News Political

අපි රට හදාගෙන එද්දී මිනිස්සුන්ට විරුවෙක් ගේන්න උවමනා වුනා..

අද රට තුළ නූතන වහල් යුගයක් ඇති වී තිබෙන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. ආර්ථික අර්බුදය හමුවේ ජාවාරම්කරුවන් තම ජාවාරම් නිරුපද්‍රිතව සිදු කරගෙන යයි.

අනාගත පාලනයක් තුළ දී ජාවාරම්කරුවන්ට වැට බඳින, නිසි විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ, ජාති ආගම් බේදයකින් තොරව දක්ෂයන්ට රටේ නායකත්වයට පත් විය හැකි තත්ත්වයක් ගොඩ නගන බව ද ඔහු ප්‍රකාශ කළේ (03) පැවැති එක්සත් ජනරජ පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා;

“එදා හිටපු ජනාධිපති ගෝඨාභය ජනතාව විසින් පලවා හැරපු දවසේ පරාජයට පත් වුණේ රාජපක්ෂලා විතරක් නෙමෙයි, මේ රටේ විපක්ෂයත් පරාජයට පත් වුණා. අවු. 75 වමේ, දකුණේ සියළු දේශපාලකයන් පරාජයට පත් වුණා.

2019 ට සාපේක්ෂව අද තෙල් මිල තුන් ගුණයකට වඩා වැඩියි. ඊයෙ පෙරේදත් මේ තෙල් මිල වැඩි කළා. අලුත් සමාගමක් ආවා. කිව්වෙ තරගකාරීව අඩු ගාණට දෙන්න පුලුවන් කියලා. මම බොහොම පැහැදිලිව පාර්ලිමේන්තුවෙ කිව්වා සමාගම් 100 ක් ගෙනාවත් වැඩක් නෑ තරගකාරීව මහජනයාට අඩු මිලට තෙල් සපයන්න ක්‍රමයක් නැත්නම්. අදත් මේ ආණ්ඩුව අඩු තරමෙ පෙට්‍රල් ලීටරයකින් රු.125 ක් ගන්නවා අඩුම ගණනෙ ඩීසල් ලීටරයකින් රු. 78 ක් ගන්නවා බදු වශයෙන්. පසුගිය ජූලි මාසයේ රාජ්‍ය මූල්‍ය වාර්තාවට අනුව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව කෝටි 6000 ක ලාභයක් ලබනවා. එහෙනම් පැහැදිලියි මේ රටේ කොච්චර සමාගම් ආවත්, කොච්චර ලස්සන පෙට්‍රල් ස්ටේෂන් ගැහුවත් තෙල් මිල අඩු කරන්න බෑ මොකද අධික බදු ගහලා ඒවයින් තමයි අද මේ ආණ්ඩුව ගෙනියන්න කල්පනා කරන්නෙ.

අපි කතා කරන්නෙ නිකම් අහස් මාළිගා නෙමෙයි වැඩ කරලා පෙන්වලා. අපි ඛණිජ තෙල් සංස්ථාව, විදුලි බල මණ්ඩලය බිල වැඩි කරන්නෙ නැතිව ලාභ කරලා පෙන්වලා තියෙනවා. ඒක දරාගන්න බැරි වුන ජාවාරම්කාරන පන්තිය පත්තර කඩමාලු සහ යම් යම් මාධ්‍ය පාවිච්චි කරලා අපට මඩ ගහලා බලපෑම් කරලා අපේ අමාත්‍යාංශ මාරු කළා, අනාගත පාලනයක් යටතේ මේ රටේ විධිමත් බලශක්ති ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරනවා.

ඒ මත මේ රටේ ජනතාවට විශේෂයෙන් ම මේ රටේ පොදු ප්‍රවාහනය ශක්තිමත් කරන්න, විදුලි බිල අට ගුණයකින් වැඩි කරපු මේ අයුක්ති සහගත තත්ත්වයෙන් අපේ ජනතාව මුදාගන්න කටයුතු කරනවා. දේශපාලන හෙංචයියන් නොවන වෘත්තීය මට්ටමේ නායකත්වයක් අදාළ රාජ්‍ය ආයතනවලට ලබා දෙනවා.

අපට අවශ්‍යයි අලුතින් ඩොලර් උපයන කර්මාන්ත. කොහෙන්ද අපි ඩොලර් උපයන්නෙ. ඩොලර් උපයන්න තියෙන එකම මග මොකක්ද? අධ්‍යාපනයෙන්. විශේෂයෙන් ම තාක්ෂණික සේවා ප්‍රවර්ධනයෙන් තමයි අපිට ඩොලර් උපයන්න තියෙන්නෙ. ඒකට අවශ්‍ය ම පිරිස තමයි තරුණ පරපුර. හෝමාගම නගරයේ තාක්ෂණ නගරයේ අරමුණ වුණේ මේ අලුත් තාක්ෂණයට මේ රට මෙහෙයවන එක. අපිට අලුත් ඩොලර් උපයන තරුණ පරම්පරාවක් ඇති කරන එක. නමුත් අවාසනාවකට මේ රටේ ඡන්දදායකයො තීරණය කළා රට රකින විරුවෙක් ගේන්න. ඒ විරුවා එම තාක්ෂණ නගරය අහෝසි කරලා වැලිකඩ හිරගෙදර එතනට ගෙනල්ලා තිබ්බ ඉඩම විදේශ ආයෝජකයෙකුට පවරා දුන්නා.

අලුත් මතයක් අපේ විප්ලවකාරී පක්ෂයක් විසින් ඉදිරිපත් කරලා තියෙනවා. හෝඩියෙ පන්තියෙ ඉඳන් ඉංග්‍රීසියෙන් උගන්වන්න. අධ්‍යාපන විශේෂඥයන්ගෙ මතය මව් භාෂාවෙන් ඉගැන්වීමෙන් තමයි දරුවගෙ අධ්‍යාපනය, මනස ගොඩ නැගෙන්නෙ. අනිවාර්යයෙන් සිංහලෙන් සහ දෙමළෙන් ප්‍රාථමික අධ්‍යාපනය දරුවට ලබා දෙන්න ඕනෙ.

නූතන වහල් යුගයක් අද මේ මහ පොළොවෙ ඇතිවෙලා තියෙනවා. කොළඹ නගරයට නැත්නම් අනෙකුත් නගරවලට අපේ වතුකරයේ කාන්තාවො විකුණලා ජීවත් වෙන තරමට අපි අද වැටිලා තියෙනවා මේ ආර්ථික තත්ත්වයත් එක්ක. මේ මෑතකදි සිද්ධියක් වාර්තා වුණා. නම රාජ් කුමාරි වැලිකඩ පොලිසියට ගෙනල්ලා ගහලා ඒ කාන්තාව මරා දැම්මා. මේක නූතන වහල් ක්‍රියාවලියේ සංකේතයක්. කවුද මේකට අණ දුන්නේ? අද මේ රටේ ඝාතන රැල්ලක් පටන් අරගෙන තියෙනවා. නීතිය සම්පූර්ණයෙන් ම වල් වැදිලා තියෙනවා. පොලීසිය උඩ ඉඳන් පහළට පාදඩ ත්‍රාඩ කල්ලියකගෙ ග්‍රහණයට ගිහිල්ලා. ලෝකෙ කිසි රටක නෑ ත්‍රස්තවාදී කටයුතුවලට උදව් කරපු මිනිහෙක් පොලිස් ඇමැති කරලා. මේ රටේ එහෙම කරල තියෙද්දි මේ අයගෙන් කොහොමද යුක්තිය ප්‍රාර්ථනා කරන්නෙ. අද රටේ සිදුවන ඝාතන රැල්ලටත්, තුවක්කු සෙල්ලම් වලටත් මේ රාජ් කුමාරි සිද්ධියටත් දිනක මේ වගකිව යුත්තන්ට දඬුවම් කරන යුක්ති සහගත සමාජයක් අපි ඇති කරනවා. කිසිම කෙනෙකුට ඇමතිකම්වල හැංගිලා, බැංකුවලට පොලු තියලා කෝටි ගණන් සල්ලි අරගෙන ඇමැතිකම් අරගෙන පක්ෂ පාලනය කරගෙන රජවෙලා ඉන්න හම්බවෙන්නෙ නෑ.

ලබන සතියෙ සෞඛ්‍ය ඇමැතිට එරෙහිව විශ්වාසභංගයක් එනවා. සෞඛ්‍යයේ ඛේදවාචකය අතරේ ජාවාරම්කාර කල්ලියක් මේ හැම එකකින් ම හම්බකරනවා. ඇස්ප්‍රීන් පෙත්තේ සිට බොරු ව්‍යාජ ඖෂධ හරහා, ප්‍රමිතියෙන් තොර ඖෂධ හරහා මේ ජාවාරම්කාර පන්තිය ඒ ජාවාරම් කරගෙන යනවා. මේක කෙහෙලිය රඹුක්වැල්ලගෙන් විතරක්, ඡන්ද විමසීමකින් විතරක් විසඳන්න පුලුවන් ප්‍රශ්නයක් නෙමෙයි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උසස් ගුණාත්මක යුගය සඳහා රටේ සෞඛ්‍ය පද්ධතිය ගොඩ නැගීමට එක්සත් ජනරජ පෙරමුණ කටයුතු කරනවා.

නාමල් රාජපක්ෂගෙ ගෙදර ලයිට් කපන්නෙ නැතිව මිහින්තලේ ලයිට් කපනවනම්, ආරණ්‍ය සේනාසනවල ලයිට් කපනවනම් යුක්තිය පිළිබඳ ප්‍රශ්නයක් මේ රටේ තියෙනවා.

ලංකා විදුලිබල මණ්ඩලයෙ ඉංජිනේරුවො 150-200 රට දාලා යන එක ගැන අහන්න දෙයක් නෑ.
මේ රටේ දැවැන්ත සීනි බදු වංචාවක් ගෝඨාභය ජනාධිපති මහින්ද අගමැති කාලෙ වුණා. රු. 50 තිබ්බ සීනි බද්ද සත විසිපහට ගෙනාව. නමුත් සීනි මිල අඩු කළේ නෑ. මුදල් අමාත්‍යාංශය ම පාර්ලිමේන්තුවට කිව්වා කෝටි 1600 ක වංචාවක් කළා කියලා. අවු. 2ක් තඹ දො‍යිතුවක් මේ සීනි බදු වංචනිකයන්ගෙන් අය කරගන්න කටයුතු කරලා නෑ. එහෙම කරලා දොස්තර, ඉංජිනේරු ආදී වෘත්තිකයන්ගෙන්, සාමාන්‍ය ජනතාවගෙන් බදු ගහන්න ගත්තාම කොහෙද ආර්ථික යුක්තියක්.

රටේ බදු ගෙවිය යුතු පිරිසගෙන් 45%ක් බදු ගෙවන්නෙ නෑ. ඒ සියලු දෙනා බදු දැල ඇතුලට ගන්න නම් තාක්ෂණික වශයෙන් දියුණු ඩිජිටල් දත්ත වේදිකාවක් අපට අවශ්‍යයි. ඒ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනාවත් ඒක අද වෙනතුරු ක්‍රියාත්මක කරලා නෑ. රේගු, දේශීය ආදායම්, මෝටර් රථ වාහන ලියාපදිංචි, හැඳුනුම්පත්, විවාහ, දෙපාර්තමේන්තු වරාය ගුවන් තොට හැමතැනම එකට සම්බන්ධ වන ක්‍රියාවලියක්, රටට බදු අයවන ක්‍රමවේදයක් අපි ගේනවා.

වර්ෂයකට ඩොලර් කෝටි 200කට වඩා රටින් පිටට යන හිල් වහන ක්‍රමවේදයක් අපි ගෙන එනවා.
ශ්‍රී ලාංකේය අනන්‍යතාව සහිත පිරිසකට මේ රටේ නායකත්වය ලැබිය යුතුයි. ඒ සඳහා සිංහල දෙමළ මුස්ලිම් තරුණ ජනතාව එකට එක් වෙන්න ඕනෙ. එහෙම ගොඩනගන කොට ඕනෙම දක්ෂ කෙනෙකුට මේ රටේ ජනාධිපති ධුරය දක්වා අවශ්‍ය නව බලය නව පෙරමුණ එක්සත් ජනරජ පෙරමුණ විසින් නිර්මාණය කරනවා.”

– Media unit

Related posts

ජල බිල වැඩිවෙයි.. ස්ථාවර ගාස්තුව 600%කින් ඉහලට…

Shiran Viraj

කබ්රාල්ට ඉවත් වන්නැයි ජනාධිපති දන්වයි..? එය IMF පලමු කොන්දේසියයි..?

Shiran Viraj

යුද හමුදා නිලධාරීන්ගෙන් වෛරසය පැතිරීමට කිසිදු ඉඩක් තබන්නේ නෑ

Shiran Viraj

Leave a Comment