Entertainment Entertainment News News

ටෙලි නාට්‍ය, ගුවන්විදුලි හඬකැවීම් නිසා හරිම කාර්යබහුලයි

‘කැලණි පාලම’ වේදිකා නාට්‍යයට වසර හතළිහකට වඩා වැඩි  කාලයකි. ඒ නාට්‍යයේ කටහැකර, අනුන්ගේ ඕපාදූප සොයන ලයිසා  මුණගැසෙන අදහසින් පසුගිය දිනෙක  අපි ඇගේ නිවහනට පිවිසියෙමු.  සැබෑ ජීවිතයේ නම් ඈ බොහොම නිවිච්ච චරිතයකි. ඒ කටහැකර බව  පෙනෙන්නටවත් නැත.  ඒ නිසා ඇගේ ඒ අතීතයෙන්ම  අපි කතාව ආරම්භ කළෙමු.

“85 වසරේදියි මම මුලින්ම යෞවන සමාජ සම්මාන උලෙළවලට කළ නාට්‍යවල රඟපෑවේ. ඒ වගේම මුලින්ම මා හොඳම නිළිය විදියට සම්මානයක් ලබාගන්නේ යෞවන සම්මාන උලෙළේදි. ඒ සජීව මල්මාල

ආරච්චිගේ ‘මායා දොරටු කියන නාට්‍ය යේ රඟපෑ චරිතය වෙනුවෙන්. මේ වන විට ‘කැලණි පාලමේ’ මා නොකළ චරිතයක් නැති තරම්. ආර්.ආර්. සමරකෝන් මහත්තයාගේ නාට්‍යවලට මා මුලින්ම සම්බන්ධ වෙන්නේ ‘දූවිලි’ නාට්‍යයට. ඒ දවස්වල ‘දූවිලි’ නාට්‍යයට රංගන ශිල්පීන් හා ශිල්පිනියන් තෝර ගන්න කාලය. වෙනත් නාට්‍යයකදි මගේ රඟපෑම දැක්ක සමරකෝන් මහත්තයා මට ‘දූවිලි’ නාට්‍යයේ චරිතයකට එන්න කියලා ආරාධනා කළා.

එහි මට තිබුණේ බබෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනකුගේ චරිතය. එක සීන් එකයි තිබුණෙත්. ඒත් සමරකෝන් මහත්තයා මට දිගටම ඒ චරිතය කරන්න කියලා කිව්වා. ඒ වෙනකොටත් වෙන කෙනකු ඒ චරිතය රඟපෑවත් දෙන්නත් එක්ක මාරුවෙන් මාරුවට රඟපෑව ඒ චරිතය අවසානයේ මටම රඟපාන්න වුණා. ඒ විතරක් නොවෙයි පසුව එහි සමහර වෙලාවට සමහර අවස්ථාවල රංගන ශිල්පිනියන් පැමිණියේ නැති වුණාට පස්සේ ඒ චරිත රඟපෑමටත් මට සිදු වුණා.

දවසක් එහි ප්‍රධාන චරිතය වුණු මංගලිකාගේ චරිතය රඟපෑව මැණිකේ අත්තනායකට එන්න නොහැකි වුණේ මේ අතරදියි. එවිට ඒ චරිතය රඟපෑමේ අභියෝගය සමරකෝන් මහත්තයා භාර දුන්නේ මටයි. ඒ අභියෝගය මා භාර ගත්තා. ඉන් පසුවයි මා ‘කැලණි පාලම’ නාට්‍යයේ සුරංගනීගේ චරිතයට සම්බන්ධ වෙන්නේ. ඒත් ඒ චරිතය රඟපෑ ගීතා කාන්තිට වෙනත් කාර්යයක් නියම වීම නිසයි මට ඒ චරිතය ලැබෙන්නේ. ඒ විදියට වසර නවයක පමණ කාලයක් මා සුංගනීගේ චරිතයට පණ දුන්නා. ඒ ඉන්න අතරතුරයි පද්මිණී දිවිතුරුගම හදිසියේම අසනීප වුණේ. ඒ නිසා මට එදා ඈ රඟපෑ ලයිසාගේ චරිතයත්, සුරංගනීගේ චරිතයත් යන දෙක ම රඟපාන්න සිදු වුණා. කොහොම වුණත් පසුව මට ලයිසාගේ චරිතයම රඟපාන්න ලැබුණා. එදා පටන් අද දක්වාම මා රඟපාන්නේ ලයිසාගේ චරිතයයි. ඒ වගේම මා රංජිත් ධර්මකීර්තිගේ ‘මොදරමෝල’ නාට්‍යයටත් රංගයෙන් දායක වුණා.”

ලයිසාගේ චරිතය නිලූකා රේඛානි නම් රංගන ශිල්පිනියට ලැබෙන්නේ ඒ ආකාරයෙනි. එදා පටන්ම අද දක්වාම නොනවත්වාම වේදිකාගත වන ‘කැලණි පාලම’ නාට්‍යය නැරැඹුවේ නැති ප්‍රේක්ෂකයකු වේ නම් ඒ අහම්බයකි. ඒ තරමටම ප්‍රේක්ෂකයන්ගේ ජීවිතය හා බද්ධ වීමට ‘කැලණි පාලම’ නාට්‍යයට හැකියාව ලැබිණි. ඒ නිසාම එහි රඟපාන චරිත ද ඔවුන්ට නුපුරුදු නොවේ. ලයිසා ද එවැනිම චරිතයකි. එහෙත් නිලූකා රේඛානි ලයිසාටම කොටු වී සිටි රංගන ශිල්පිනියක නොවේ. ඇගේ හඬ ගුවන්විදුලි නාට්‍යවලට ද නැතුවම බැරි හඬකි.

“ඒ කාලයේ බොහෝ ගුවන්විදුලි ශ්‍රාවකයන් අතර ජනප්‍රිය වූ ‘මුවන්පැලැස්සේ’ රනීගේ චරිතයට හඬ දුන්නේ මමයි. එයට පසුව ආනන්ද සිරිසේන මහත්තයාගේ නාට්‍ය රැසකටම හඬෙන් රඟපෑමට එක්වීමට මට හැකියාව ලැබුණා. ගුවන්විදුලි රඟමඬල, විශ්ව සාහිත්‍යයේ නිර්මාණ, පෝය නාට්‍යය ඇතුළු බොහෝ නිර්මාණ රැසකටම මගේ කටහඬේ දායකත්වය ලබාදීමට හැකියාව ලැබුණා. මේ දවස්වල දෙරණ නාළිකාවේ ‘අපූර්වා’ කියන රේඩියෝ නාට්‍යයට හඬකැවීමෙන් දායක වෙනවා. ‘මුතුඅහුර’, ‘ආදරෙයි මං ආදරෙයි’, ‘හමුවෙමු ආයේ සංසාරේ’ වගේ විදේශීය නාට්‍යවලත්, ‘නිල්කුරුමිට්ටෝ’, ‘සුපර්ශිවා’ වැනි කාටුන්වලදිත් මගේ හඬ රූපවාහිනි නරඹන්නන්ට අසන්න ලැබෙනවා. ඒ වගේම අලුතින්ම මා රංගන දායකත්වය දැක්වූ සුසිරන්ද සිල්වාගේ ‘මිණිකිරණ’ ටෙලි නාට්‍යය රූගත කිරීම් පසුගිය දවස්වල අවසන් වුණා. රෝහණ බැද්දගේ මහත්තයාගේ ‘රාලහාමි’ කියන නවතම වේදිකා නාට්‍යයේ හාමිනේගේ චරිතයට පණ පොවන්නේ මමයි.”

නිලූකා රේඛානි හඬ කැවීම්, රඟපෑම පිළිබඳ දක්ෂතා ඇති ශිල්පිනියක් පමණක් නොවේ. ඈ පිටපත් ලිවීමට ද දක්ෂතා දක්වන්නියකි.

“මා පසුගිය කාලයේ පෝය නාට්‍ය කිහිපයක්ම ලිව්වා. පළමු රාජ්‍ය ටෙලි සම්මාන උලෙළේ හොඳම අධ්‍යක්ෂණය විදියට නිර්දේශිත වුණේ මා ලිව්ව ‘මාද මගේ ද’ කියන නාට්‍යයයි. ඊට පස්සේ ස්වාධීන රූපවාහිනියට පෝය නාට්‍ය මාලාවක්ම ලිව්වා. දැනටත් මා නාට්‍ය පිටපත් ලියනවා.”

කැලණි පාලම නාට්‍යය හැරුණු විට ඇයව බොහෝ දෙනා දන්නේ කාලයකට සිට පැවැත එන ‘කෝපි කඩේ’ ටෙලි නාට්‍ය මාලාවේ රඟපාන ශිල්පිනියක ලෙස ය.

“එහි එක එක විදියට චරිත රඟපානවා. මේ දවස්වල නම් එහි රඟපාන්නේ කමලාගේ චරිතය. මේ වන විට මගේ රංගන දිවියේ මා රඟපාන්න කැමැති බොහෝ චරිත රඟපාලා තියෙනවා. රඟපෑම පැත්තෙන් බොහොම හෙමින් ගමනක් යන්නයි මා අදහස් කරගෙන ඉන්නේ. හෙමින් ගමනක් යන විට දිගු ගමනක් යන්න හැකි වේවි කියන එකයි මගේ අදහස. මේ මොන දේවල් කළත් මගේ ජීවිතයේ ප්‍රධාන තැන ලබා දී තිබෙන්නේ පවුලටයි. ”

ඈ කෝපිකඩේ නාට්‍යයෙන් හැර වෙනත් නාට්‍යයක අප නොදකින්නේ ඒ නිසාම වන්නට ඇත.

“ඇත්තටම මගේ පුතා තිනෙත් පන්සිළු නිසයි මා බොහෝ දුර කෙරෙන ටෙලි නාට්‍යවලට රඟපෑමෙන් සහභාගි නොවන්නේ. දවස් ගණන් ගිහින් නැවතිලා ඉන්න නොහැකි නිසයි මා ඒ නිර්මාණ භාර නොගන්නේ. ඔහු තවම පුංචියි. ලොකු වුණාට පස්සේ නම් මට දුර යන නිර්මාණ භාර ගැනීමට හැකිවේවි.”

තිනෙත් පන්සිළු පාසල් යන්නේ මත්තුමගල කරුණාරත්න ප්‍රාථමික විද්‍යාලයට ය. එහි 4 වසරේ ඉගෙනුම ලබන මේ පුතු වඩාත් දක්ෂතා දක්වන්නේ සංගීතයට ය.

“පුතාට ගීත ගයන්න වගේම තබ්ලාව වයන්නත් හොඳට පුළුවන්. හඬකැවීම් කටයුතුවලටත් මාත් සමඟ සහභාගි වුණා. රඟපෑමට නම් තවම සම්බන්ධ වුණේ නැහැ. ඒ පාසලේ අධ්‍යාපන කටයුතු නිසා.”

රංගන කටයුතුත්, හඬ කැවීම් කටයුතු අතරත්, නිවෙසේ කටයුතු අතරත් කාලය ගත කරන විට නිලූකාට දවස ගත වන විදිය නොදැනෙන තරම් ය. ඈට මේ සියලු කටයුතු සඳහා සහය වන්නේ ඇගේ සැමියා අතුල කුලතුංගයි.

“මධ්‍යම තැපැල් හුවමාරු මධ්‍යස්ථානයේයි ඔහු රැකියාව කරන්නේ. ඔහුගෙන් මගේ කටයුතුවලට ලැබෙන සහයෝගය අපමණයි. මා රංගන කටයුතුවලට යන විට නිවෙසේ සියලු කටයුතු සොයා බලන්නේ ඔහුයි. ඔහුගෙන් සහයෝගය නොලැබෙන්න මට මගේ නිර්මාණ කටයුතු කළ නොහැකියි. නිවෙසේදි වුණත් අප කඩකෑමවලට හුරු වී නැහැ. හැම දෙයක්ම නිවෙසේම හදලයි අප කෑමට ගන්නේ.”

නිලූකා රේඛානි සිය නිර්මාණ කටයුතුවලට අමතරව පවුලේ සෞඛ්‍ය පිළිබඳ ද සිතන්නියකි. ඈ සියලු කටයුතු සමබරව කරගෙන යන්න උත්සාහ ගන්නේ ඒ නිසා ය. ඒ නිසා නිලූකා රේඛානිට ඒ සියලු කටයුතු නිසි අයුරින් කරගෙන යන්නටත්, වැඩිපුර නිර්මාණ කටයුතුවලට සම්බන්ධ වීමටත් හැකිවේවායි යන්නත් අපි සුබ පතමු.
( උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි )

Related posts

යුක්රේන සංචාරකයන්ට කොරෝනා හැදුනාට සංචාරකයන් ගෙන්වීම කිසිසේත්ම නවත්වන්නේ නෑ..- සංචාරක ඇමති

Shiran Viraj

අපි රට හදාගෙන එද්දී මිනිස්සුන්ට විරුවෙක් ගේන්න උවමනා වුනා..

Shiran Viraj

බන්දුල කියන මිලට හාල් හෙව්වොත් බත් කන්නට සිදුවන්නේ නැත! – පා.ම හර්ෂද සිල්වා

Shiran Viraj

Leave a Comment