Local News News

විල්පත්තුවේ අක්කර 1500ක් සුද්ද කරයි.. කෝමාරිකා වගාවක්ලු..

රාජාංගණය,යාය 18 ප්‍රදේශයේ කෝමාරිකා වගාව සිදු කරන පෞද්ගලික සමාගම විසින් විල්පත්තුව රක්ෂිතයට ආසන්න කලාපයේ අක්කර 1500 ක් එළි පෙහෙළි කරමින් විශාල පරිසර හානියක් සිදු කරන බව නවතම තොරතුරු මගින් අනාවරණය වී ඇතැයි පරිසර යුක්ති කේන්ද්‍රය සඳහන් කරයි.

මෙම පරිසර විනාශය වහා වැළැක්වීමට පියවර ගන්නා ලෙසත්, අදාළ ව්‍යාපෘතිය සඳහා පාරිසරික ඇගයීම් ක්‍රියාවලියක් සිදු කරනතෙක් මෙම ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවීමට ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය විසින් පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිපියක් ඊයේ (27 වැනිදා) යවා ඇත.

පරිසර යුක්ති කේන්ද්‍රයේ ප්‍රතිපත්ති හා දැනුවත් කිරීමේ නිලධාරි ජනක විතානගේ යන අයගේ අත්සනින් යුතුව එම ලිපිය යවා ඇත.

රාජාංගනය, යාය 18 ප්‍රදේශයේ Aura Lanka Herbals (pvt)Ltd නමැති සමාගමක් විසින් මහා පරිමාණ කෝමාරිකා වගාවක්, කර්මාන්තශාලාවක්, පර්‌යේෂණාගාරයක්, ගෘහස්ථ ක්‍රීඩාංගණයක් ඇතුළු තවත් අංග රැසකින් යුතු මහා පරිමාණ ව්‍යාපෘතියක් අරඹා ඇති බවට ප්‍රදේශවාසීන් පරිසර යුක්ති කේන්ද්‍රය දැනුවත්කර ඇතැයිද එම ලිපියේ සඳහන්ය.

විශාල පරිසර හානියක් සිදු කරමින් කරන මෙම මහා පරිමාණ ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 370 ක් ආයෝජනය කර ඇති බවද එම ලිපියේ සඳහන්වේ.මෙම ව්‍යාපෘතියේ කර්මාන්තශාලාව සඳහා වෙන්කර ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 110 කි. ගෘහස්ථ ක්‍රීඩාංගණය සඳහා වෙන්කර තිබෙන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 28 කි.කෝමාරිකා වගා ව්‍යාප්තිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 97 ක් වෙන්කර ඇත.

මෙවැනි මහා පරිමාණ ව්‍යාපෘතියක් සැලසුම් කළ අදාළ සමාගම වංචනික ලෙස කෝමාරිකා වගාවට පමණක් අවසරය ඉල්ලා ඉකුත් වසරේ (2019) සැප්තැම්බර් මස 04 වැනිදා ANU/RAJ/LND/6/MISCL/1 යන යොමු අංකයෙන් ලිපියක් මධ්‍යම පරිසර අධිකාරියේ උතුරුමැද පළාත් කාර්යාලයට යොමු කර ඇත. එම ලිපියට අනුව එම කාර්යාල නිලධාරීන් සිදුකළ ක්ෂේත්‍ර චාරිකාවකින් අනතුරුව කෝමාරිකා වගාව සඳහා අවසරය ලබාදී ඇත.

මෙම වගා ව්‍යාපෘතියේ පැළ තවාන සඳහා අක්කර 1500 ක භූමිය ඩෝසර් යොදා සකස් කරමින් පවතින බවත්, මෙම මහා පරිමාණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී අනිවාර්යයෙන්ම පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවක් සකස් කළ යුතුව ඇති බවත් පරිසර යුක්ති කේන්ද්‍රය විසින් පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයාට යැවූ ලිපියේ පෙන්වාදී තිබේ.

මීට පෙරද ක්‍රියාත්මක වූ මෙවැනි ව්‍යාපෘති මගින් ජාතික පාරිසරික පනත උල්ලංඝනය වූ අවස්ථා වාර්තා වූ බවත්, නීතිය මගහරිමින් සිදුකරන මෙවැනි මහා පරිමාණ ව්‍යාපාර සඳහා අනුමැතිය ලබාදීමෙන් සිදු වන්නේ නරක පූර්වාදර්ශයක් බවත් වැඩි දුරටත් දක්වා ඇත.

මෙම ලිපියේ පිටපත් මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට වන සංරක්ෂක ජනරාල්වරයාට, වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයාට, පොලිස්පතිවරයාට සහ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු පාර්ශ්ව කීපයකට යොමු කර ඇත.

(under the courtesy of lankacnews.com news web)

Related posts

බැංකු අතර ගනුදෙනු, මුදල් හුවමාරුව පැය කිහිපයකට නවතියි

Shiran Viraj

මාර්තු 2-6 අතර පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා : රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන

Shiran Viraj

නව සන්ධානයේ මංගල රැලිය කැදවයි.. ප‍්‍රබලයන් වේදිකාවට…

Shiran Viraj

Leave a Comment