උද්ඝෝෂණ කිරීමෙන් ඩොලර් උපයාගත නොහැකි බව වෘත්තීය සමිති විසින් තේරුම් ගත යුතුව ඇතැයි බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශකර සිටියේය.
ඒ මහතා මේ බව සදහන් කර සිටියේ බලශක්ති අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක් හා එක්වෙමිනි.
ඒ මහතා එහිදී වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය
උද්ඝෝෂණ කළ විට ඩොලර් ලැබෙනවා ද?
තෙල් පිරිපහදුව විවෘත කරනු, බොරතෙල් ගෙන එනු කියා තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති ඊයේ උද්ඝෝෂණයක් කරනවා මම දැක්කා. අපි බොරතෙල් ගෙන ඒම නතර කලේ රටේ පවතින විදේශ විනිමය සකසුරුවමින් පාවිච්චි කල යුතු නිසා. උද්ඝෝෂණ කලාම ඩොලර් පහල වෙලා බොරතෙල් මිල දී ගන්න පුළුවන් නම් මමත් උද්ඝෝෂණයට එකතු වෙනවා. මොකද මටත් ඕනෑ බොරතෙල් ආනයනය කරලා හැකි ඉක්මනින් පිරිපහදුවේ වැඩ ආරම්භ කරන්න. උද්ඝෝෂණ කරලා විදේශ විනිමය උපයන්න පුළුවන්නම් මැද පෙරදිග රස්සාවල් කරන්න ගිහින් දුක් විඳලා ඩොලර් හම්බ කරනවාට වඩා ලංකාවේ උද්ඝෝෂණ කරලා ඩොලර් හම්බ කරන තිබුනා. නමුත් වෘත්තීය සමිති නොදන්නා ඇත්ත නම් උද්ඝෝෂණ කරලා ඩොලර් උපයන්න හැකියාවක් නෑ. බලශක්ති ඇමති විධියට මට ඩොලර් උපයන්න හැකියාවක් නෑ. තෙල් ආනයනය සදහා මුදල් මට මහා භාණ්ඩාගාරයෙන් ලබා දිය යුතුයි. එහෙම නම් මටත් පුළුවන් “ඩොලර් දියව්” කියලා භාණ්ඩාගාරය ඉදිරියේ උද්ඝෝෂණ කරන්න. ඒ වෙනුවට මම කලේ භාණ්ඩාගාරයට ඩොලර් උපයාගන්න විකල්ප ක්‍රමවේද සකසා ගන්න උදව් කිරීම පමනයි.
ආයතනය රැක ගැනීම සඳහා දුරදිග බලලා අපි තීන්දුවක් ගත්තාම ආයතනයට ආදරය කරන වෘත්තීය සමිති වල වගකීම තමයි ඒ තීන්දු වලට සහය දීම. ඒ තීන්දු වැරදි නම් කළ යුතු විකල්පය පෙන්වා දීම. එහෙම නොකර මෙවැනි බොලද වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අනුගමනය කරපු රාජ්‍ය ආයතන ගණනාවක් වැහිලා ගියා කියන තිත්ත ඇත්ත මට වෘත්තීය සමිතිවලට සිහිපත් කරන්න වෙනවා.
ලෝකයේ බලවත් රටවල් පවා බලශක්ති අර්බූදයකට මැදි වෙලා අසරණ වෙලා ඉන්න වෙලාවක රටේ තෙල් නැති, තෙල් ගන්න ඩොලර් නැති, ගබඩා කරන්න ටැංකි නැති රටක් වෙලාත් තවමත් අපි අඛණ්ඩ තෙල් සැපයුමක් සහතික කර තිබීම ඇත්තෙන්ම හාස්කමක්. වෘත්තීය සමිති පමණක් නොවේ සමස්ථ ජාතියම ඒ ගැන සතුටු වෙන්න ඕනෑ.
බොරතෙල් සඳහා නැති ඩොලර් පිරිපහදු කළ තෙල් සඳහා කොහෙන්ද?
බොරතෙල් සඳහා ඩොලර් නැතිනම් පිරිපහදු කළ තෙල් වලට ඩොලර් කොහෙන්දැයි විපක්ෂ නායකතුමා අපෙන් ප්‍රශ්න කරනවා. අට සමත් විශ්‍රාමික සේවකයෙකුගෙන් තොරතුරු ලබා ගෙන කතා කරන්න ගියාම මා මිත්‍ර විපක්ෂ නායකතුමා අමාරුවේ වැටෙන එක නවත්වන්න බෑ. අපේ පිරිපහදුව යල් පැන ගිය එකක් නිසා බොරතෙල් බැරල් එකකින් පෙට්‍රල් 14% සහ ඩීසල් 29%ක් වශයෙන් හැදෙන්නේ 43%යි. වෙනත් වචන වලින් කිව්වොත් පෙට්‍රල් සහ ඩීසල් බැරල් එකක් හදා ගන්න බොරතෙල් බැරල් 2.32 අවශ්‍යයි. ඔක්තෝම්බර් මාසයේ දී බොරතෙල් බැරලයක සාමාන්‍ය මිල ඩොලර් 85යි. නමුත් ඩීසල් බැරලයක් ඩොලර් 93ක් වෙන විට පෙට්‍රල් බැරලයක් ඩොලර් 95යි. එහෙම නම් අපට ඩීසල් සහ පෙට්‍රල් හැදෙන 14:29 අනුපාතයට ගත්තොත් පෙට්‍රල් – ඩීසල් බැරලයක මිල ඩොලර් 93.65යි. නමුත් පෙට්‍රල් – ඩීසල් බැරලයක් හදා ගැනීමට අවශ්‍ය බොරතෙල් බැරල් 2.32ක් මිල දී ගන්න ඩොලර් 197ක් අවශ්‍යයි. මේ නිසා තමයි සීමිත විදේශ විනිමය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම සඳහා අපි බොරතෙල් ගෙන්වීම වෙනුවට සෘජුවම පෙට්‍රල් සහ ඩීසල් ආනයනය කරන්න තීරණය කලේ.
තෙල් සංස්ථාවට ඒකාධිකාරියක් නෑ. පැය 12ක විදුලි කප්පාදුවක් නෑ.
අර රස්සාවට බොරු කියන විශ්‍රාමිකයා තවත් බොරු ගණනාවක් කිව්වා. පිරිපහදුව වැසීමෙන් තෙල් සංස්ථාවේ ඒකාධිකාරිය නැති වෙනවාලු. දැනටත් තෙල් සංස්ථාවට ඒකාධිකාරියක් නෑ. එල්අයිඕසි සමාගමට තෙල් බෙදා හැරීමේ බලපත්‍රයක් ලබා දීලා තෙල් සංස්ථාවේ ඒකාධිකාරිය නැති කලේ ඔය බොරු කියන විශ්‍රාමිකයාගේ ආණ්ඩුව කාලයේ තමයි. ඒ වගේම පිරිපහදු පවත්වා ගෙන යෑම සඳහා තෙල් සංස්ථාවට ඒකාධිකාරයක් නෑ. ඕනෑම අයෙකුට ලංකාවට ඇවිත් කිසිම බලපත්‍රයක් ලබා නොගෙන තෙල් පිරිපහදුවක් ආරම්භ කරන්න නීතියේ ඉඩ තියෙනවා. මම තෙල් පිරි පහදුවක් ආරම්භ කිරීමට පැමිනෙන නව ආයෝජකයෙක් ඒ සදහා බලපත්‍රයක් ලබා ගත යුතු බවට තෙල් සංස්ථා පනත සංශෝධනය කිරීමට උත්සාහ කල විට ඒකට විරුද්ධ වුණෙත් ඔය වෘත්තීය සමිති තමයි.
ඒ වගේම අධික වර්ෂාව නිසා විදුලි බල මණ්ඩලය අපෙන් දැවිතෙල් මිල දී ගන්නේ නෑ. දැනටත් අපි සීමිත ඩොලර් වැය කරලා ගෙනාපු බොරතෙල් වලින් නිෂ්පාදනය කල දැවිතෙල් ටොන් 13,500ක් පාවිච්චි නොකර ගබඩා කරලා තිබෙනවා. ඒ නිසා බොරතලේ ආනයනය නතර කිරීමෙන් විදුලි කප්පාදුවක් ඇති වන බව තවත් බොරුවක්. ඒ වගේම පිරිපහදුවේ ධාරිතාවය, නිෂ්පාදනය වන එකි නෙක භාණ්ඩ වර්ග ගැන මේ වෘත්තීය සමිති මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා කතා කරලා කිව්වේ පට්ටපල් බොරු.
අඩු මිලට හැකි නම් ගේන්න. කොමිස් ගහන අය සාක්ෂි සහිතව හෙලි කරන්න
ඒ වගේම තව චෝදනාවක් නගනවා හදිසි මිලදී ගැනීම් කරලා කොමිස් ගහන්න තමයි මේ බොරතෙල් ගේන එක නතර කළේ කියලා. ඉහල මිලකට මිලදී අරන් කොමිස් ගහන්න. කවුරුහරි කොමිස් ගහන නිලධාරියෙක් ඉන්නවනම් බොරතෙල් ගෙනෙත්දිත් කොමිස් ගහන්න පුළුවන්. පෙට්‍රල් හා ඩීසල් ආනයනය කිරීමේදිත් කොමිස් ගහන්න පුළුවන්. මොකද එක භාණ්ඩෙකින් විතරක් කොමිස් ගහන හොරු ඉන්නෙ නෑනෙ. අනිත් පැත්තට ඉහළ මිලකට ගන්නවා කියනවා හදිසි මිලදීගැනීම් කරල. ඔබට මතක ඇති මම පිරිපහදුව වහන්න වෙන බව කිව්වේ සැප්තැම්බර් මාසේ 29 . අපි ඒකට සූදානම් වුණා. ඒ නිසා අපි හදිසි මිලදී ගැනීම් වලට යන්නෙ නෑ. පෙට්‍රල් සහ ඩීසල් මිලදී ගන්න අවශ්‍ය දිගුකාලීන ගිවිසුම් දැනටමත් සකස් කරලා ඉවරයි. ඒ නිසා මේ පිරිපහදුව වැහුවා යි කියලා වහල ඉවර වෙලා කොහෙන්ද ගන්න කියන එක කල්පනා කරන්න නෙමෙයි අපි කටයුතු කරල තියෙන්නෙ. අපි ඒවා කලින් සැලසුම් කරලා තියෙන නිසා අපිට හදිසි මිලදී ගැනීම් වලට යාමේ අවශ්‍යතාවයක් මතුවන්නේ නැහැ. ඒ වගේම මම මේ බොරු චෝදනා වලින් දමලා ගහන අයට කියනවා අපි මිලදී ගන්න මිලට වඩා අඩු මිලට පෙට්‍රල් සහ ඩීසල් ලබාදීමට පුළුවන් කෙනෙක් ඉන්නවනම් ඉදිරිපත් කරන්න. ඒ පුද්ගලයා ගෙන් මිලදී ගන්න අපි සූදානම්. ඒ විතරක් නෙමෙයි කවුරුහරි අපේ නිලධාරියෙක් මේ සම්බන්ධයෙන් කොමිස් ගන්නවයි කියල ඔප්පු කරන්න සාක්ෂි සහිතව. අපි අනිවාර්යෙන් ඒ නිලධාරියාට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න සූදානම්
ප්‍රශ්නය
පිරිපහදුව වසා දැමූ පසු එම පිරිපහදුවේ නිෂ්පාදනය කළ පෙට්‍රල් සහ ඩීසල් නො වන අනිකුත් ඉන්ධන වර්ග වලට මොකද වෙන්නේ ?
පිළිතුර
37% ම හැදෙන්නේ දැවි තෙල් සහ නැප්තා. මේ දිනවල පවතින අධික වර්ෂාව නිසා විදුලිබලමන්ඩලය ඒවා අපෙන් මිලදී ගන්නේ නැහැ විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා. අපේ ටැංකිවල ඒවා එකතු කරගෙන ඉන්නවා. අපේ කට්ටියට සිමෙන්ති ගේන්න ඩොලර් නැහැ. ගෑස් ගෙන්න ඩොලර් නැහැ. කිරිපිටි ගේන්නත් ඩොලර් නැහැ. අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගෙනල්ලා නැව් වරායේ නවත්වාගෙන ඉන්නවා බඩු බාන්න විදිහක් නෑ ඩොලර් ගෙවල නැහැ. එවැනි පසුබිමක අපිත් ටැංකිවල ගබඩා කරගෙන ඉන්න දැවි තෙල් සහ නැප්තා හදන්න අපි සීමිත ඩොලර් ප්‍රමාණය යට කළ යුතුද ?
ප්‍රශ්නය
ඒ කියන්නේ ලංකාවට ගෙනත් බොරතෙල් පිරිපහදු කරනවට වඩා කෙළින්ම ඉන්ධන ආනයනය කිරීම ලාභදායී ද?
පිළිතුර
මේ වෙලාවේ තියෙන්නේ ඩොලර් ඉතිරියක්. බොර තෙල් පිරිපහදු කලහම දළ වශයෙන් අපට රුපියල් පහක වගේ ලාභයක් තියෙනවා. අපේ ආනයන භාණ්ඩ වලට දාලා තියෙන බද්ද පිරිපහදු කරපු තෙල්වලට අඩු නිසා රුපියල් 15 ක වගේ ලාභයක් තියෙනවා. ඒ ලාභය තියෙන්නේ රුපියල් වලින්. නමුත් පෙට්‍රල් සහ ඩීසල් සෘජුව ගෙනාවොත් අපට යන්නේ ඩොලර් 93.65 යි එක බැරලයකට. හැබැයි ඒ ප්‍රමාණය නිෂ්පාදනය කිරීම සඳහා රට තුළට බොරතෙල් ගෙන ඒමට අපට වැයවනවා ඩොලර් 197 ක්. දෙගුණයකටත් වැඩි. ඒ නිසා ඩොලර් කළමණාකරනයේදී බොරතෙල් ආනයනය ට වඩා සෘජුව පෙට්‍රල් සහ ඩීසල් ආනයනය කිරීම ලාබයි. විශේෂයෙන්ම මේ මොහොතේ දැවි තෙල් සහ නැප්තා අපි භාවිතයට නොගන්නා නිසා