News Sports Sports News

ක‍්‍රිකට් මහා පාවාදීමක්…

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් පවත්වන්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා අන්තර්ජාතික ක්‍රිකට් සභාවට ලිපි තුනක් යවමින් ඉතා දැඩිව බල කර ඉල්ලා ඇති බව ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති රොෂාන් රණසිංහ මහතා පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා පසුගිය නොවැම්බර් 6, 7, හා 9 වැනිදා අන්තර්ජාතික ක්‍රිකට් සභාවට ලිපි තුනක් යවා ඇති බව කී අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට අන්තර්ජාතික ක්‍රිකට් තහනමක් පැනවිය යුතුම බව ඒවායෙන් කියා ඇති බව සඳහන් කළේය.

එම ලිපි අතරින් නොවැම්බර් 7 වැනිදා අයි.සී.සී.යට යොමු කළ ලිපිය ඉතා බරපතළ බවද ඔහු කීවේය.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ක්‍රීඩා අමාත්‍යාංශයේ ඊයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

තමා මේ ලිපිය දකින්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට මෙතෙක් සිදුකළ විශාලතම කළු පැල්ලම හා අපහාසය හැටියට බවත් මේ ලිපියේ ඉතා බරපතළ වචන පාවිච්චි කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර තහනමක් පනවන්නැයි ඉල්ලමින් යොමු කළ ලිපියේ එක් තැනක ඉතා පැහැදිලිව බල කර ඉල්ලා ඇති බවද හෙතෙම ප්‍රකාශ කළේය.

මේ සියලු‍ ලිපි යවා ඇත්තේ ක්‍රිකට් ආයතනයේ විධායක සභාවේ අනුමැතියකින් තොරව බවත් ශ්‍රී ලංකාවේ උත්තරීතර පාර්ලිමේන්තුවත් මෙමගින් හෑල්ලු‍වට ලක්වන බවත් ඇමැති රණසිංහ මහතා කීවේය.

රටේ නීති රෙගුලාසි හදන්නේ පාර්ලිමේන්තුව බව කී ඇමැතිවරයා ඒවා අභිබවා යන්න මේ රටේ ක්‍රිකට් ආයතනයට තබා ජාත්‍යන්තර ක්‍රීඩා සංගමයකටවත් නොහැකි බව පැවසීය.

මෙම ප්‍රශ්නය නිසා තමාට අද එල්ල වී තිබෙන තර්ජනය ගැන තමා රහස් පොලිසියට පැමිණිලි කළ බවත් ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා හා සුදත් චන්ද්‍රසේකර යන අයට විරුද්ධව රහස් පොලිසියට පැමිණිලි කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

තමා රහස් පොලිසියට ගියේ ඒ සඳහා පමණක් නොවන බව කී ඇමැතිවරයා රජයේ විගණකාධිපතිවරයා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් නිකුත් කර ඇති විගණන වාර්තා ගෙනැවිත් විමර්ශනයක් කරන ලෙස රහස් පොලිසියෙන් ඉල්ලා සිටි බවද පැවසීය.

රටේ ඇති වී තිබෙන ක්‍රිකට් ප්‍රශ්නය කෝප් කමිටුව චිත්‍රපටයක් කරන්න හදන බවත් පැය දෙකක කාලයක් එතන කතා කළ යුතු ක්‍රිකට් ප්‍රශ්න පැත්තක දමා වැඩකට නැති වෙනත් දේවල් කතා කර කර සිටි බවත් ඇමැති රණසිංහ මහතා ප්‍රකාශ කළේය.

ඉන් පාර්ලිමේන්තුවද හෑල්ලු‍වට ලක්වූ බවත් හොරු අල්ලන්න ආ කෝප් කමිටුව දැන් හොරු විසින් අල්ලාගෙන යැයි අන්තිමට ජනතාව ද කියන්න පටන්ගත් බවත් ඔහු පැවසීය.

ජනාධිපතිවරයාත් ජනාධිපති මාධ්‍ය අංශයත් කියන්නේ දෙකක් බවත් ජනාධිපති මාධ්‍ය අංශය කියන ඒවා ජනාධිපතිවරයා කියන ඒවා හැටියට හැඳින්විය යුතු නැති බවත් ඔහු සඳහන් කළේය.

ජනාධිපතිවරයාගෙන් හෝ ආණ්ඩුවෙන් තමාට කිසිඳු බලපෑමක් ඇති වී නැති බවත් ජනාධිපතිවරයා කේ.පී. චිත්‍රසිරි කමිටුව පත් කර එම කමිටුව විමර්ශනය කිරීමට පාර්ලිමේන්තු අනුකමිටුවත් පත්කළෙත් මෙතන ප්‍රශ්නයක් තිබෙන නිසා බවත් ඇමැති රොෂාන් රණසිංහ මහතා පැවසීය.

ක්‍රිකට් තහනමෙන් ශ්‍රී ලංකාවේ පවත්වන්නට තිබූ වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය අත්හිටුවීම නිසා මෙරටට එන්න හිටපු සංචාරකයන් 800කගේ පමණ ගමන නැවතුණු බව හරීන් ප්‍රනාන්දු ඇමතිවරයා ප්‍රකාශ කර ඇති බව කී ඇමැතිවරයා එම කතාව ගැන තමා කනගාටු වන බවද කීය.

මේ රටේ ක්‍රිකට් තහනම් වුණේ ක්‍රිකට් ආයතනයේ බල කිරීම නිසා බවත් ක්‍රිකට් ආයතනයේ විධායක සභාවට ඇමැතිවරයාගේ නියෝජිතයා හැටියට පත් කළ අසන්ත ද මෙල් මහතා කිසිඳු අවස්ථාවක ක්‍රිකට් ආයතනයේ කටයුතුවලට කැඳවීම් කර නැති බවත් ඔහු සඳහන් කළේය.

ක්‍රීඩා ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට හෝ විපක්ෂයට එක්වීමට මේ මොහොතේ තමාගේ කිසිඳු අදහසක් නැති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

එය වත්මන් ආණ්ඩුවට ඡන්දය දුන් හැටනවලක්ෂයක් වන ඡන්දදායකයන්ට පයින් ගැසීමක් වන බවද ජනාධිපතිවරයාට අවශ්‍ය නම් තමන් ඇමැති ධුරයෙන් ඉවත් කළ හැකි බවද ඔහු පැවසීය.

ජනාධිපතිවරයා හා ජනාධිපති මාධ්‍ය අංශය යනු දෙකක් මිස එකක් නොවන බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කරන නිවේදනවලින් හැමවිටම ජනාධිපති මතය ප්‍රකාශ නොවන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

කුසලා සරෝජනී වීරවර්ධන වාර්තාව සම්බන්ධයෙනුත් විගණකාධිපති වාර්තා සම්බන්ධයෙනුත් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා ක්‍රිකට් ආයතනය දැනුවත් කර ඇති බවත් නමුත් ඒ මතයටවත් ක්‍රිකට් ආයතනය උත්තර නොදුන් බවත් ඔහු පැවසීය.

පාපන්දු, රග්බි ක්‍රීඩා ජාත්‍යන්තර තරග තහනමක් ගැන රටේ කතා කරන බවත් රග්බිවලට ජාත්‍යන්තර තහනමක් පැනවුණේ නාමල් රාජපක්ෂ මහතා ක්‍රීඩා ඇමැතිව සිටියදී බවත් ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකාවට පනවා තිබූ ජාත්‍යන්තර පාපන්දු තහනමද රටේ නීතියත් සෑහෙන දුරකට ආරක්ෂා කරමින් ඉවත් කරගන්නට තමාට හැකි වූ බවද ඔහු කීවේය.

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ක්‍රිකට් තහනම ඉවත් කරගැනීමට පාර්ලිමේන්තුවේ 225 දෙනාම එකතු වී සිටින බවද ඔහු සඳහන් කළේය.

ශම්මි සිල්වා ආසියානු පදක්කම් දිනපු ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රුපියල් කෝටි තුනක් දුන් බවත් එය අගය කරන බවත් අමාත්‍යවරයා කීවේය. නමුත් ඒ ශම්මි සිල්වාගේ සල්ලි නොවන බවත් ක්‍රිකට් ක්‍රීඩකයන් දුක් මහන්සි වී හම්බ කළ සල්ලි බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

ක්‍රිකට් ආයතනයේ සල්ලිවලින් සියයට 20ක් ක්‍රීඩා ඇමැතිවරයා ඉල්ලපු එක මේ සියලු‍ම ප්‍රශ්නවලට මුල්වෙලා යැයි කියන නමුත් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා ඒ සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනයට යොමු කළ ලිපියේ ඉතා පැහැදිලි ලෙස සඳහන් කර ඇත්තේ එසේ කළ හැකි නම් එය කාරුණික ඉල්ලීමක් ලෙස පමණක් සලකා ක්‍රියාකරන ලෙස බවද ඇමැතිවරයා සඳහන් කළේය. එතනදී ඇමැතිවරයා කිසිම බලපෑමක් කර ඇති බවත් දැන් ඔය ශම්මි සිල්වා මලල ක්‍රීඩකයන්ට සල්ලි දුන්නා සේ ඒ මුදල් ඉල්ලු‍වේ ඒ වගේ වැඩවලට යොදවන්නට බවත් ඔහු ප්‍රකාශ කළේය.

– Lankadeepa

Related posts

චම්පිකගෙන් නව බලවේගයක්.. පිරිසක්ද එක්වෙයි.. 113 ආ පසු නව ආණ්ඩුවක්..

Shiran Viraj

ලෙබනනයේ පිපිරීම හිරෝෂිමා බෝම්බයේ ප්‍රබලත්වයෙන් හරි අඩක් : පුද්ගලයින් ලක්ෂ දෙකහාමාරකට නිවාස අහිමිවෙයි

Shiran Viraj

ටින් මාලු යළිත් වරායේ හිර වේ

Shiran Viraj

Leave a Comment