News Political

අර්බුදයට චන්ද්‍රිකා විසදුම් දෙකක් දෙයි..

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

පසුගිය සතියේ එක්තරා සුළුතර කණ්ඩායමක් විසින් ගාලු මුවදොර පිහිටා ඇති බණ්ඩාරනායක පිළිරුව මතට නැග, අපහාසාත්මක ලෙස හැසිරුණු බව මට දැන ගන්නට ලැබිණි.

මීට පෙර ද මා ප්‍රකාශ කළ පරිදි එම ක්‍රියාව මා තරයේ හෙළා දකින අතර, එක් කණ්ඩායමකගේ ඒ අපහාසාත්මක ක්‍රියාදාමය නිසා මුළු රටේම තාරුණ්‍ය විසින් අරඹන ලද, පසුව සියයට අනුවක් පමණ වැඩිහිටියන් ද සම්බන්ධ වූ සාමකාමී සටන, ඒ හේතුව මත කිසිසේත් හෑල්ලුවට ලක් නොවන බවත් අවධාරණය කරමි.

ලක්‍ෂ හැට නවයක ජන වරමකින් බලයට පත් කර ගත් රජයක්, එම හැට නව ලක්‍ෂයේ ජනතාව සමග විපක්‍ෂයට ඡුන්දය ලබා දුන් පනස් හය ලක්‍ෂයද එකතුවී, එම රජයට ඉල්ලා අස්වන ලෙසට අවිහිංසාවාදී ව බලපෑම් කරනු ලබයි. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ උත්කෘෂ්ට අවස්ථාවකි. මෙම ජනතා බලය යටපත් කිරීම සදහා අරගලකරුවන් බේද භින්න කර, ඔවුන් කූපිත කරවීමේ උත්සාහයන් සිදුවිය හැකි බව මාගේ විශ්වාසයයි. මේ සිදුවීම ද එවැන්නක් විය හැකිය.

මේ මොහොතේ රජයට ඇත්තේ විසදුම් දෙකක් පමණි.

1. ජනාධිපතිවරයා සහ රජය ඉල්ලා අස් වී, අන්තර්කාලීන පාලනයක් හරහා දේශීය ආර්ථිකය ශක්තිමත් කර, රටේ සශ්වර පාලනයක් පිහිටුවීමට අවස්ථාව ලබා දීම.
2. ඒ සදහා පක්‍ෂ විපක්‍ෂ මන්ත‍්‍රීවරුන් සූදානම් නැතිනම් වහා පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා ස්ථාවර රජයක් බලයට පත්කර ගැනීම.

ජනතාව මහජන නියෝජිතයන්ට බලය ලබා දෙන්නේ තම අභිමාතාර්ථ ක‍්‍රියාත්මක කරවා ගැනීමටය. එය කෙටි කාලීනව ලබා දෙන බලයක් විනා, ඔවුන්ට සදහට හිමිකර ගත හැකි බලයක් නොවන බව අවබෝධකර ගත යුතුය. ඔවුන්ට ජනතා කැමැත්ත තිබෙන තාක් කල් බලයේ රැදිය සිටිය හැකි අතර ජනතාව ප‍්‍රතික්‍ෂේප කළහොත් වහා බලය අත් හැරීමට සූදානම් විය යුතුය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී යාන්ත‍්‍රණය මැනවින් ක‍්‍රියාත්මක වන ශිෂ්ට සම්පන්න රාජ්‍යයක නම් මේ වන විටත් රජය ඉල්ලා අස් වී අවසානය.

එහෙත් අප රටේ පාර්ලිමේන්තුවේ බහුතරයක් පිරිස මහජනතාවගේ සියලු විරෝධතාවලට කන් නොදී, තවදුරටත් බලයේ එල්ලී සිටීමට නින්දා සහගත උත්සාහයක නිරත වේ.

මහා සංඝරත්නය ඇතුළු සියලු ආගමික නායකයන්, සිවිල් සමාජය, පොදු ජනතාව ඉතා දැඩි ලෙස බලපෑම් කරද්දීත් ඊට කන් නොදී මෙලෙස අත්තනෝමතික ලෙස බලයේ එල්ලී සිටීම මම ඉතා දැඩි ලෙස පිළිකුල් කරමි.

එහි උච්චතම අවස්ථාව ඊයේ දින පාර්ලිමේන්තුවේ දී අපි දුටුවෙමු. ඔවුන් ඊයේ පාර්ලිමේන්තුවේ දී ප‍්‍රදර්ශනය කරන ලද්දේ ඔවුන් මහජනතාව වෙනුවෙන් නොව එක් පවුලක් වෙනුවෙන් පෙනී සිටින බවයි. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ද ඒ මට්ටමට පහතට වැටීම පිළිබද මම අතිශයින් කණගාටු වෙමි. වත්මන් පක්‍ෂ නායකත්වය තවදුරටත් ඔප්පු කරමින් සිටින්නේ ඔවුන්ගෙ බලලෝභිත්වයම හැර ජනතා දේශපාලනය නොකරන බවයි.

අවසාන වශයෙන් මම සියලු මහජන නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටින්නේ අවංකවම මහජනතාව වෙනුවෙන් පෙනී සිටිමින්, ඔවුන්ගේ අභිලාශයන් නියෝජනය කර ගත නොහැකි නම්, මන්ත‍්‍රී ධුරයට සමු දීම වඩාත් නම්බුකාර බවයි.

Related posts

විදෙස්ගත ලාංකිකයින් ගෙන්වා ගැනීම නිසි කළමනාකරණයකින් කළ යුතුයි-වෛද්‍ය අනිල් ජාසිංහ

Shiran Viraj

ප්‍රවේසම් වන්න…! උෂ්ණාධික කාලගුණෙන් සිරුරට අහිතකරයි

Shiran Viraj

කොන්ද පණ තිබේනම් ජිනීවා යෝජනාවෙන් ලංකාව ඉවත් විය යුතුයි.

Shiran Viraj

Leave a Comment