News Political

අප ඉතිහාසයේ නොවූ විරූ අර්බුදයකයි.. විදුලියට, ඉන්ධනට ඩොලර් නෑ..

‘අපි ජනතාවට යටින් ඉන්න පිරිසක් මිසක් ජනතාවට උඩින් ඉන්න පිරිසක් නෙවෙයි’ යයි බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා පැවසීය.

උපාධිධාරී අභ්‍යාසලාභීන් රාජ්‍ය සේවයේ ස්ථිර තනතුරු සදහා බදවා ගැනීමේ ලිපි ප්‍රදානය සීතාවක සම්බන්ධීකරණ කමිටු සභාපති බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතාගේ ප්‍රධානත්වයෙන් සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවති අවස්ථාවේදී අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය.

මේ දවස් වල ලංකාව අත්හැරලා යන්න පෝලිම හරි දිගයි කියලා සමාජ ජාලාවල කතා වෙනවා. මන් දැක්කා දාලා තියෙනවා සමාජ ජාලාවක පෝස්ට් එකක් පුංචි දරුවෙක් ඉපදුනු ගමන් අඬනවා. අඬන ගමන් කල්පනා කරනවා දොස්තරලා සිංහලෙන් නේද කතා කළේ. ආයිත් ලංකාවෙ ඉපදිලා තියෙන්නෙ කියලා තමයි තමයිලු අර පුංචි දරුවා අඬන්න පටන් ගන්නෙ.

අපිට මේ රට කෙතරම් වටිනවාද කියලා අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ වෙනත් රටවල් වල ජීවත් වෙන්න පටන් ගත්තම. වෙනත් රටවල් ගණනාවක ඉගෙන ගන්න ඒ වගේම වැඩමුළුවලට ගිහිල්ලා දීර්ඝකාලීනව ජීවත් වෙලා තියෙන කෙනෙක් විදියට අපි ඒ වටිනාකම තේරුම් අරන් තියෙන්නේ.

ලංකාවේ තියෙන ඉතා වැදගත් දෙයක් තමයි ලෝකය බොහෝ රටවල් වල නැති නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය . බොහෝ දෙනෙක් නොදන්නවා වුණාට මේ සමස්ත ලෝකයේම නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍යය කියන මේ දෙකම තියෙන රටවල් තියෙන්නෙ දහයක් පමණයි . අපේ රටේ එකේ පන්තියෙන් පටන් ගත්තම විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා ම ආණ්ඩුවෙන් නොමිලේ ලබා දෙනවා . තව පුළුල් වෙලා පොත්පත් ටික නොමිලේ දෙනවා. නිල ඇඳුම නොමිලේ දෙනවා ආහාර වේලක් නොමිලේ දෙනවා යනාදී වශයෙන් මේක තව පුළුල් වුණා . ඒ වගේම ලංකාවෙදි ඕනෑම පුද්ගලයෙක්ගේ ඕනෑම රෝගයකට නොමිලේ ප්‍රතිකාර කරනවා . ඒ විතරක් නෙවෙයි පිටරට ඉඳන් එන මනුස්සයෙක් ගුවන්තොටුපොළෙන් ලංකාවට බහිනකොටම අසනීප වෙලා ඇදගෙන වැටුනොත් එයාව රෝහලට අරන් ගිහිල්ලා එයාට රෝහලේ නවාතැන් නොමිලේ. බෙහෙත් ටික නොමිලේ. වෛද්‍ය සේවා නොමිලේ . සැත්කම නොමිලේ . මෙහෙම කරන රටවල් ලෝකෙටම තියෙන්නෙ 10.

කියුබාවයි ලංකාවයි ඇරුණුකොට එහෙම කළ රටවල් බහුතරය ලෝකේ තියෙන ධනවත්ම රටවල්. සල්ලි නැතුව එහෙම කරන දුප්පත් රටකට ඉන්නේ අපි විතරයි . බොහෝ රටවල් වල අධ්‍යාපනයට තමන් වියදම් කරන්න ඕනේ . සමහර රටවල අම්මට තාත්තට පුලුවන්නං ඒ අධ්‍යාපනය ලබා දෙනවා. එහෙම බැරි නම් කෙතරම් වෛද්‍යවරයෙක් වෙන්න හැකියාව දැනුම තිබුනත් විශ්ව විද්‍යාල ගාස්තු ගෙවා ගන්න බැරි නම් ඒ දරුවාට කවදාවත් තමන් වෛද්‍යවරයා වීමේ සිහිනය සැබෑ කරගන්න පුළුවන් වෙන්නේ නෑ . පාසලේ කෙතරම් හොඳට ලකුණු ගත්තත් විශ්ව විද්‍යාලයට ඇතුළත් වෙන්න ගෙවිය යුතු ගාස්තු ගෙවන්න තම දෙමවුපියන්ට හැකියාවක් නැත්තං ඒ දරුවාට විශ්වවිද්‍යාලයට යන්න පුළුවන් වෙන්නේ නෑ .

බොහෝ රටවල විශ්ව විද්‍යාලයේ උපාධිය කාලෙ යන වියදම ණයක් ලෙස ලබා දෙනවා තමන් උපාධිය ලබා ගත්තට පස්සේ රජයේ සේවය කළත් පෞද්ගලික අංශයේ සේවය කළත් තමන්ගේ උපාධියට රජයට ගිය වියදම තමන්ගෙ වැටුපෙන් කොටස් වශයෙන් කපාගන්න ආණ්ඩුවට ඉඩ දෙනවා . බොහෝ වෙලාවට වසර 10 කින් වගේ කපාගන්නවා . ලංකාවෙ මුලින්ම ඔහොම ණයක් තිබ්බ. පස්සේ ඒකත් අත්හැරලා දැම්මා. ඉතින් මෙහෙම රටේ ජනතාව බලා ගැනීම ආන්ඩුවේ පරම යුතුකමක් කියලා හිතන රාජ්‍යන් තියෙන්නෙ අතිශයින්ම අතලොස්සක් පමණයි .

බොහෝ රටවල තමන් මහන්සිවෙලා ණයවෙලා උපාධි අර ගත්තට පස්සේ උපාධියට සරිලන රැකියාවක් ලැබෙන්නේ නැහැ .ගත්ත ණය ටික ගෙවා ගන්න විදිහක් වෙන්නෙත් නෑ. හැබැයි ලංකාවෙ නොමිලේ අධ්‍යාපනය ලබාදෙනවා පමණක් නොවෙයි නොමිලේ සෞඛ්‍යය ලබාදෙනවා පමණක් නොවෙයි ඒ උපාධිධාරීයාට තමන්ට ගැලපෙන රැකියාවක් සොයා ගන්න අසමත් වුනොත් ඒ අය රාජ්‍ය සේවයට බඳවා ගන්නවා. එහෙම ක්‍රමයක් ලෝකයේ වෙනත් කිසිම රටක නෑ .

ඒ නිසා අපි මේ සාප කරන අත්හැරලා යන්න ඕනි කියල හිතන ශ්‍රී ලංකාව ඇත්තෙන් ම ජනතාවට වාසනාවක් . ඒ නිසා තමයි අපිට වෙන රටවල් ඒ රටවල සේවය කරන්න කියලා ආරාධනා ලැබුණත් පුරවැසි කම් ලබාදෙන්න ආරාධනා කලත් අපි ඒව එපා කියලා යළි ලංකාවට ආවේ මේ රට ලෝකයේ තිබෙන සුවිශේෂීම රටක් නිසා .

අද ඔබ එකතු වෙන්නේ රාජ්‍ය සේවයට . රාජ්‍ය සේවයට එකතු වෙද්දී ඔබ උපාධියක් අරගෙන දෙමවුපියන්ගේ මහා බලාපොරොත්තු ඉටුකරල උපාධියක් ගත්තම රැකියාවක් නැතුව ඔබට තිබ්බ අසහනය මා ඔබට මතක් කරන්න ඕන නෑ . තාම රස්සාවක් නැද්ද කියලා සමහර නෑයො යාලුවෝ අහනවා. එකට ඉගෙන ගත්ත උපාධිධාරී අනිත් අය රැකියාවලට යනවා පේනවා. අම්මලා තාත්තලා මේ ගැන දුක් වෙනවා . සමහරවිට උගන්නන්න ණය වෙලා තිබුණ නම් ඒ ණය ගෙවා ගන්න බැරුව ගෙවල්වල මතුවන ප්‍රශ්න පේනවා .ජීවත් වුණාට වඩා මැරෙනවා හොඳයි කියලා හිතෙනවා .මේ අර්බුද සියල්ලම අදින් විසඳෙනවා . අද ඔබ එකතු වෙන්නේ රාජ්‍ය සේවයට. ඉස්සර නම් රාජ්‍ය සේවය කිව්වේ රජතුමා වෙනුවෙන් සේවය කිරීම. හැබැයි අද අපි සේවය රජතුමාට නෙමෙයි . අපේ රජතුමා තමයි මේ රටේ ජනතාව . ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍ය ජනතාව සතු වෙයි කියලා තමයි ව්‍යවස්ථාවේ තියෙන්නේ. එහෙමනම් මේක රාජ්‍ය සේවයට වඩා හරියටම ගැලපෙන්නේ මහජන සේවය කියන එක .

කාර්යාලයේ ගහලා එවන ලියුම් වල තියෙනව උඩින්ම රාජ්‍ය සේවය පිණිසයි කියලා . මහජන සේවය පිනිසයි කියල තමයි ඇත්තෙන්ම වඩාත්ම ගැලපෙන්නේ. මේ රජයේ ඉස්සර හිටියේ නිලධාරී නෙමේ සේවකයින් . ජනතාවට සේවය කරන අය තමා රජයේ ඉන්නේ. ඉස්සර අපි ජනතාවට ලියුම් යවන්නේ ඔබේ කීකරු සේවක ජනතාවගේ සේවකයා විදියටයි නිලධාරීන් ජනතාවට ලියුම් යවන්නෙ.අපි ජනතාවට යටින් ඉන්න පිරිසක් මිසක් ජනතාවට උඩින් ඉන්න පිරිසක් නෙවෙයි . මොකද මාසෙ අන්තිමට අපිට ගෙවන වැටුප අපිට ලබාදෙන්න මේ රටේ ජනතාව . ඔබට මාසේ අන්තිමට ලැබෙන වැටුපට මේ රටේ ඉන්න හිඟන්නෙක් උදේ ඉදන් රෑ වෙනකම් හිඟාකාලා බොහොම අමාරුවෙන් කාසිය කාසි එකතු කරල කරල ඒ කාසි තොගය අරගෙන කඩයකට ගිහිල්ලා පාන් භාගයයි පරිප්පු හොද්දයි පිඟානකට අරගෙන ඇවිල්ල කනකොට එතන හිඟන්න ගෙවන බදු තුළ අපේ වැටුප තියෙනවා .මේ රටේ දුප්පත් ම ජනතාව බොහොම අමාරුවෙන් ගෙවන බදු වලින් තමයි අපි හැමෝටම වැටුප් ගෙවන්නේ .ඔබටයි මටයි දෙගොල්ලන්ටම .ඒ නිසා අපි මේ වැටුප් ලබන්නේ අපි හමුවෙන්න ජනතාවගෙන් නේද කියලා අපි හැම වෙලාවෙම මතක තියාගන්න ඕනෙ .

සමහරු කියනව රජයේ කාර්යාලවලට ගියහම වැඩක් කරන්න හරි අමාරුයි කියලා. නිලධාරීන් අපිට පාට් දානවා ජනතාව අපි ගාවට ඇවිල්ල කියනවා. හැබැයි දේශපාලකයන් ට අමාරුයි පාට් දාන්න. මොකද අවුරුදු පහකට සැරයක් අවුරුදු 4කට සැරයක් නැවත ජනතාව ඉස්සරහට ගිහිල්ලා වරමක් ගන්න ඕන. නැත්තං අද ඇමති හෙට නොමැති වෙනවා. හැබැයි නිලධාරීන්ට බරපතළ විනය ප්‍රශ්නයක් වුණේ නැත්නම් ක්‍රම ක්‍රමයෙන් උඩට යනව මිසක් හදිසියෙ ගෙදර යන්න වෙන්නෙ නෑ . ඇත්ත කිව්වොත් හරියට වැඩේ කලොත් ඒත් සමහර වෙලාවන්න අපිට ගෙදර යන්න සිද්ධ වෙනවා .ඉතින් ජනතාවගේ ප්‍රශ්න ගැන දේශපාලකයා සංවේදී වෙන්න සිද්ධ වෙලා තියනවා .

අපි රාජ්‍ය සේවයේ ඉන්න හැමෝම මතක තියාගන්න ඕනේ අපිට වැටුප් ගෙවන්නේ අපිව බලා ගන්නේ අපිව මේ හමුවෙන්න එන ජනතාවයි. එවෙලෙ දීලා යන්නේ නැති වුණාට ඒ අය බඩුමුට්ටු ගන්නකොට අපේ වැටුපක් ගෙවනවා .

මොකක්ද මේ බලශක්ති අර්බුදය

මොකක්ද මේ බලශක්ති අර්බුදය කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න . මේ දවස්වල අපේ රටේ තෙල්වලට තියන ඉල්ලුම ඉහළගිහිල්ලා. එක පැත්තකින් අපේ රටේ ජනතාවගේ ජීවන මට්ටමත් එක්ක ගෙවල් වල තියෙන ගමන් බිමන් වැඩිවෙලා තියෙනවා. මොකද පාරවල් හැදිලා තියෙන හින්දා . අධිවේගී මාර්ග ඇඳිලා තියෙනවා. ඉස්සර කතරගම යනවයි කියන්නෙ දවස් දෙකක වැඩක් . අද උදේ කතරගම ගිහිල්ලා හවස ආපහු ගෙදර එන්නත් පුළුවන් . පැය තුනහමාරක් හතරක් යන කොට කොළඹ ඉඳන් කතරගමට යන්න පුළුවන් .ගමන් වැඩි වෙලා තියෙනවා.

ඒ වගේම ගෙවල් වල තියෙන විදුලි උපකරණ වැඩිවෙලා තියෙනවා. ඉස්සර ශීතකරණය සැලකුවේ සුඛෝපබෝගී භාණ්ඩයක් විදියට. අවුරුදු තිහකට හතළිහකට කලින් ශීතකරණය තියෙන්නේ ගෙදර සාලෙ . ඇයි ඒ සීතකරනයේ තියෙන මස් මාළු එළවළු ඕනවෙන්නෙ උයන වැඩේට නේ. එහෙනම් ඕක තියෙන්න ඕන කුස්සියෙන් හැබැයි ගෙදර සාලෙ තමයි මීට අවුරුදු හතලිහකට විතර කලින් ශීතකරණ තිබ්බේ . මොකද ශීතකරණයක් අපේ ගෙදර තියනවයි කියල එන කට්ටියට පේන්න .ඒක සම්මතයක් ගෙදර සාලෙ ශීතකරණය තියන එක . මොකද ඒ කාලේ ශීතකරණයක් තියෙනවා කියලා කියන්නේ ගෙදර ඇතෙක් එක්ක ඉන්න වගේ . අද හැමෝගෙම ගෙදර රූපවාහිනි ශීතකරණ ඒ වගේම ජංගම දුරකථනය මේවා ද අත්‍යවශ්‍ය භාණ්ඩ.

දවසක් මගේ වාහනය වාහන තදබදය හිර වෙලා තියනවා. ඒ අතරෙ මන් දැක්කා එක් පල්ලියක් ගාව බත් පැකට් වගයක් බෙදනවා. එක් හිඟන්නෙක් බත් පැකට් එකක් අරගෙන එයා තව කෙනෙක්ට කියනවා ඉක්මනට වරෙන් බං මෙතන කෑම වගයක් බෙදලා දෙනවා. හිඟන්නෝ අතර සන්නිවේදනය වෙන්නත් ජංගම දුරකථන තියනවා. දැන් ජංගම දුරකථනයේ තවදුරටත් සුඛෝපභෝගී භාණ්ඩයක් ද ලංකාවට . නෑ එකත් අත්‍යවශ්‍ය භාණ්ඩයක් .

ඒ නිසා අපේ ජීවන මට්ටමේ ඇති වෙච්ච මේ වෙනසත් එක්ක අපේ රටේ ඉන්ධන ඉල්ලුම බරපතළ ලෙස වැඩි වෙලා තියනවා. ඒ අතරේ පෙර නොවූ විරූ විදිහට ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යමින් තියනවා. පෙරේදා බොරතෙල් බැරලයක් ඩොලර් 89 කට ගියා . වසර 7 කින් වාර්තාවන ඉහලම මිල. මේ වන විට විකුණුන සෑම ඩීසල් ලීටරයකින් රුපියල් තිහක් පාඩුයි . තාම මිල වැඩි කිරීමක් ගැන නම් හිතලා නැහැ . හැබැයි දැනගැනීම පිණිස කියන්න ඕනේ සෑම ඩීසල් ලීටර් එකෙන්ම රුපියල් තිහක් පාඩුයි . අපිට මාසෙකට ඩොලර් මිලියන 400ක් යනවා අපේ ප්‍රවාහනයට කර්මාන්තවලට අවශ්‍ය ඉන්ධන ටික් ගෙන්න.

ඔය අතරේ දැන් පායන කාලය ඇවිල්ලා ජලාශ හිඳිලා විදුලිය නිෂ්පාදනය කරන්නෙත් ඩීසල් දැවි තෙල්වලින්. ඒ සදහා උපරිම මට්ටමේ දී ඒ වැඩේටත් තව ඩොලර් මිලියන සීයක් ඕනේ. එහෙම නම් මාසෙකට දැන් ඩොලර් මිලියන පන්සියයක් ඕනේ. මාසෙකට ඩොලර් මිලියන පන්සියයක් ඕනේ තෙල් ටික ගේන්න . අපේ රටේ අපනයන වලින් මසකට ලැබෙන්නේ ඩොලර් මිලියන 1000 . ඒ ඩොලර් මිලියන 1000ත් රට ඇතුලට එන්න ඩොලර් මිලියන 750 යි . ඩොලර් මිලියන 750 රට ඇතුළට එනකොට ඒකෙන් ඩොලර් මිලියන පන්සීයක් තෙල් වලට වෙන් කරන්න වෙනවා කියලා කියන්නේ රට ඇතුළට ආපු ඩොලර් වලින් තුනෙන් දෙකක් ම ඉන්ධන ගේන්න වැය කරන්න ඕන . දැන් එතකොට මිනිස්සුන්ට බෙහෙත් ඕන නැද්ද වෛද්‍ය උපකරණ ඕන නැද්ද .කෑම බීම ඕනේ නැද්ද.ඇඳුම් පැළඳුම් ඕනේ නැද්ද . ඒවගේම කර්මාන්තවලට අවශ්‍ය අමුද්‍රව්‍ය ඕනේ නැද්ද. දැන් මේවා ටික කරගන්නේ කොහොමද .

අපි ඉතිහාසයේ නොවූ විරූ බරපතළ ප්‍රශ්නෙක හිර වෙලා ඉන්නවා . ඒ නිසා තමයි අපිට ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිතා කළ යුතුයි කියලා අපි නිරන්තරයෙන් උපදෙස් දෙන්නේ . ඉතින් සමහරු අහනවා අපිට කියන්නේ දේශපාලකයන්ට කියන්න . දැන් මේ අවිස්සාවෙල්ල නිරන්තරයෙන් මං සැරිසරන හින්ද දන්නවා මම නම් වාහන පිරිවරා ගෙන එන්නේ නෑ . ඉතින් හැමෝම අවවාදයට වඩා ආදර්ශය උතුම් කියලා තමන් තනි වාහනයක් පාවිච්චි කරලා ඒ වගේම වාහනේ භාවිතා කරන ප්‍රමාණය අඩු කරල පුළුවන් තරම් පුනර්ජනනීය ප්‍රභවයන් කරා යොමු වෙලා මේ අර්බුදයට මුහුණ දෙන්න ජාතියක් වශයෙන් අපි එකතු වෙන්න ඕනේ .මොකද කවුරු ආණ්ඩුව කලත් ඩොලර් උල්පතක් පාදා ගන්න විදියකුත් නැහැ.ඩොලර් අච්චු ගහන වැඩේ අපිට කරන්නත් බෑ .එහෙනම් ඒ සීමිත විදේශ විනිමය අපි සකසුරුවම් විදිහට පාවිච්චි කරන්න පටන් ගන්න ඕනේ.

පළවෙනි පාඩම තමයි ආන්ඩුවේ අපි ඇවිල්ල කියන්න ඕනේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. කවුරු හරි ඇවිල්ල කියනවනම් අපිට ඇතිවෙන්න ඩොලර් තියෙනවා අපිට ඇතිවෙන්න රුපියල් තියෙනවා ආණ්ඩුවට කිසි ප්‍රශ්නයක් නෑ කියලා ජනතාව කල්පනා කරනවා මොන බම්බුවටද අපි ඉතිරි කරන්න යන්නේ අපිත් ජොලියෙ ජීවත් වෙන්න ඕනේ කියලා . දැන් විදුලිය කැපීම. මම ටිකක් ජනප්‍රිය නොවන කතාවක් කිව්වා. මේ සීමිත විදේශ විනිමය ටිකත් තියාගෙන තමයි සංචිත බැහැලා බොහොම සීමිත විදේශීය විනිමය අපි ගාව තියෙන්නෙ. ඔය ටිකෙන් තමයි තෙල් ගේන්න වෙන්නේ . අප්‍රේල් මාසෙ වැස්ස පටන් ගන්නකන් අපිට තෙල් වලින් තමයි විදුලි නිෂ්පාදනය කරන්න වෙන්නේ. දැන් මාසේ පඩිය ලැබුණාම අපි කියමු රුපියල් 50,000 වෙනවා කියලා . ඔය 50000 එක දවසකින් ඉවර කරන්නත් පුළුවන්. හොඳ හෝටලයට යාලුවො තුන්දෙනෙක් එක ගිහිල්ලා කාලා බීලා ආවත් රු.50000 මදි වෙනවා . දවස් දෙකෙන් ඉවර කරන්නත් පුළුවන් .හැබැයි අපි දන්නවා මේ 50,000 හම්බෙලා තියෙන්නෙ මාසෙකට . ඊළඟ මාසෙ පඩි දවස වෙන තුරු මට 50,000 හම්බෙන්නෙ නෑ කියල. ඊළඟට මම මොකක්ද කරන්න ඕන මේක මාසේ පුරා බෙදා ගෙන වියදම් කරන්න ඕන .

ඒ වගේ තමයි මේ විදේශ විනිමය ටිකත්. අපි දැන් පැය විසිහතරම විදුලිය දෙන්න හදන උත්සාහයත් මට තේරෙන විදිහට නම් මාර්තු අග වන විට ඔය කොහෙන්හරි ලොකු ඩොලර් ණයක් ගත්තොත් පොලිත් එක්ක ආපහු ගෙවන්න වෙනවා . එහෙම නැති උනොත් අපිට පැය 4 ක විතර විදුලි කැපීමකට යන්න වෙනවා මාර්තු අග වෙන විට. ඊට වඩා හොඳ නැද්ද දැම්ම ඉඳන් අපි ඊළඟ වැස්ස එනතුරු පැය එකහමාර ගානෙ කපාගන්න තැනකට ගියොත්. කැපකිරීම් කරන්න නම් ප්‍රශ්නයක් තියෙනවා කියලා ජනතාව දැනගන්න ඕන. කැප කිරීම් පිළිබඳ නායකත්වය දේශපාලන නායකයෝ දෙන්න ඕන.

මං ඔබට ලස්සන කතාවක් කියන්නම්. ලංකාවේ සංචාරෙකට ආවා ඉන්දිරා ගාන්ධි මැතිනිය ඉන්දියාවේ හිටපු අගමැතිතුමිය . අපේ ලංකාවේ එතකොට අගමැති තනතුරේ හිටියේ එතුමියගේ කලන මිතුරිය සිරිමාවෝ මැතිනිය . රාත්‍රී භෝජන සංග්‍රහයක් පිළියෙළ කළා ඉන්දිරා ගාන්ධි ඉන්දියානු අගමැතිතුමිය පිළිගන්න . සාමාන්‍යයෙන් ඒ වගේ සංග්‍රහ වලදී දෙන්න කතා පවත්වලා තමයි කන්න වාඩිවෙන්නේ . කතා පවත්වලා කෑම මේසෙ වාඩි උනාම ඉන්දිරා ගාන්ධි මැතිනිය මේ කිසිවක් කන්නේ නෑ වතුර වීදුරුවක් බොනවා විතරයි . දැන් කෑම ලෑස්ති කළේ සිරිමාවෝ මැතිනිය සිරිමාවෝ මැතිනියගේ හිතට හරි නෑ තමන්ගේ යාළුවා තමන් සූදානම් කරපු කෑම කන්නේ නෑ. එතකොට අහනවා ඇයි ඔබ කන්නෙ නැත්තෙ. එතකොට ඉන්දිරා ගාන්ධි මැතිනිය උත්තර දෙනවා අපේ රටේ සාගතයක් රටේ විශාල ප්‍රමාණයක් ජනතාවගෙන් කන්නේ දවසට එක වේලයි . ඒ නිසා මම මේ සාගතය අවසන් වනතුරු රාත්‍රී ආහාරය ගන්නේ නෑ. සිරිමාවෝ මැතිනිය හිනාවෙලා අහනව ඉතින් ඔයා රෑට නොකා හිටියම අර බඩගිනි ඉන්න කට්ටියට කන්ඩ ලැබෙනවද . ඉන්දිරා ගාන්ධි මැතිනිය කියනවා නෑ මම බඩගින්නෙ ඉන්නවයි කියලා ඒ අය දැනගත්තම ඒගොල්ලන්ට දැනෙනවා අපේ නායිකාවට අපේ බඩගින්න දැනෙනවා . ඒ නිසා අපේ බඩගින්න නැති කරන්න නායිකාව මොකක් හරි කරයි කියලා ජනතාව කලබල වෙන්නෙ නැතුව ඉවසීමෙන් අධිෂ්ඨානයෙන් මේ ප්‍රශ්නෙ දරාගන්න පුරුදු වෙනවා . මොකද අපේ නායිකාව අපි වගේම බඩගින්නෙ ඉඳගෙන බඩගින්න තේරුම් ගන්න නිසා කියලා . අවවාද දෙනවා වෙනුවට ආදර්ශයක් ලබා දෙන්න ඕන. ඒ නිසා හොදට කාල බීල කෑම ඉතුරු වෙලා කෑම කුණුබක්කියට කෑම විසි කරන ගමන් ජනතාවට අරපිරිමැස්මෙන් වැඩ කරන්න කිව්වොත් ජනතාවට කේන්ති යනවා .

ඒ ආදර්ශය එන්න ඕන දේශපාලකයන්ගෙන් . ඒ ආදර්ශය බිහි කළොත් විතරයි මේ අර්බුදයට මුහුණ දෙන්න අපේ රටේ ජනතාව පෙළ ගස්වන්න පුලුවන් වෙන්නේ කියලා සිහිපත් කරමින් අද දින රාජ්‍ය සේවයට එක්වන ඔබ සැමට රාජ්‍ය සේවයේ ඉහළ හිනිපෙත්ත කරා ගමන් කරන්නට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා .

– media unit

Related posts

ජල ගාස්තුවේ සංශෝධනයක්

Shiran Viraj

මාස එකහමාරට ටි‍්‍රලියන කාලක් සල්ලි අච්චු ගහලා.. උද්ධමන පිම්මක් අත ලග..

Shiran Viraj

ඉස්සර ආරාධ්‍යා පැපරාසීන්ට හරි බයයි

Shiran Viraj

Leave a Comment