුඩයක් ලබා දුන් බවත් ඒ පණිවුඩය තේරුම් ගෙන රජය වෙනස් විය යුතු බවත් ඒ වෙනස දැන් සිදුකරන බවත් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කොට තිබේ.
“ආර්ථික කමිටුව දැන් අහෝසියි. ඉදිරියේදී රේඛීය අමාත්‍යාංශවලින් එන කැබිනට් පත්‍රිකා ජාතික ආර්ථික සභාවට ආවට පස්සේ දීර්ඝව කතා කරන්න අවශ්‍ය කැබිනට් පත්‍රිකා තිබෙනවා නම් අගමැතිවරයාගෙන් යුත් අනු කමිටුවකට දාලා නැවත ආර්ථික සභාවට එවන්න ඕනෑ.” යැයිද ජනාධිපතිවරයා පවසා ඇත.
එහිදී අගමැතිවරයා පෙන්වා දී ඇත්තේ ජාතික ආර්ථික සභාවේ සංයුතිය පිළිබඳ තවදුරටත් සාකච්ඡා කළ යුතු බවයි.
එම සංයුතියේ කිසිදු ගැටලුවක් නොමැති බව පෙන්වා දී ඇති ජනාධිපතිවරයා ජාතික ආර්ථික සභාවට ඕනෑම ඇමැතිවරයකුට එක්වී කටයුතු කළ හැකි බවත් ප්‍රකාශ කොට තිබේ.
ආර්ථික කළමනාකරණ කමිටුවේ ක්‍රියාවලියත්, ඇතැම් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී සිදුවන වැඩසටහන් පිළිබඳවත් දැඩි විවේචනයට ලක් කරමින් ජනාධිපතිවරයා මෙසේද පවසා ඇත.
මධ්‍යම අධි වේගී මාර්ගය ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව !
මේ අතර මධ්‍යම අධි වේගී මාර්ගය ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව ජපානයේ අදාළ සමාගමට ලබාදීමේ දී මේ ආර්ථික කළමනාකරණ කමිටුව ක්‍රියා කර ඇති ආකාරය සම්බන්ධයෙන් ද මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී දැඩි ලෙස චෝදනා කර තිබේ.
“රටේ ආර්ථිකය ඉවරයි, රටේ ආර්ථිකය හසුරුවන්න මට දෙන්න කියලා කිව්වා. නමුත් ඒක පිළිගන්නේ නැහැ. මේ වැරැදි ආර්ථික ගමන එක්ක රට මේ විදියට ගෙනියන්න බැහැ. මට කරුණු 100ක් වුණත් පෙන්වන්න පුළුවන්.
මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු කරන්න ජපානයේ සමාගමකට පවරලා තිබුණේ ඒ සමාගම ගැන හරියට හොයලා බලන්වෙත් නැතිවයි. මං ජපානයේ සංචාරය කරද්දී දැන ගත්තේ ඒ සමාගමේ අය මේ වෙද්දී ඉන්නේ සිරගත වෙලා කියලා.
මට ගැටලුව තියෙන්නේ පෞද්ගලික කාරණයක් හෝ පුද්ගලයකු සම්බන්ධයෙන් නෙවෙයි. ප්‍රතිපත්තිමය කරුණු නිසා” යැයිද ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
මෙම කැබිනට් රැස්වීමේදී අගමැති රනිල් වික්‍රමසිංහ සහ උපාය මාර්ගික සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම යන මහත්වරුන්ට ඍජුව චෝදනා එල්ල කර ඇති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා, තවදුරටත් මේ ආකාරයට ඉදිරියට යා නොහැකි බවට ද අනතුරු අඟවා තිබේ.
(under the courtesy of srilankamirror.lk news web)

Related posts

අපට IMF ණය අරන් දුන්නා ස්තුතියි..- පකිස්තානය ජනපති රනිල්ට තුති පුදයි..

Shiran Viraj

සෞඛ්‍ය පද්ධතිය බිඳවැටීමේ තර්ජනය හමුවේ තව දුරටත් සංචරණ සීමා පනවනවා ද ?

Shiran Viraj

ලිත්‍රො ගෑස් නව සභාපති පැයෙන් ඉවත් කරයි.. හිටපු සභාපති යලි සභාපති කරයි..

Shiran Viraj

Leave a Comment