Local News News

ජාතියේ අපනයන කර්මාන්තය නගාසිටුවීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවය කඩිනමින් යුරෝපය, මැදපෙරදිග, ඈත පෙරදිග වෙත විශේෂිත ගුවන් භාණ්ඩ මෙහෙයුම් ආරම්භ කරයි

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සේවය ගෝලීය ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා දියත් කිරීම බරපතල අනතුරක පවතින මොහොතක ජාතික ආර්ථිකයට නව පණක් ලබාදෙමින් සහ අපනයන කර්මාන්තය  කඩිනමින් නගා සිටුවීම සඳහා තීරණාත්මක පියවරක් ගනිමින් සිටියි.  ඒ අනුව ඉදිරියේ දී ගමනාන්ත ගණනාවක් වෙත ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා දියත් කිරීමට ශ්‍රීලංකන් ගුවන් සේවය කටයුතු යොදා ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා මෙසේ පැවසීය. “පසුගිය වසර 40 ක කාලය තුළ සෑම අර්බුදකාරී තත්ත්වයක් තුළ ම ශ්‍රීලංකන් ගුවන් සේවය සැමවිටම ජාතියේ අවශ්‍යතා ගැන සැලකිලිමත් වුණා. අපගේ ගුවන් සමාගම දුෂ්කර තත්ත්වයකට මුහුණ දී සිටින අවස්ථාවකදී පවා ශ්‍රී ලංකා රජයට සහ සමස්තයක් වශයෙන් ජාතියට සහයෝගය දැක්වීම අපගේ යුතුකම බව අපි හොඳින් දන්නවා. ”

“එළඹෙන මැයි මස 18 වන දින සිට  දියත් කිරීමට සැලසුම් කර ඇති මෙම නිර්භීත මුලපිරීමෙන් සෑම අපනයන කර්මාන්තයක්ම ප්‍රයෝජන ලබන බවට අපට කිසිදු සැකයක් නැහැ. අප මෙය සිදු කරන්නේ   වෙනත් බොහෝ ගුවන් සමාගම් මේ මොහොතේ දී සිය ගුවන් යානා  මෙහෙයුම් නවත‍ා දමමින් සහ ගුවන් මගින් සිදුවන ගෝලීය වෙළඳාම නවතා දමා ඇති අවස්ථාවකය. හැකි ඉක්මනින් රටේ අපනයන කර්මාන්ත නැවත ආරම්භ කිරීමට වත්මන් රජය අතිශයින් උනන්දු වෙනවා.  එසේම මෙම ගෝලීය වසංගතය හමුවේ නිත්‍ය ගුවන් මෙහෙයුම් අකමැත්තෙන් වුවද අත්හිටවූ දිනයේ සිටම ශ්‍රීලංකන් ගුවන් සේවය අපගේ සේවාවන් ඉතා ඉක්මනින් නැවත ආරම්භ කිරීමට අදහස් කර තියෙනවා. ” යැයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙවැනි අර්බුදකාරී කාලයක දී ජාතික ගුවන් සේවය විසින් ඉටු කළ යුතු වැදගත් කාර්යභාරය පිළිබඳ මෙම මතක් කිරීම සිදුකරනුයේ ගෝලීය ගුවන් කර්මාන්තයේ බරපතලම කඩාවැටීමක් සිදුව ඇති මොහොතක සහ ලොව පුරා ගුවන් සමාගම් සිදුවන අලාභය දෙස බලමින් සිය සේවකයින් දහස් ගණනක් සේවයෙන් ඉවත් කරන මෙහොතකය.

ඒ අනුව, ශ්‍රීලංකන් ගුවන් සේවය යුරෝපය, මැදපෙරදිග, ඉන්දියානු උප මහද්වීපයේ සහ ඈත පෙරදිග ප්‍රධාන නගර සමඟ සම්බන්ධ වෙමින් කොළඹ සිට සතියකට විශේෂිත ගුවන් ගමන් 27 ක් ආරම්භ කිරීමට නියමිතව ඇත.  මෙම ගමනාන්ත අතරට යුරෝපයේ ලන්ඩන් සහ ෆ්‍රැන්ක්ෆර්ට්; චීන නගර වන බීජිං, ෂැංහයි සහ ගුවැන්ෂු (කැන්ටන්); ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්; සිංගප්පූරුව සහ ඈත පෙරදිග ටෝකියෝ (නාරිටා); මැද පෙරදිග දෝහා සහ ඩුබායි; දකුණු ආසියාවේ මාලදිවයිනේ අගනුවර වන මාලේ, බංග්ලාදේශ අගනුවර ඩකා සහ ඉන්දියාවේ නගර කිහිපයක් අයත් වන අතර ශ්‍රී ලංකාව වසර ගණනාවක් තිස්සේ ඉන්දියාව වෙත මෙහෙයුම් සිදුකර විශාලතම විදේශීය ගුවන් සේවයද වේ.

මෙම අපනයන භාණ්ඩ ප්‍රවාහනය දේශීය අපනයනකරුවන්ට ඔවුන්ගේ නිෂ්පාදන නව හා පවත්නා ජාත්‍යන්තර වෙළඳපොල වෙත ගෙන යාම සඳහා අත්‍යවශ්‍ය සම්බන්ධතාවයක් වනු ඇති අතර අපනයන භාණ්ඩ නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීමට ද මෙමගින් හැකි වේ. දිගු කලක් තිස්සේ ජාතියේ ආර්ථිකයේ ප්‍රධාන අංගයක් වූ ඇඟලුම් කර්මාන්තය ද මෙයට ඇතුළත් ය.

මෙම ගුවන් ගමන් සඳහා ගුවන් සමාගමේ දැනට පවතින එයාර් බස් A320 සහ A 330 ගුවන් යානා භාවිතා කරනු ඇති අතර, ශ්‍රී ලංකන් විසින් ගුවන් භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ ධාරිතාව සාමාන්‍ය ගුවන් භාණ්ඩ ධාරිතාවට වඩා වැඩි කර ඇත.

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත පැමිණෙන සියලුම ගුවන් යානා වල ගුවන් භාණ්ඩ හැසිරවීම සහ ගුවන්තොටුපළේ  භූමි මෙහෙයුම් හසුරුවනුයේ ශ්‍රී ලංකන් ගුවන් සේවයයි. විවිධ අමුද්‍රව්‍ය, අවධානම් භාණ්ඩ, හුවමාරු භාණ්ඩ, තැපැල්, සජීවී භාණ්ඩ හා වෙන් වටිනා භාණ්ඩ ඇතුළු සියලු වර්ගවල ගුවන් භාණ්ඩ හැසිරවිය හැකි සහ ගබඩා කළ හැකි නවීන භාණ්ඩ ගබඩා සංකීර්ණයක්  බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පිහිටා ඇත. ශ්‍රී ලංකාවේ සම්මානලාභී ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සේවය වන්වර්ල්ඩ් ගෝලීය ගුවන් සේවා සන්ධානයේ  සාමාජිකයෙකි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ගෝඨාභය එයි

Shiran Viraj

විදේශ රැකියා කියා ලාංකිකයන් පිරිසක් රුසියානු හමුදාවට බලෙන් බන්දන්න යයි…

Shiran Viraj

කුඩා දරුවන් පැවිදි කිරීම තලේබාන් පන්නයේ සාහසික ක‍්‍රියාවක්..- මංගල

Shiran Viraj

Leave a Comment