උතුරු සහ නැගෙනහිර පළාත්වල ජනතාවගේ ඡන්ද ඉලක්ක කරමින් “13 වැනි සංශෝධනය” සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමට පොරොන්දුවීම මගින් රට බෙදුම්වාදයේ ගොදුරක් බවට
පත් වීම හැර අන් කිසිවක් සිදු නොවන බව ජාතික නිදහස් පෙරමුණ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අවධාරණය කරයි.
අද(12) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවේදී එහි ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා එසේ අවධාරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායකවරයා මෙසේද සඳහන් කළේය.
“සජිත්ගේ විවෘත ප්‍රකාශය”
“මීට පෙර කිසිදු විපක්ෂ නායකවරයෙකු නොකළ ආකාරයට උතුරු ප්‍රදේශයේ ජනතාව අමතමින් 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ස්ථිරසාර සහ විවෘත ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. එතුමාට පෙර එම ධුරය දැරූ පුද්ගලයින්ට ද ඔහුට මෙන්ම බාහිරින් ඒ සඳහා පීඩනයක් එල්ල වුවත් ඔවුන් විසින් එය විවෘතව ප්‍රකාශ නොකළේ ඊට එරෙහිව ප්‍රබල ජනමතයක් පැවතීම නිසා බව ඉතා පැහැදිලියි. නමුත් මේ වන විට රටේ පවතින ආපදා තත්ත්වය තුළ එම විරෝධය ප්‍රබල ලෙස මතු නොවන බව සජිත් ප්‍රේමදාස මහතා විසින් හිතනවා.
13 සංශෝධනයේ සැබෑ වුවමනාව
කෙසේ වෙතත් එතුමා එවැනි ප්‍රකාශයක් කරනු ලබන්නේ උතුරු සහ නැගෙනහිර පළාත්වල ජනතාවගේ ඡන්ද ඉලක්ක කර ගනිමින් බව ඉතා පැහැදිලියි. අපට මතකයි එතුමා විසින් මීට පෙර පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමේදී එම්. ඒ. සුමන්තිරන් මන්ත්‍රිවරයාගේ ඉල්ලීම පරිදි එම සංශෝධනයට ’13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම සඳහා වන වගන්ති 2ක්’ ඇතුළු කළ බව. ඒ වගේම අපට මතකයි, එතුමාගේ පියා 1987 දී ඉන්දු ලංකා ගිවිසුමට අකමැත්ත ප්‍රකාශ කළත් පසුව 13 වැනි සංශෝධනයට පක්ෂව අත ඔසවනු ලැබූ බව. නමුත් ඔහු කිසිදු අවස්ථාවක 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කරන බවට ප්‍රකාශ කළේ නැහැ. ජනාධිපතිවරයෙකු ලෙස ඒ සඳහා උත්සාහ කිරීමට ද කටයුතු කළේ නැහැ. අපි විපක්ෂ නායකවරයාට කියනවා, ‘ඔබ විසින් පටු දේශපාලන උවමනාවන් සඳහා ප්‍රකාශ නිකුත් කිරීමට පෙර 13 වැනි සංශෝධනයේ ඉතිහාසය විමසා බලන්න. එහි බරපතලකම සහ එම සංශෝධනයේ සැබෑ වුවමනාව කුමක්දැයි තේරුම් ගන්න.’ කියලා.
භූඃ දේශපාලන උවමනාව
එම ඉතිහාසය ආරම්භ වන්නේ 1932 දී ඉන්දියාවේ සර්දාර් පනික්කාර් න්‍යාය අනුව ශ්‍රී ලංකා රාජ්‍යය දුර්වල කරලා ගිවිසුම් මඟින් අර්ධ යටත් විජිතයක් බවට පත් කර ගත යුතුයි, යන න්‍යායාත්මක ප්‍රවේශය මතයි. ඒ අනුව එදා 1987 දී ඔවුන්ගේ අරමුණ වූයේ බෙදී වෙන් වන ඊළාම් රාජ්‍යය අර්ධ යටත් විජිතයක් ලෙස ඇඳා ගැනීමයි. නමුත් අද වන විට පවතින ආපදා තත්ත්වය උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉන්දියාවේ ආර්ථිකය සමග ඒකාබද්ධ කිරීමට යෝජනා ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී 13 වැනි සංශෝධනය බලාත්මක කිරීමෙන් පසුව 30 වැනි ප්‍රාන්තය ද බිහිවීමේ හැකියාව තිබෙනවා. 13 වැනි සංශෝධනයේ අවසන් ප්‍රතිඵල අවබෝධකර ගත යුත්තේ ඉන්දු – ඇමෙරිකානු දීර්ඝකාලීන භූ දේශපාලන උවමනාවන්ට සාපේක්ෂවයි.
ඉන්දු – ඇමෙරිකානු භූ දේශපාලන උවමනා
ඉන්දු – ඇමෙරිකානු භූ දේශපාලන උවමනාවට අනුව බෙදුම්වාදී ගැටුම් වර්ධනය කිරීම සඳහා බාහිර බලවේග දායක වූ බව සහ එය යොදා ගනිමින් ඉන්දු- ලංකා ගිවිසුම අත්සන් කිරීමට ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාට බලපෑම් කළ බව දැන් රහසක් නොවෙයි. එසේ වුවත් එතුමා විසින් රට බෙදීම වැළැක්වීම සඳහා ඉන්දියානු නිලධාරීන් සමඟ කේවල් කර 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම වැළැක්වීම සඳහා යම් ව්‍යවස්ථාමය බාධක ප්‍රමාණයක් පනවා ඇති බව හිටපු අගවිනිසුරු රාජා වනසුන්දර මහතා විසින් පසුව හෙළිදරව් කරනු ලැබුවා.
‘ජාතියේ හිසට ඉහළින් එල්ලා ඇති භයානක කඩු තුඩක්!’
එසේ කිරීම මගින් අදාළ සංශෝධනය ජනමත විචාරණයකට ඉදිරිපත් කිරීමට සිදු නොවන ආකාරයට සම්මත කරගැනීම ඉන්දියාවේ අපේක්ෂාව වූ බව පිළිගත හැකියි. එදා ඉන්දු – ලංකා ගිවිසුමට සහ 13 වැනි සංශෝධනයට එරෙහිව පැවති ප්‍රබල විරෝධය නිසා එම සංශෝධනය ජනමත විචාරණයක් මගින් සම්මත කළ නොහැකි බව පැහැදිලි කරුණක්.
එම විනිසුරුතුමා 13 වැනි සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ පෙත්සම් විභාග කළ විනිසුරු මඩුල්ල ද නියෝජනය කරනු ලැබුවා. එතුමාට අනුව, ’13 වැනි සංශෝධනය යනු ජාතියේ හිසට ඉහළින් එල්ලා ඇති භයානක කඩු තුඩක්’. ඔහුට අනුව එය ගැට ගසා ඇත්තේ ඊට එරෙහිව පවතින ව්‍යවස්ථාමය බාධක නම් වූ ඉතා දුර්වල රැහැන් පටවලින්. ඒ නිසා ඔහු අපේ රටේ මහා සංඝරත්නය ප්‍රමුඛ ජාතික බලවේගවලින් ඉල්ලා සිටියේ ව්‍යවස්ථා සංශෝධනයක් මගින් හෝ පරිපාලන ක්‍රියාමාර්ග මගින් එම රැහැන් පට කපා දැමීමට දිවිහිමියෙන් ඉඩ නොදෙන ලෙසයි. ඒ අනුව ඔහු අවධාරණය කළේ නව ව්‍යවස්ථාවක් මඟින් “කඩුව” ඉවත් කරන තෙක් රැහැන කැපීම හෙවත් බාධක ඉවත් කිරීම මගින් 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම කිසිසේත්ම නොකළ යුතු බරපතළ වරදක් බවයි.
නව ව්‍යවස්ථාවක් සම්මත කිරීම
නමුත් පවතින දේශපාලන තත්වය සහ විදේශීය බලපෑම් නිසා 13 වැනි සංශෝධනය පමණක් විශේෂිතව ඉවත් කිරීම ද යථාර්ථයක් නොවන බවට අපට විවාදයක් නැහැ. එසේ නම් කළ යුත්තේ 13 වැනි සංශෝධනයක් නොමැති නව ව්‍යවස්ථාවක් සම්මත කිරීම සහ ඒ මගින් බෙදුම්වාදයෙන් රට ගලවා ගන්නා අතර විධායක බලය උපරිම ලෙස විමධ්‍යගත කිරීමයි. එසේම සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවට සමාන අයිතිවාසිකම් තහවුරු කෙරෙන බව එම නව ව්‍යවස්ථාව මගින් සහතික කිරීමයි. නමුත් විපක්ෂ නායකවරයා විසින් බලය ලබාගැනීමේ පටු උවමනාව සඳහා ලබාදෙන පොරොන්දු නිසා එතුමා බලයට පත්වුවත් එම නිවැරදි ක්‍රියාමාර්ගය තේරීමට කිසිදු ඉඩක් නොලැබෙන බව ඉතා පැහැදිලියි.
ඒ ආකාරයට අනතුරුදායක දේශපාලන පොරොන්දු ලබාදෙමින් සුළුජන ඡන්ද පදනම ශක්තිමත් කර ගැනීම මගින් එතුමා බලයට පත්වුවහොත් අනිවාර්යෙන්ම නව ව්‍යවස්ථාවක් වෙනුවට පවතින ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කිරීමට සිදුවනු ඇති.
“රනිල් -සජිත් : එක වල්ලේ පොල්”
රටේ අනාගත ඉරණම තීන්දු කිරීමට අදාළ වැදගත්ම සහ ප්‍රබලම ප්‍රතිපත්තිමය කරුණක් පිළිබඳව එනම් 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමට අදාළව විපක්ෂ නායක ලෙස එතුමාගේ මතය සහ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මතය අතර කිසිදු වෙනසක් හෝ ගැටුමක් නොමැති බව ඉතා පැහැදිලියි. එසේ නම් එම දෙපළ අතුරින් කුමන පුද්ගලයෙකු විසින් ජනාධිපති ධුරය අත්පත්කර ගත්තද ඉහත දැක්වූ රටේ ඉරණම වෙනස් නොවන බව ද ඉතා පැහැදිලියි. ඒ අනුව එම දෙපළ පොදුජන පෙරමුණ සමඟ සන්ධානගතව හෝ එසේ නොමැතිව රටේ දේශපාලන බලය ලබාගැනීම යනු රටේ ඉතිහාසය අවසන් කිරීමේ ආරම්භය බව ද අපි ජාතිය හමුවේ අවධාරණය කරනවා.”
(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ