News Political

අධ්‍යාපන ඇමතිකම ප‍්‍රසන්නටද..

ගුරු විදුහල්පතිවරුන්ට ලැබිය යුතු ගෞරවය නිසියාකාරයෙන් ලබාදීම හා ඔවුන් වෙනුවෙන් යුතුකම් හා වගකීම  ඉටු කිරීම රජයේ ස්ථාවරය බව  සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

පේරාදෙණිය රාජකීය උද්භිත උද්‍යානයට වසර දෙසීයක් සපිරීම නිමිත්තෙන් නිල ලාංඡනය එළිදැක්වීමේ අවස්ථාවේදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ  බස්නාහිර පළාත තුළ අධ්‍යාපන අමාත්‍යවරයාව සිටි සමයේදී තමා දස දහසක් ගුරුපත්වීම් ලබාදීම තුළින් බස්නාහිර පළාතේ ගුරු හිඟය අවසන් කිරීමට කටයුතු කළ බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා –

ගුරු විදුහල්පති ගැටලුව විසඳීම සම්බන්ධයෙන් පත්කළ  කැබිනට් අනු කමිටුව ඉදිරියේදී ගුරු  විදුහල්පති වෘත්තිය සමිති සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා.

මගේ මවත් ගුරුවරියක්.

ගුරුවරුන්ට ලැබිය යුතු යුතුකම වගකීම ගෞරවය ලැබෙන්න ඕන කියන දේ ජනාධිපතිතුමත් අපිත්  පිළිගන්නවා.

නමුත් ඒ අයගේ ප්‍රශ්න වලට විසඳුම් සොයද්දී බාහිර ප්‍රශ්න ඇති වෙන එක වළක්වාගෙන ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන ස්ථාවරයේ ජනාධිපතිතුමා ඉන්නවා.ඒ අනුව කටයුතු කරන්න පුළුවන්.නමුත්   වෘත්තිය සමිති කටයුතු කරන ආකාරය පිළිබඳව අමාත්‍යවරයෙක් හැටියට මම විරුද්ධයි. කොවිඩ්  වසංගතය තුළ මෙ කරන දේ හරහා විශාල පිරිසක් රෝගයට ගොදුරු වෙලා  අසරණ තත්ත්වයට පත් වෙනවා.දරුවන්ව උගසට තියලා කිසිම දෙයක් කරන්න  කිසිම කෙනෙකුට අයිතියක් නෑ.ඒ නිසා වගකිවයුතු ගුරු ගෞරවය රකින අය අද අපට කතා කරනවා.හැමෝම එකතු වුණොත් මේ ගැටළුවට විසඳුමක් සොයා ගන්න පුළුවන් කියලා මම හිතනවා.

ගුරු විදුහල්පති ගැටළුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේදී පැහැදිලිවම ගුරුවරුන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතු ආකාරය පැහැදිලි කලා.

මේ කැබිනට් අනු කමිටුව පත් කරලා තිබෙන්නෙත් ගුරු විදුහල්පතිවරුන් සම්බන්ධව ගත යුතු ක්‍රමවේද ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා තීරණය කරන්නයි.

කැබිනට් සංශෝධනයෙන් අනතුරුව අධ්‍යාපන අමාත්‍ය ධුරය ලැබෙන්නේ දැයි මාධ්‍යවේදියකු සිදු කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දුන් අමාත්‍යවරයා සඳහන් කළේ තමා දැනට දරන සංචාරක අමාත්‍යාංශය ඉතාම වගකීම් සහගත අමාත්‍යාංශයක් බවයි.

රටට විදේශ විනිමය ඩොලර්වලින් ගෙන ඒම සම්බන්ධයෙන් වර්තමාන තත්ත්වය තුළ තමාට විශාල අභියෝගයක් ඇති බවත් එම වගකීම බාර ගෙන සාර්ථකව ඉදිරියට කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කලේය. ජනාදිපතිවරයා හා අගමැතිවරයා බාරදෙන ඕනෑම වගකීමක් නිසි ලෙස ඉටු කිරීමට තමන් සූදානම් බව ද ඇමතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

කොරෝනා කාර්ය සාධක බලකාය නීතිවිරෝධී බවටත්  කොරෝනා මර්දන වැඩපිළිවෙළ සෞඛ්‍ය අංශ වලට භාරදිය යුතු බවටත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න වලට පිළිතුරු දුන් අමාත්‍යවරයා –

මේ වසංගතයට අපි හැමෝම එකතු වෙලා මුහුණ දිය යුතුයි. කාර්ය සාධක බලකාය සෞඛ්‍ය අංශ දේශපාලන අධිකාරිය වගේම ජනතාව හැමෝම මේ කොවිඩ් වසංගතයට මුහුණ දිය යුතුයි.

කාටවත් දොස් කීම වෙනුවට අපි හැමෝගෙම වගකීම අපි ඒ ආකාරයෙන්ම ඉටු කලොත් මේ කොරෝනා වසංගතය සාර්ථකව මැඩ පවත්වන්න අපට හැකියාව ලැබෙනවා.

මම ඊයේ පෙරේදා රුසියාවේ සංචාරය කළා. ඒ රටේ ජනතාව මුහුණු ආවරණ වත් භාවිතා කරන්නේ නැහැ. ඒ රටේ නීති ගෙනාවට ඒ මිනිස්සු පිළිපදින්නේ නැහැ.

අපේ රටේ පළවෙනි කොවිඩ් රැල්ල ටත් දෙවැනි කොවිඩ් රැල්ල ටත් මුහුණ දෙමින් රට වහන්න අපි කටයුතු කළා.  එන්නත් ලබා දී තිබුනේ නැති නිසයි එහෙම කළේ.මේ වෙනකොට රටේ එන්නත් වැඩපිළිවෙළ ඉතා සාර්ථකව ක්‍රියාත්මක කෙරෙනවා.

මේ කොවිඩ් වසංගතය කියන්නේ අපි විතරක් නෙමෙයි ලෝකයම මුහුණ දෙන තත්ත්වයක්.

ලෝකය මේ වසංගතේට මුහුණ දෙන අතරම අපේ රටත් අපි ඉදිරියට ගෙනියන්න ඕනේ.

රට වහල ම තිබුනොත් කොවිඩ්  වසංගතේ ට මුහුණ දෙන්න පුළුවන්. නමුත් රටේ ආර්ථිකය  ඉදිරියට යන්න ඕනේ. රටේ ජනතාව එදිනෙදා ජීවත් වෙන්න ඕනේ.

ගොවියෝ වගේම එදිනෙදා රැකියා කරන අය පවා පසුගිය කාලසීමාව තුළ අසරණ වුණා. මේ වෙලාවේ කාටවත් දොස් පවරන්නේ නැතිව වසංගතය පාලනය කිරීම  හැමෝගෙම වගකීමක් කොට සලකා කටයුතු කළ යුතුයි.

මෙරට ප්‍රජාතන්ත්‍රවාදී රටක් ඕන කෙනකුට ප්‍රකාශයක් කරන්න අයිතිය තියෙනවා. බුද්ධිමත් ජනතාව ඒ පිළිබඳ අවබෝධයෙන් ඉන්නවා.

කොවිඩ් වසංගතය මධ්‍යයේ රුසියානු සංචාරකයින් දිවට ගෙන ඒම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍යවරයා –

මීට පෙර අවස්ථා කිහිපයකදී සංචාරකයින්ට අපි රට විවෘත කළා. නමුත් කිසිම අවස්ථාවක සංචාරකයින්ගෙන් කොවිඩ් රැල්ලක් මතු වුණේ නැහැ.

සෞඛ්‍ය අංශවල නිසි ක්‍රමවේද උපයෝගී කරගෙන ජෛව බුබුළු යටතේ  සංචාරකයෝ ලංකාවට ගේන්න විධිමත් වැඩපිළිවෙළක් අපි දියත් කළා.

මේ සංචාරක ව්‍යාපාරයෙන් මිලියන තුනක් වගේ ජනතාවක් ජීවත් වෙනවා.

ඒ අය පාස්කු ප්‍රහාරයෙ ඉඳලම අවුරුදු තුනක් අසරණ වෙලා ඉන්නවා.

ඒ අයට යම් යම් උපකාර සහනාධාර ආණ්ඩුවලින් ලබා දුන්නට ඒක ඉතාම තාවකාලික දෙයක්.

සුරක්ෂිත ආකාරයට  සංචාරකයින් දිවයිනට රැගෙන ඒම තුළින් පමණයි ඒ අයගේ ආර්ථිකය සාමාන්‍ය තත්ත්වයට ගෙන එන්න හැකියාවක් ලැබෙන්නේ.

ඒ අයගේ ආර්ථිකය හැදෙනව කියන්නෙ රටේ ආර්ථිකය හැදෙනවා කියන එකයි.

ඒ නිසා අපි සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි ඒ කටයුත්ත එයාකාරයෙන් සිදු කරනවා .කොරෝනා තුරන් කිරීමට ඖෂධයක් සොයා ගන්නා තෙක් කොරෝනා සමඟ ජීවත් වීමට ජනතාවට හුරු වීමට සිදු වනවා.

කිරිපිටි සහ ගෑස් හිඟය පෙන්වා දෙමින් රට කරන්න බැරිනම්  ඉවත්වන්නැයි විපක්ෂය සිදු කරන ප්‍රකාශය පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍යවරයා –

යහපාලන රජය කල විනාශයන් වලට අද වර්තමාන රජයට මුහුණ දෙන්න සිද්ධ වෙලා තිබෙනවා.

මහ බැංකු හොරකම සහ යහපාලන රජයේ අසාර්ථක ආර්ථික ප්‍රතිපත්ති වර්තමාන  ආර්ථිකය කඩා වැටීමට මූලික හේතුවක් වෙලා තිබෙනවා. යහපාලන රජය කාලයේදී ආර්ථික ප්‍රතිපත්ති 13 කට වැඩිය ගෙනල්ලා තියෙනවා.

මුදල් ඇමතිතුමාත් අගමැතිතුමත් තරඟයට මුදල් ප්‍රකාශ කළා.

මහබැංකු හොරකම ත් එක්ක වැටුන රට තමයි අපට ගොඩගන්න සිදුවෙලා තිබෙන්නේ. අවාසනාවකට කොවිඩ්  වසංගතයත් එක්ක ලෝකෙම මුහුණ දෙන ගැටලුවකට අපටත් මුහුණ මුහුණදෙන්න සිද්ධ වෙලා තියනවා.

යහපාලන රජය අසාර්ථක නිසා තමයි ජනතාව ඒ අයව අයින් කළේ.

යුද්දෙ කරන  කාලෙත් ඔහොම කියවපු පිරිසක් හිටියා. නමුත් යුද්ධ ජයග්‍රහණය කළාම ඒ අයට කට වහගන්න සිද්ද වුණා.

මේ කොවිඩ් වසංගතයකත් හොඳින් පාලනය කරලා රටේ ආර්ථිකය ශක්තිමත් කරලා රටේ ජනතාවට හොඳින් ජීවත් වෙන්න පුළුවන් පසුබිමක් හදන්න ජනාධිපතිවරයා ගෙනයන වැඩපිළිවෙළත් එක්ක මේ පිරිස ආයෙමත් නිහඬ වෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියේදී ආණ්ඩුවෙන් ඉවත් වේ ද යන්න සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා –

මේ ආණ්ඩුව ඉතා සාර්ථක ආණ්ඩුවක් හැලෙන අයට හැලෙන්න පුළුවන්. ඒක ආණ්ඩුවට ගැටලුවක් නොවෙයි. රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන්න ජනාධිපතිතුමා සහ අගමැතිතුමා  කටයුතු කරනවා.

ආණ්ඩුවට එන හැමෝම අපිට හයියක්. කවුරුත් ආණ්ඩුවෙන් ඉවත් වනවා කියලා අපි දුර්වල වෙන්නෙත් නැහැ .

– ප්‍රදීප් අනුර කුමාර

Related posts

PCR පරීක්ෂණ මහජන ඉල්ලීම් අනුව කරන්නේ නැහැ – ඒවා කළ යුත්තේ වසංගත විශේෂඥයින්ගේ මඟ පෙන්වීමට සහ ඊට අදාළ සැලසුමකට අනුවයි – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්

Shiran Viraj

මුස්ලිම් කොරෝනා මෘතදේහ භූමදාන කරන්න කොළඹ නගර සභාවේ සම්මතයි.. යෝජනාව පොහොට්ටු මන්ත‍්‍රීගෙන්..

Shiran Viraj

අපි අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා

Shiran Viraj

Leave a Comment