News Political

පුංචි ඡන්දය කල් දාන්නේ මෙහෙමයි…

අධිකරණ ක්‍රියා මාර්ගයක් හරහා මැතිවරණය කල් දමා ගැනීමේ උත්සාහය ඉටුකරගත නොහැකි වුවහොත් මේ වන විට පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇති තරුණයින් සඳහා 25% නාමයෝජනා නියෝජනයක් ලබාදී මේ පනත් කෙටුම්පත උපයෝගී කරගනිමින් මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව උත්සාහ දැරිය හැකි බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ අද දින (2022.01.04) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් හා එක් වෙමිනි.

පිවිතුරු හෙළ උරුමයේ නායකයා එහිදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

බස් සංගම් සමග ආණ්ඩුව අනියම් පෙමක

පසුගිය දා ඩීසල් ලීටරයක මිල රු 15කින් අඩු කිරීමට ආණ්ඩුව කටයුතු කළා. නමුත් ඒ මත බස් ගාස්තු අඩු කරන්න බස් සංගම් ප්‍රතික්ෂේප කරනවා. ඒ අය කියන්නේ ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තිය යටතේ 4%කින් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් ඉන්ධන මිල වෙනස් වුණොත් විතරයි ඒ අනුව බස් ගාස්තු සංශෝධනය කළ යුත්තේ කියා. රු420ට තිබුණු ඩීසල් ලීටරය රු15කින් අඩු කළා කියන්නේ 3.6%කින් මිල අඩු කිරීමක්. තව 0.4%ක්, ඒ කියන්නේ රු 1.68කින් තෙල් මිල අඩු කලා නම් බස් ගාස්තුත් අඩු කරන්න බස් සංගම් වලට සිදු වෙනවා. 4% වෙනුවට 3.6% කින් මිල අඩු කරලා ආණ්ඩුව බස් හිමියන් බේරාගත්තා දෝ කියන සැකය අපිට ඇතිවෙනවා. මීට පෙර 2022 දෙසැම්බර් 6 වන දා ඩීසල් මිල අඩු කලේ රු10/-කින්. එතකොටත් 4%ක් නෑ. නමුත් මේ දෙකම එකතු කලොත් මාසයක් ඇතුලත රු25කින් ඩීසල් මිල අඩු කරලා තිබෙනවා. ඒ කියන්නේ මිල අඩු කිරීම 5.8%ක්. මෙහෙම දෙවරකට මිල අඩු කරන්නේ නැතුව එක් වර රු 25ක් අඩු කලා නම් බස් ගාස්තු අනිවාර්රයෙන්ම අඩු කරන්න සිදු වෙනවා.

රු25ක ඩීසල් මිල අඩු කිරීම දෙකට කඩලා සිදු කලේ බස් ගාස්තු අඩු කිරීම මග හැරවලා බස් හිමියන්ට අයුතු වාසියක් ලබා දීමේ කූට අරමුණින් කියන සාධාරණ සැකය අපට ඇති වෙලා තිබෙනවා. ඇත්තෙන්ම ආණ්ඩුව පෙමින් වෙලී සිටිය යුත්තේ ජනතාව සමග මිස බස් හිමියන් සමග නෙවෙයි. ඒ නිසා ආණ්ඩුව බස් හිමියන් සමග අනියම් පෙමක පැටලිලා ජනතාවට අරියාදු කරනවා කියන සැකයක් අපිට ඇතිවෙලා තිබෙනවා.

පුංචි ඡන්දය කල් දාන්නේ මෙහෙමයි

පුංචි ඡන්දය අද හෝ හෙට මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත් කරන්න නියමිතයි. ඔය අතරේ ආණ්ඩුවේ ගෝලයෙක් පුංචි ඡන්දය පවත්වන්න එපා කියලා උසාවි ගිහින්. එතකොට පිටපත අනුව මුදල් අමාත්‍යාංශ ලේකම් උසාවි ගිහින් කියනවා ඡන්දයක් පවත්වන්න මුදල් නෑ කියලා. එහෙම පිටපතක් නැතිනම් ඡන්දය කල් දාන්න කියන නඩුවක මුදල් අමාත්‍යාංශයේ ලේකම් වගඋත්තරකරුවෙකු වෙන්නේ මොකට ද? මේ නාට්‍යය අතාර්කිකයි. මොකද ආණ්ඩුවට මුදල් නෑ කියන තර්කයනම් අධිකරණයට ඉදිරිපත් කරන්න බෑ.

ඒ වගේම 2022 වසර පුරා එක දවසට රුපියල් බිලියන 3 බැගින් ආණ්ඩුව මුදල් අච්චු ගහලා තිබෙනවා. ඒ කියන්නේ දවස් තුනක අච්චු ගහන මුදල් මැතිවරණ කොමිසමට දුන්නොත් මැතිවරණය පවත්වන්න පුළුවන්. ඒ නිසා ඡන්දය පවත්වන්න සල්ලි නෑ කියන නාට්‍ය අතාත්වික නිසා රඟ දක්වන්න එපා මැතිවරණය පවත්වන්න කියලා අපි ආණ්ඩුවට කියනවා.

ආණ්ඩුවට තවත් ගැටයක් ඉතිරි වෙලා තිබෙනවා. නාමයෝජනා දිනයට කලින් පාර්ලිමේන්තුව විසින් මැතිවරණ නීතිය වෙනස් කරලා ඡන්දය කල් දාන එක. එහෙම පනත් කෙටුම්පතක් ඉදිරිපත් කලොත් අනිවාර්රයෙන්ම ඒක අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් වෙනවා. මැතිවරණයක් කල් දාන්න නම් ඡනමත විමසුමක දී ජනතාවගේ කැමැත්ත ගන්න ඕනි කියලා දැනටමත් අධිකරණය විසින් තීරණය කර තිබෙනවා. ඒකෙන් බේරෙන්න නම් දැනටමත් අධිකරණයට යාමේ අවස්ථාව පසු කරපු පනත් කෙටුම්පතකට පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේ දී මැතිවරණ කල් දමන විධිවිධාන එකතු කලොත් අධිකරණයට යාම මග හැරලා මේ වැඩේ ආණ්ඩුවට කරගන්න පුළුවන්.

තරුණයින්ට 25% නාමයෝජනා අවස්ථා ලබා දීම සඳහා මැතිවරණ නීතිය සංශෝධනය කරන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්ථකයේ තිබෙනවා. ඒක අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කරන අවස්ථාව පසු වුණු පනත් කෙටුම්පතක්. මෙන්න මේ පනත් කෙටුම්පත විවාදයට අරන් කාරක සභා අවස්ථාවේදී මැතිවරණය කල් දමන විධිවිධානයක් කෙටුම්පතට ඔබන්න පුළුවන්.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නම් පනතක හරයට පිටස්තර කරුණු සංශෝධන ලෙස කාරක සභා අවස්ථාවේ දී ගේන්න බෑ. නමුත් එහෙම ගෙනාවා කියලා ඒක අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කරන්නත් බෑ. ලංකාවේ පශ්චාත් අධිකරණ විවරණ ක්‍රමයක් නැහැ. එම නීතිය ගෙන ආ යුතු යැයි අප අවස්ථා ගණනාවක පෙන්වා දී තිබුණත් කිසිම ආණ්ඩුවක් ඒ බලය අධිකරණයට ලබාදීමට කටයුතු කර නැහැ.

ඒ නිසා අපි ඔන්න කලින්ම අනතුරු අඟවනවා පාර්ලිමේන්තු ඉදිරියේ තියෙන තරුණයන්ට 25% අවස්ථාව ලබා දීමේ මැතිවරණ නීතිය සංශෝධනය කිරීමේ සංශෝධන කෙටුම්පත භාවිතා කරලා මැතිවරණය කල් දැමීමේ අවදානමක් තියෙනවා අධිකරණය ඉදිරියේ රඟ දක්වන නාටකය අසාර්ථක වුණොත්.

ජවිපෙ භීෂණ යුගයේ මුලින්ම ඡන්දය දෙන දස දෙනා මරා දමනවා කියද්දී මැතිවරණ රාජකාරියේ යෙදී ඉන්න නිලධාරින් මරා දමද්දී මැතිවරණ නමයක් මේ රටේ පැවැත්වූවා. එවැනි රටක අතාර්තික රංගන වල යෙදෙමින් ජනතාවගේ ඡන්ද අයිතිය කොල්ල කන්න හදන්න එපා. ආණ්ඩුව බොරු හේතු ඉදිරිපත් නොකර පැකිලෙන්නෙ නැතුව ජනතා අධිකරණය ඉදිරියට පැමිණෙන්නැයි අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

ප්‍රශ්න සහ පිළිතුරු

ප්‍රශ්නය

ඡන්දය ගැන කිව්වට විපක්ෂයත් මේකට එතරම් සූදානමක් නැහැ නේද ?

පිළිතුර

ආණ්ඩුව නම් සූදානම් වන්නේ මැතිවරණය කල් දාන්න. නමුත් මීට මාස තුනකට කලින් තමයි විපක්ෂයේ පක්ෂ දාසයක් මැතිවරණය කල් දමන්න එපා කියන පොදු ප්‍රකාශනයක් ආණ්ඩුවට ඉදිරිපත් කළේ. විපක්ෂය මැතිවරණයට සූදානමින් ඉන්නවා. ඇතැමෙකුට හිතන්න පුළුවන් මේ ආර්ථික අර්බුදය මැද මොන මැතිවරණ ද කියලා.

භීෂණය මැද පවා මැතිවරණ පැවැත්වූවේ ආණ්ඩුව යන ගමන් මග පිළිබඳව ජනතාවගේ මතය ආණ්ඩුවට සන්නිවේදනය කරන්න පුළුවන් වන්නේ මෙමගින් නිසයි. ජනතාව මත පරමාධිපත්‍යය තියෙන්නේ කියල කිව්වට ජනතාවට සිය පරමාධිපත්‍ය බලය පාවිච්චි කරන්න ලැබෙන්නේ මැතිවරණයක් තුළ පමණයි. දැන් පළාත් සභා මැතිවරණය නැහැ. ජනාධිපතිවරණය පාර්ලිමේන්තු මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය තමයි තියෙන්නේ. ඒ අනුව ජනතාවට අවුරුදු පහකට දවස් තුනයි පරමාධිපත්‍ය තියෙන්නෙ. මේ තුනෙනුත් එකක් අහිමි කරනවා කියන්නේ ජනතාවගේ රට පාලනය කිරීමේ අයිතිය උදුරා ගැනීමක් ලෙසයි අප දකින්නේ.

ප්‍රශ්නය

ඔබතුමන්ලාගේ නව සන්ධානය ගැන මොකක්ද කියන්න තියෙන්නේ

පිළිතුර

විපක්ෂයේ පුළුල්තම සන්ධානයක් හදන්න අපි මේ දිනවල සාකච්ඡා කරමින් ඉන්නවා. ඉදිරි දින තුන හතර ඇතුළත අපිට මේ සන්ධානය ගැන රටට හෙළි කරන්න පුළුවන් වේවි. පක්ෂ, කණ්ඩායම් 12 ක් පමණ මේ වන විට මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් ඉන්නවා.

ප්‍රශ්නය

නිමල් සිරිපාල අමාත්‍යතුමා නම් කියන්නේ විදුලි බිල වැඩි නොකලොත් අයිඑම්එෆ් ආධාර අපිට ලැබෙන්නේ නැහැ කියලයි. මේක ඇත්තක්ද ?

පිළිතුර

ඒක නම් පට්ට පල් බොරුවක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ පිරිවැය පාරිභෝගිකයාගෙන් අය කර ගත යුතුයි කියලා. නමුත් වැඩි මිලට තෙල් අරගෙන ඉන් නිපදවන විදුලියේ පිරිවැය පාරිභෝගිකයා මත පැටවීම අසාධාරණයි. ඉන්ධන වලින් විදුලිය නිපදවනවාට වඩා විකල්ප ලාභදායී ක්‍රමවේද තිබියදී ඒවා මගින් විදුලිය නිෂ්පාදනය කිරීම හිතාමතාම ආණ්ඩුව පැහැර හරිමින් ඉන්නවා. දැවැන්ත පිරිවැය දරමින් විදුලිය නිෂ්පාදනය කර එහි බර පාරිභෝගිකයා මත පැටවීම වැරදි. එහෙම කරන්න කියලා අයිඑම්එෆ් කියලා නෑ කියලා ඉතාම වගකීමෙන් කියනවා.

මෙම මාධ්‍ය හමුව සඳහා පක්ෂයේ නියෝජ්‍ය ලේකම් උපුල් කෝනාර, අවිස්සාවේල්ල ආසන සංවිධායක අනුර දිවිගල්ල යන මහත්වරුන්ද සහභාගී විය.

– Media unit

Related posts

විදුලි අර්බුදයට පිළියමක් ලෙස පෞද්ගලික බලාගාර 3 කින් විදුලිය මිලදී ගනියි

Shiran Viraj

හැටන් පන්මූර් වතුයායේ සැරිසරන දිවියා අල්ලා ගැනීමට විශේෂ මෙහෙයුමක්

Shiran Viraj

ආමර් වීදියේ වෙඩි තැබීමක්

Shiran Viraj

Leave a Comment