News Political

ශ‍්‍රීලනිප කෑල්ලක් නාමලුත් කඩාගනී..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනැඟීම හුදෙක්ම ප්‍රතිපත්තිමය කාරණයක් මිස පුද්ගලයෙක් හෝ පක්ෂයක් සමඟ පැවැති පෞද්ගලික අමනාපයක් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

බොහෝ අවස්ථාවල පාර්ලිමේන්තුවට අන පනත් ගෙන එන්නේ ද පෞද්ගලිකත්වය කේන්ද්‍ර කරගෙන බව පෙන්වාදෙන ඒ මහතා එසේ නොමැතිව රටේ අවශ්‍යතාවය මත නොවන බවද තම පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිකළේ පංච මහා බලවේගය කේන්ද්‍ර කරගත් රණවිරුවා, රටවිරුවා නියෝජනය නොවුණු යහපාලන ආණ්ඩුවට මුහුණ දෙන්න අවශ්‍ය දේශීය චින්තනය ගොඩනඟපු, දේශීයත්වය අගය කළ, රට ජාතිය ආගම සුරක්ෂිත කළහැකි දේශපාලන බලවේගයක් ගොඩනැඟීමට බවද පෙන්වාදෙයි.

ඒ මහතා මේ බව සදහන් කළේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී අද (05) පෙරවරුවේ පැවැති උත්සවයකට එක්වෙමිනි. එළඹෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ඉදිරිපත් වන නාමල් රාජපක්ෂ මහතාට සහාය පළකරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සන්ධානය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ගිවිසුමකට එළඹීම මෙහිදී සිදුකෙරුණු අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රචාරක ලේකම් හා හිනිදුම ආසන සංවිධායක තිරස ගුණසිංහ මහත්වරු ඊට අත්සන් කළහ.

එහිදී වැඩිදුරටත් අදහස් පළකළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා,

අපි අපේ ප්‍රතිපත්තීන් ආරක්ෂා කරගෙන දේශපාලනය කරන්න ඕන කියා විශ්වාස කරනවා. එදා බන්ඩාරනායක, ඩී.ඒ රාජපක්ෂ මහත්වරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිර්මාණය කළේ අපේ රටේ පංච මහා බලවේගය නියෝජනය කිරීම එවකට පැවැති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන් සිදු නොවුණු නිසයි. රෙද්ද බැනියම ඇදපු, මහ පොලොවේ පය ගහපු, දේශීය චින්තනය අත දරපු, බෞද්ධ චින්තනයෙන් ගොඩනැඟුණු රටක එවැනි දේශපාලන සංස්කෘතියක් ආරක්ෂා නොවීම නිසා එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැඟුණා. 2015 වසරේ අපි පරාජයට පත්වුණා. ඒ සමඟ නැවත වරක් ඒ තිබුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධාන ගතවුණා. ඒ සන්ධාන ගතවීම තුළින් එදා බණ්ඩාරනායක හා ඩී.ඒ රාජපක්ෂ මහත්වරු අපේක්ෂා කළ පංච මහා බලවේගය, දේශීය චින්තනය, රණවිරුවන්, රටවිරුවන් නියෝජනය නොවුණු නිසා මහින්ද රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනඟන්න සිදුවුණා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනැඟීම හුදෙක් ප්‍රතිපත්තිමය කාරණයක් මිස පුද්ගලයෙක් හෝ පක්ෂයක් සමඟ පැවැති පෞද්ගලික අමනාපයක් නොවෙයි. මොකද අපි අපේ රටේ දැකපු කාරණයක් තමයි බොහෝ වෙලාවට පාර්ලිමේන්තුවට අන පනත් ගේන්නෙත් පෞද්ගලිකත්වය කේන්ද්‍ර කරගෙනයි. එසේ නොමැතිව රටේ අවශ්‍යතාවය මත නොවෙයි. 18, 19, 20, 21 ගත්ත ද පුද්ගල බද්ධව ගෙනා පාර්ලිමේන්තු අන පනත් වෙනවා. ඒ වගේම තමයි පක්ෂ බිහිවෙන්නෙත් බොහෝ වෙලාවට ප්‍රතිපත්තිමය කාරණාවලට වඩා පුද්ගලයෙකුගේ අවශ්‍යතාවය මතයි. වර්තමාන මැතිවරණ වේදිකාවේ පුද්ගලයන් ඉලක්ක කරගෙන මැතිවරණ ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමත් ප්‍රතිවාදියා උණත් මෙයාට වඩා අරයාට ඡන්දය දෙන්න කියා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම තුළ පැහැදිලිව රටත්, ජාතියත්, ආගමත් ප්‍රතිපත්තියට එහා ගිය පුද්ගල බද්ධව මැතිවරණය මෙහෙයවීමක් අපි දකිනවා.

ඒ නිසා අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිකළේ එදා පංච මහා බලවේගය කේන්ද්‍ර කරගත් රණවිරුවා, රටවිරුවා නියෝජනය නොවුණු යහපාලන ආණ්ඩුවට මුහුණ දෙන්න අවශ්‍ය දේශීය චින්තනය ගොඩනඟපු දේශීයත්වය අගය කළ රට ජාතිය ආගම සුරක්ෂිත කරන්න පුළුවන් දේශපාලන බලවේගයක් ගොඩනඟන්නයි. අපි ජයග්‍රහණය කළා. ඒ වගේම කුමන්ත්‍රණයෙන් අපිව වැට්ටුවා. හොඳම උදාහරණය ලෙස ලංකාවත් බංගලාදේශයත් ගත්තාම ලංකාවේ ආර්ථික අර්බුදයක් තිබෙයි කියා බොහෝ අය කිවුවා. බංගලාදේශයේ ආර්ථික අර්බුදයක් තිබුණේ නැහැ. නායකයෝ දෙදෙනාම ජාතිකත්වය මත බලයට ආව නායකයෝ දෙදෙනෙක්. ඒ නායකයෝ දෙදෙනාගේ අවසාන ඉරණම රට අතහැර, ආණ්ඩුවත්, රාජ්‍යයත් අතහැර යාමට සිදුවීමයි. වෙනස අපි ආණ්ඩුව පස්සට අර ගත්තා. රාජ්‍ය වැටෙන්න දෙන්නේ නැතිව රාජ්‍ය ආරක්ෂා කළා. ඒ තුළ අපිට යම් ස්ථාවරත්වයකට එන්න පුළුවන් වුණා. නමුත් බංග්ලාදේශය රාජ්‍යයත් ආණ්ඩුවත් දෙකම අතහැරි නිසා අස්ථාවරත්යට පත්ව තිබෙනවා.

ඒ කෙසේ වෙතත් අපි ප්‍රතිපත්තිමය වශයෙන් නොපිළිගත්තත් ඒ වෙලාවේ සිදුවූ සිදුවීම් මත අපි යම්කිසි සන්ධානගතවීමක් සිදුවුණා. අපි පෞද්ගලිකව දන්නවා ඒ සන්ධාන ගතවීම තුළ අපිට ආදරය කළ, අපිට ඡන්දය දුන්, දේශපාලනය කළ, දේශීය චින්තනය ඇති බොහෝ අය අපෙන් ඈත්වුණා. අපි පසුගිය වසර දෙකක කාලය තුළ අපි දැකපු කාරණයක් ඒක. අපිට ඒක දැක දැකත් ඒ ඈත්වීම පිළිගන්න සිදුවුණා රටේ දේශපාලන ස්ථාවරත්වය ඇති කරන්න. ඒ වගේම තමයි තවදුරටත් ඒ ස්ථාවරත්වය පවත්වාගෙන යන්නත් උත්සාහ කරනවා. ජාතික සම්පත් සම්බන්ධයෙන් අපේ ප්‍රතිපත්තිය, ඒකීය රට, 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කේන්ද්‍ර කරගත් අපේ ප්‍රතිපත්තිය, බෞද්ධ සංස්කෘතිය මත මේ රට ගොඩනැඟෙන්න ඕන කියන ප්‍රතිපත්තිය මත ඒවාට එකඟ නොවුණු නිසා අපේ අපේක්ෂකයෙක් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් කළයුතුයි කියා තීන්දු කළා. එය පක්ෂයක් විදියට වර්තමානයේ අපේ වගකීමක් වගේම අපි සියලු දෙනා සතුව පාරම්පරික බැඳීමක් තිබෙනවා අපි විශ්වාස කරන දේශපාලන කඳවුර ආරක්ෂා කරන්න.

ඒ අනුව අද මේ රටේ දේශීය චින්තනය කේන්ද්‍ර කරගත් රටේ ඒකීයත්වය සුරක්ෂිත කරන්නත් මේ රටේ අපි විශ්වාස කරන සංස්කෘතීන් ආරක්ෂා කරන ගමන් දේශීය ආර්ථිකය කේන්ද්‍ර කරගත් ආර්ථික වැඩපිලිවෙලක් තිබෙන එකම බලවේගයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ දේශපාලන බලවේගය වෙනවා. අපිට වැඩපිළිවෙලක් තිබෙනවා. දැක්මක් තිබෙනවා. අපි දේශීය ව්‍යාපාරිකයා, ව්‍යවසායකයා සහ මේ රටේ ජනතාව විශ්වාස කරනවා. අපි ලංකාවේ ගොවියා, ධීවරයා, කම්කරුවා, විශ්වාස කරනවා වෙනත් රටක ධීවරයෙක්ට, ගොවියෙක්ට, කම්කරුවෙකුට වඩා. අපේ රටේ ව්‍යවසායකයා අපි විශ්වාස කරනවා වෙනත් රටක ව්‍යවසායකයෙකුගේ භාණ්ඩයක් මේ රටට ගෙනවිත් අලෙවි කරනවා වෙනුවට.අපේ රටේ ව්‍යාපාරිකයා විශ්වාස කරනවා අපේ රටේ ආයෝජනය කිරීම තුළ රැකී රක්ෂා උත්පාදනය වගේම මේ මාතෘභූමිය තුළ නව ව්‍යාපාර පැලැන්තියක් අපිට නිර්මාණය කළහැකියි කියන කාරණය.

ඒ අනුව පැහැදිලිවම රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ජාතික සම්පත් විකිණීම කියන කාරණය නොකල යුතුයි. එය ප්‍රායෝගික නැහැ. අසීමිත බදු බරකින් රටේ ආර්ථිකය ගොඩනඟන්න පුළුවන් කියන කාරණය අපි විශ්වාස කරන්නේ නැහැ. ජනතාවගේ ගිණුම්වල තිබෙන මුදල් රැගෙන රටේ ආර්ථිකය හදන්න ඕන කියන කාරණ විශ්වාසයක් අපි සතුව නැහැ. පැහැදිලිවම අපි මේ රටේ ණය ගෙවන්න පුළුවන් රැකියා උත්පාදනය කරනන් පුළුවන් ආර්ථික ප්‍රතිපත්තියක් තුළ මේ රට ඉදිරියට රැගෙන යා හැකි කියන දැඩි විශ්වාසයක් හා ප්‍රායෝගික වැඩපිළිවෙලක් අපිට තිබෙනවා. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පිරිස අපි සමඟ පස්‍රගිය කාලයේ අත්වැල් බැඳගෙන සිටි පිරිස එක් ප්‍රතිපත්තියක සිටින කණ්ඩායමක් ලෙස එක්වීම සම්බන්ධයෙන් ස්තුතිය පිරිනමනවා. ඔබටත් විශාල වගකීමක් තිබෙනවා අපි නියෝජනය කරන කඳවුර ආරක්ෂා කරන්න.

අද අත්වැල් බැඳගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක් වත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණවත් නොවෙයි අද අත්වැල් බැඳගත්තේ අපි විශ්වාස කරන දේශපාලන කඳවුර නියෝජනය කරන එක් මතයක සිටින දෙපිරිසක් එක් අරමුණකට මේ මැතිවරණ කාලසීමාව තුළ වගේම ඉදිරියටත් අපි විහ්වාසය කරන ප්‍රතිපත්ති රකින්න ගන්නා උත්සාහයක් ලෙස මෙය දකිනවා. පසුගිය කාලයේ අපිට නොගැලපෙන ප්‍රතිපත්ති නිසා සන්ධාන ගතවීම නිසා අපෙන් ඈත්වුණු සියලු පාක්ෂිකයන්ටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන, බන්ඩාරනායක ප්‍රතිපත්තිවලට ආදරය කරන, සිරිමාවෝ මැතිනියට, රටට හා දේශීය චින්තනය පෙරටු කොටගත් සියලු දෙනාට අපිට, රටට ගැලපෙන ප්‍රතිපත්ති සමඟ එක්වන්නැයි ආරාධනා කරනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හපුතලේ ආසන සංවිධායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත ලොකුබණ්ඩාර මහතා,

අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ විධායක සභාව නියෝජනය කරමින් විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වෙනවා. එළඹෙන ජනාධිපතිවරණයේ දී අපේ සහාය නාමල් රාජපක්ෂ මහතාට ලබාදෙනවා. පසුගිය 2005 වසරේ දී මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වැඩකළේ. පසුගිය දා නීතීඥවරුන් පිරිසක් අපිට විරුද්ධව පෙනී සිටියා. මම මගේ පළමු ඡන්දය ලබාදුන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් මහින්ද රාජපක්ෂ මහතාගේ කඳවුර සමඟ අත්වැල් බැඳගත්තා. අපේ ජයග්‍රහණය පටන් ගත්තේ 1994 වසරේ දී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යළි කිසිදිනෙක ඔළුව උස්සන්න බැහැයි කියූ අවස්ථාවක තුනෙන් දෙකක බලයක් සහිතව එක්සත් ජාතික පක්ෂය පරාජයට පත්කරන්න චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සමත්වුණා. එදා සිට අඛණ්ඩව මහින්ද රාජපක්ෂ මහතා දක්වා අපි අපේ සහාය ලබාදුන්නා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධාන රජයන් මේ රටට දේශපාලන නායකත්වය ලබාදුන්නා. 2015 වසරේ ජයග්‍රහණයත් සමඟ එදා මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා බවට පත්වුණා. මහින්ද රාජපක්ෂ මහතා එදා මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්න ගියේ නැහැ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රචාරක ලේකම්හිනිදුම ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක තිසර ගුණසිංහ මහතා,

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව හා දේශපාලන මණ්ඩලය නියෝජනය කරන 40 දෙනෙකු පමණ අද මේ අවස්ථාවට සහභාගි වෙනවා. වමේ දේශපාලනය බෙඳුනු හැම අවස්ථාවකම රට වැටුණා. වමේ දේශපාලනය ශක්තිමත් වුණු අවස්ථාවක රට ශක්තිමත් වුණා. එළඹෙන 21 දායින් පසුව මේ රටේ නව දේශපාලන ගමනක් ආරම්භ වෙනවා. 2005 වසරේ දී යුද්ධය අවසන් කර රට සංවර්ධනය කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හැකියාව ලැබුණා යැයි පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කලවාන ආසන සංවිධායක කුඩාබණ්ඩාර ඉලුක්පිටිය, කොත්මලේ ආසන සංවිධායක පරාක්‍රම දිසානායක, බේරුවල ආසන සංවිධායක ප්‍රභාත් එදිරිවීර, මිනුවන්ගොඩ ආසන සංවිධායක ඉෂාන් අබේරත්න, කොළඹ දිස්ත්‍රික් සංවිධායක ලකිඳු ගජසිංහ මහත්වරු ඇතුළු පිරිසක් නාමල් රාජපක්ෂ මහතාට සහාය පළකිරීම සඳහා පැවැති මෙම ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාවට එක්ව සිටියහ.

මාධ්‍ය මධ්‍යස්ථානය,
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ

Related posts

හෙට වෙන දේ මං දන්නෑ.. දැං යන්නෙත් බයෙන්..- කෙහෙලිය

Shiran Viraj

ඒකාබද්ධ විපක්ෂයෙන් විවෘත ආරාධනාවක්

Shiran Viraj

Covid 19 ආසාදිතව ප්‍රතිකාර ලබා සුව වු තවත් පුද්ගලයෙක් රෝහලෙන් පිටව යයි

Shiran Viraj

Leave a Comment