News Political

මැතිවරණ පවත්වන්න විසුරුවූ පාර්ලිමේන්තුව නැවත කැඳවන්න ජනපතිට බලයක් නෑ..- ව්‍යවස්ථාව මෙහෙමයි…

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රුවන් විජේවර්ධන සහ අනුර දිසානායක මහත්වරුන් විසින් මැතිවරණය සම්බන්දයෙන් නගන චෝදනා වලට පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙසේ පිළිතුරු සැපයීය.

”අපි මාධ්‍ය හමු පැවැත්වීම නවත්වා පූරණකාලිනව සහන සේවා වල යෙදී සිටින අතරේ එජාපයත් ජවිපෙත් ජනාධිපතිතුමාට පදනම් විරහිත චෝදනා නගමින් පාලු ගෙයි වලං බිඳිමින් ඉන්නවා.

එජාප හිටපු රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මැතිතුමාත් ජවිපෙ නායක අනුර දිසානායක මැතිතුමාත් නගන චෝදනාවන්ට පිලිතුරු දීම අපේ යුතුකමක් වෙනවා.

ව්‍යවස්ථාව අනුව මහ මැතිවරණය ගැන වගකීමක් තිබෙන්නේ ජනපතිට බවත් ඒක මැතිවරණ කොමිසමට පැවරීම සුදුසු නැති බවත් රුවන් විජේවර්ධන මැතිතුමා කියනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වගන්තියෙන් ජනාධිපතිට පැවරුණු බලය යටතේ පාර්ලිමේන්තුව විසුරුවීම සහ නාමයෝජනා කැඳවීමටත් මැතිවරණය පැවැත්වීමටත් දින නියම කිරිම දැනටම කරලා ඉවරයි. ව්‍යවස්ථාවේ 103 වගන්තිය අනුව මැතිවරණ පැවැත්වීමේ බලය තිබෙන්නේ ජනාධිපතිට නොව මැතිවරණ කොමිසමටයි. 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24(3) වගන්තියෙන් ලැබුණු බලතල අනුව වසංගත තත්වය සලකා මැතිවරණය කල් දැමීමට කටයුතු කලේ ජනාධිපති නොව මැතිවරණ කොමිසමයි. ඒ නිසා රුවන් විජේවර්ධන මැතිතුමාට කවුරු හරි ගොඩ පෙරකදෝරුවෙක් වැරදි නීති උපදෙසක් දීලා බවයි පේන්නේ.

ඒ වගේම මේ වසංගතය මැද මැතිවරණ පැවැත්වීමට ආණ්ඩුව උත්සාහ දැරීම සුදුසු නෑ කියමින් ජනතාවගේ කඳුළු මැද පටු දේශපාලන වාසි ලබා ගන්න උත්සාහ කරන්න එපා කියලා රුවන් විජේවර්ධන මැතිතුමා වගේම අනුර දිසානායක මැතිතුමාත් කියනවා. වසංගතය මැද මැතිවරණ පැවැත්වීමට ආණ්ඩුවට කිසිම උවමනාවක් නෑ. වසංගත තත්වය යටතේ මැතිවරණය කල් දමනවා කියා මැතිවරණ කොමිසම තීරණය කලාම ආණ්ඩුව ඒ තීන්දුව පිලිගත්තේ ආණ්ඩුවට මැතිවරණයට වඩා වසංගත මර්දනය ලොකු නිසා. වහාම මැතිවරණය පැවැත්විය යුතුයි කියා ආණ්ඩුව කිසිම අවස්ථාවක කියා නෑ. ඒ නිසා ආණ්ඩුවට වසංගත මැද ඡන්ද පැවැත්වීමේ උවමනාවක් තිබෙන බව කීම පදනම් විරහිත චෝදනාවක්.

ජනාධිපතිවරයා පැවැති පාර්ලිමේන්තුව යළි කැඳවිය යුතු බවට අනුර දිසානායක මැතිතුමා කියනවා. ව්‍යවස්ථාවේ කොහේද එහෙම තිබෙන්නේ? විසුරුවා හළ පාර්ලිමේන්තුව යළි කැඳවිය යුතු අවස්ථාවන් එකයි ව්‍යවස්ථාවේ සඳහන් වෙන්නේ. ඒ ජනාධිපති විසින් හදිසි නීතිය පනවන අවස්ථාවක. ව්‍යවස්ථාවේ 155(4) වගන්තිය අනුව හදිසි නීතිය පැනෙව්වොත් හදිසි නීතිය පැනවීමේ ප්‍රකාශනයම පාර්ලිමේන්තුව කැඳවීමක් වෙනවා. නමුත් ජනාධිපතිතුමා විසින් හදිසි නීතිය පනවලාත් නෑ පනවන්න බලාපොරොත්තුවකුත් නෑ. එහෙම නම් පාර්ලිමේන්තුව යළි කැඳවීමේ නීතිමය බැඳියාවකුත් නෑ.

ව්‍යවස්ථාවේ 70(7) වගන්තිය අනුව හදිසි අවස්ථාවක දී පාර්ලිමේන්තුව කැඳවීමට අවශ්‍ය යැයි ජනාධිපති කල්පනා කරනවා නම් පාර්ලිමේන්තුව කැඳවන්න පුළුවන්. නමුත් කොරෝනා මර්දනයට පවතින නීති ප්‍රමාණවත් කියා නිලධාරින් කියනවා නම් පාර්ලිමේන්තුව කැඳවන්නේ මොකටද?
(under the courtesy of lankacnews.com news web)

Related posts

කරන්දෙණියේ ගම්මාන 06ක් ලොක්ඩවුන්.

Shiran Viraj

වෛද්‍ය පීඨ සඳහා ඇතුළත් කර ගන්නා සිසුන් සංඛ්‍යාව ඉහළ නංවයි

Shiran Viraj

රථවාහන රියදුරු දඩ මුදල් ඉහලට.

Shiran Viraj

Leave a Comment