News Sports Sports News

ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා පිලේ ආරක්ෂාව වැඩි කරන්නැයි ඉල්ලති

ශ්‍රී ලංකාවේ ස්ථාන කීපයක් ඉලක්ක කරගනිමින් ත්‍රස්තයන් විසින් එල්ල කරන ලද ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව සම්බන්ධව නැවත වරක් සලකා බලන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලීමක් කර තිබේ.

තරගාවලිය නියෝජනය කරනු ලබන සෑම රටක් වෙනුවෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් විශේෂිත ආරක්ෂක සැලසුමක් ලබා දී තිබෙන නමුත් විශාල පිරිසකට මරු කැඳවමින් සහ 500 කට අධික පිරිසකට තුවා සිදු කරමින් ශ්‍රී ලංකාව ඇතුළත පුපුරුවා හරින ලද බෝම්බ හේතුවෙන් ඒ පිළිබඳව නැවත විමසීමක් කළ ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, සැලසුම් කර ඇති ආරක්ෂාවට වඩා වැඩි ආරක්ෂාවක් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලබා දෙන ලෙසද දන්වා තිබේ.

මේ පිළිබඳව ‘දිනමිණ’ට අදහස් දක්වා සිටි ක්‍රිකට් ආයතන ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා, “එයාලා අපිට ආරක්ෂාව සම්බන්ධව සැලසුමක් දීලා තියෙනවා. ඒත් පසුගියදා ශ්‍රී ලංකාවට එල්ල වුණු ත්‍රස්තවාදී ප්‍රහාරය ගැන සලකලා බලලා කණ්ඩායමේ ආරක්ෂාව තව වැඩි කරලා දෙන්න කියලා ආරක්ෂක කලමනාකරු හරහා අයි. සී. සී. එකෙන් ඉල්ලීමක් කළා. ඒ අනුව අපිට වාර්තාවක් ඔවුන් එවයි” යැයි පවසා සිටියේය.

කෙසේ වෙතත් අනපේක්ෂිත අන්දමින් ඇති වුණු ත්‍රස්තවාදී බිය හේතුවෙන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම සිදු කිරීමට නියමිතව තිබූ යුද හමුදා පුහුණු සැසිය සහ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබූ පුහුණු කඳවුරු සියල්ලම අවලංගු කර දැමීමට පියවර ගනු ලැබීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව භාරව කටයුතු කරන එයාර් කොමදෝරු කනිෂ්ක කුලරත්න මහතා ද ඒ සම්බන්ධව ‘දිනමිණ’ හමුවේ අදහස් දක්වමින් සඳහන් කළේ, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පිටු 90 කින් සමන්විතව ලබාදී තිබෙන බවත්, ඒ පිළිබඳව අධ්‍යයනයක් කරමින් අවශ්‍ය කරුණු පිළිබඳව ඔවුන්ගෙන් විමසා සිටි බවයි.

ස්කයිප් තාක්ෂණය උපයෝගී කරගනිමින් පවත්වා ඇති අදාළ සාකච්ඡාවේදී ප්‍රධාන කරුණු 3 ක් සම්බන්ධව අවධානය යොමු කර ඇති කුලරත්න මහතා, ජගත් ක්‍රිකට් කවුන්සිල ආරක්ෂාව භාරව සිටින නිලධාරීන්ගෙන් ඒ පිළිබඳව විමසා සැක හැර ගෙන තිබේ.

“ක්‍රයිස්චර්ච්හි එල්ල වුණු ප්‍රහාරයට පළි ගැනීමක් ලෙස අපිට ප්‍රහාර එල්ල කළ බව ත්‍රස්තවාදීන් ප්‍රකාශ කළ නිසා ශ්‍රී ලංකා කණ්ඩායම ගැන අවධානමක් අපිට තියෙනවා. ඒක නිසා මම මුලින්ම ඇහුවේ ඒ ගැන. එතැනදි ඔවුන් පවසා සිටියේ ඒ පිළිබදව ඔවුන් යළිත් යළිත් සාකච්ඡා කළ බවත්, ආරක්ෂාව සම්බන්ධව ලන්ඩන් පොලිසියද දැනුවත් කිරීමට පියවර ගත් බවයි.

ඊට පස්සේ ඇහුවේ 2017 පැවැති චැම්පියන්ස් තරගාවලියේදී මරාගෙන මැරෙන නොවුණත් ත්‍රස්ත ප්‍රහාරයක තොරතුරු වාර්තා වුණා. ඒ වගේ ප්‍රහාරයක් යළි ඇති නොවෙයිද කියන සහතිකයත් මම ඔවුන්ගෙන් විමසා සිටියා. විශේෂයෙන් වාහන හප්පලා වගේ සිදු කරන ප්‍රහාර ගැන. අනිත් එක තමයි ඩයස්පෝරාවෙන් එල්ල විය හැකි තර්ජන. මොකද අපි හැමදාම ඔහෙ ගියොත් ශ්‍රී ලංකා පිලේ මානසිකත්වය වට්ටන විදිහේ වැඩ නිතරම දැකගන්න ලැබෙනවා. ඒ හැම දේකටම ඔවුන් අවධානය යොමු කරලා තියෙන බව පවසා සිටියා” යැයි කනිෂ්ක කුලරත්න මහතා වැඩිදුරටත් කරුණු අනාවරණය කර සිටියේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව භාර කලමනාකරු ලෙසින් ඒ මහතා කටයුතු කළද එංගලන්තය බලා පිටත්ව යන ශ්‍රී ලංකා කණ්ඩායමට ඒ මහතා ඇතුළත් නොමැති වන අතර කණ්ඩායමේ වගකීම ප්‍රධාන කළමනාකරු ලෙස කටයුතු කරන අසන්ත ද මෙල් සහ සේවා සපයන කලමනාකරු ලෙසින් චන්දිම මාපටුන යන මහතුවරුන් පමණක් කණ්ඩායම සමග පිටත්ව යෑමට නියමිතය.

Related posts

රාමසාන් මාසය පුරාම මුස්ලිම් රාජ්‍ය සේවකයන්ට පහසුකම් රැසක්…

Shiran Viraj

ග‍්‍රාම සේවකලා අද සිට වර්ජනයේ.. වැඩි පඩි ඉල්ලයි…

Shiran Viraj

‘අපි ෆේල් නෑ..’ ආණ්ඩුවෙන් කැම්පේන්

Shiran Viraj

Leave a Comment