අද වන විට ජනතාවට සහන ලැබෙමින් පවතින බවත් බඩු මිල අඩු වෙමින් පැවතුනද ද වැඩි වූ වේගයෙන් අඩු නොවන බවද මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.
ලංකාව වැටුණු තැනින් ඉහලට එමින් තිබෙන බවත් සැප්තැම්බරයේදී බංකොලොත් තත්වයෙන් මිදෙන බවත් හෙතෙම පැවසීය.
ඒ මහතා මේ බව කියා සිටියේ මිනුවන්ගොඩ දී පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන බලමන්ඩල හමුව අමතමිනි.
එහිදී ඔහු මෙසේද පැවසීය.
‘අභියෝග වලට බයේ හැංගුනොත් කුමන්ත්රණකරුවන්ට අවස්ථාව හිමිවනවා. මාස 6-7 කට කලින් ප්රජාතන්ත්රවාදය විනාශ වෙලා රට ලේ විලක් කලා. ජනතාවගේ දුක තමන්ගේ සතුට බවට පත් කර ගත්තා. එවැනි දේශපාලනයක් තමයි රයේ තිබුණේ. අපේ රජය ඇතුළු පැවති රජයන්වල ප්‍රතිපත්තිමය දුර්වලතා නිසා 2020 න් පසුව අපි බරපතල අභියෝගවලට මුහුණ දුන්නා. දේශපාලන ස්ථාවරය සහ ආර්ථික ස්ථාවරය අද පාර්ලිමේන්තුව තුළත් රට තුළත් ඇති වී තිබෙනවා. කොවිඩ් වසංගතයට පෙර රට තුළ ආර්ථික අර්බුදයක් ඇති වුණා. සංචාරක කර්මාන්තය කඩා වැටුණා.
වත්මන් රජය ගත්ත තීන්දු තීරණවල ප්‍රතිඵල ලැබෙන්න තව මාස 6ක් 7ක් පමණ යනවා. දැන් රට තුළ තෙල් තිබෙනවා. ගෑස් තිබෙනවා. පොහොර තිබෙනවා. විදුලිය තියෙනවා. බඩු මිල අඩු වෙනවා. වැඩි වුණු සැනින් අඩු වෙන්නේ නැහැ. නමුත් සහන ලැබෙමින් තිබෙනවා. ලංකාව දැන් කඩා වැටුණු තත්වයෙන් දැන් ඉහළට එමින් තිබෙනවා. අද රට තුළ ශක්තිමත් මූල්‍ය විනයක් ඇති වි තිබෙනවා. අපි දේශීය ණය ප්‍රතිව්‍යුගත කිරීම කරන විට ජේවිපි එකයි, සජබයයි, දැන් කැඩිලා ගිය පිරිසයි විශාල බිල්ලෝ මැවුවා. රටේ ජනතාවත් ඒවා විශ්වාස කළා. විපක්ෂයේ එම බොරු බිද දමන්නත්, ජාත්‍යන්තරයේ විශ්වාසය දිනා ගන්නත් රජයක් ලෙස අපිට පුළුවන් වුණා. මේ වැඩපිළිවෙල දිගටම ක්‍රියාත්මක කිරීම නිසා සැප්තැම්බර් මාසය වන විට බංකොලොත්භාවයෙන් මිදෙන්න අපට පුළුවන් වෙනවා.
තමන්ට නිසි වැඩපිළිවෙලක් නැති නිසා ජේවිපි එක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කතා කරන්න ගියේ නැහැ. හැබැයි පාරවල් ගානේ හන්දි ගානේ රට හදන විදිහ ගැන නම් කතා කරනවා. රටේ සහන ගන්න අයගෙන් 30%ක් පමණ ඒවා ගන්නේ නුසුදුසු අය කියලා සමීක්ෂණ වලින් හෙළිවුණා. ඒ නිසා සහන ලැබිය යුතු අයටම ලබා දෙන්න රජය අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කරන්න කටයුතු කළා. එම වැඩසටහනට රුපියල් බිලියන 206 ක් අපි වෙන් කලා. රජයේ මෙම වැඩපිළිවෙලටත් විවිධ වෘත්තිය සමිති බාධා සිදු කළා.
අපිට උද්ධමනය අඩු කර ගන්න ඕනි. කර්මාන්ත නැවත පටන් ගන්න ඕනි. ජන ජීවිතය යථා තත්වයට පත් කර ගන්න ඕනි. ඒ නිසා අපිට තීන්දුවක් ගන්න වුණාථ වෘත්තීය සමිති කියන විදිහට වැඩ කරනවද? නැත්නම් විකල්ප ක්‍රමයක් භාවිතා කරනවද කියලා. සුබසාධන දීමනාව ලැබිය යුතු අයට නොලැබි ඇත්නම් ඒ අයට එය ලබා දෙන්න කටයුතු කරන්න කියලා ජනාධිපතිතුමා අපිට උපදෙස් දුන්නා. නොලැබුණු අයගෙන් අභියාචනා කැදෙව්වේ ඒ අනුවයි.
අපේ රටේ සමෘද්ධි ප්‍රතිලාභී පවුල් ලක්ෂ 16 කට වඩා ඉන්නවා. නමුත් සමීක්ෂණයට ඉදිරිපත් වෙලා තිබුණේ දොලොස් ලක්ෂ අසූ හත් දහස් පණහයි. ඉල්ලුම් කරපු අයගෙන් 70% ක් ප්රතිලාභ ගන්න තේරිලා තිබෙනවා. අවම වශයෙන් ලක්ෂ 20කට අස්වැසුම ප්රතිලාභ ලබා දෙනවා. සමෘද්ධි ප්‍රතිලාභීන් එක්ක බැලුවම අලුතින් ප්‍රතිලාභීන් ලක්ෂ 11 ක් අස්වැසුම යටතේ සුභසාධන ප්රතිලාභ ලබනවා. අස්වැසුම කාගෙවත් ප්රතිලාභ කපන්න හදපු වැඩසටහනක් නෙමෙයි. නමුත් ජෙවිපි එකයි සජබයි හදන්නේ ජනතාව පාරට බස්සන්න.
දැනට සමෘද්ධි ප්‍රතිලාභීන් විදිහට ඉන්න අස්වැසුමට ඉල්ලුම් නොකරපු අය ගැන අයත් සමීක්ෂණ කරන්න කියලා ජනාධිපතිතුමා අපිට උපදෙස් දුන්නා. අගෝස්තු මාසයේදී නැවත අස්වැසුමට ඉල්ලුම් කරන්න ජනතාවට අවස්ථාව ලැබෙනවා. ඒ නිසා කිසිම විටක අස්වැසුම වැඩපිළිවෙල ගැන සෘණාත්මක හැගීමක් ඇති කරගන්න එපා’
– ප්‍රදීප් අනුර කුමාර