News Political

සජිත් ජනාධිපති වුනාම ඉන්ධන බදු ඉවත් කරනවා.. බදු නැතිව පෙට්‍රල් 195යි.. ඩීසල් 201යි..

රට බංකොලොත් වීමෙන් පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදු කළේ සෑම දෙයකට ම බදු ගැසීම පමණක් බව ද, රටේ ජාවාරම්කාර පන්තියට කිසිසේත්ම ඔහු අත නො තැබූ බව ද, එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.

මහනුවර දී පැවැති සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කරන ජන හමුව අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේ ය.

වැඩිදුරටත් අදහස් දැක්වූ රණවක මහතා;

“ලබන 21 වෙනිදට ඔබට තියෙන්නේ, අවුරුදු පහකට ජනාධිපති කෙනෙක් තෝරන තරඟයක්ම නෙවෙයි. ඔබේ ඊළඟ පරම්පරාව ඉදිරියට ගෙනයනවද? නැවත වතාවක් මේ රට බංකොලොත් කරලා 2022 වගේ අඳුරු යුගයකට මේ රට ගෙනියනවද කියන ප්‍රශ්නෙ තමයි ඔබ ඉදිරියේ තියෙන්නේ. අද සජිත් ප්‍රේමදාස මහත්තයා ඉදිරිපත් වෙලා තියෙන්නේ වැදගත් විධිමත් වැඩපිළිවෙළක් එක්කයි. මේ රට බංකොලොත් වුණාට පස්සේ ඒ බංකොලොත් භාවයට පත්වෙච්ච වගකිවයුත්තා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වුණේ නෑ. එතුමා කළේ සෑම දේකටම බදු ගහපු එක. කිරිපිටි සීනි වලට බදු ගහපු එක, පෙට්‍රල්, ඩීසල් වලට බදු ගහපු එක, විදුලි බිලට බදු ගහපු එක තමයි ගරු රනිල් වික්‍රමසිංහ මහත්තයා කළේ. ඒ ඇරෙන්න මේ රටේ ජාවාරම්කාර පන්තියට කිසිසේත්ම එතුමා අත තිබ්බේ නෑ.

අද මේ රටට පෙට්‍රල් ගෙන්වන්නෙ රු. 195ට, විකුණන්නේ 327 ට. ඉතුරු ටික රනිල්ගේ බදු. මෙරටට ඩීසල් ගෙන්වන්නෙ කීයටද? රු. 201 ට, විකුණන්නේ කීය ද? 307 ට. ඉතුරු ටික මොනවද? රනිල්ගේ බදු. ඔබ සියලු දෙනා ම පසුගිය මාස අට ඇතුළත විදුලි බිලෙන් විතරක් රු. 20,000ක් වැඩිපුර රනිල් වික්‍රමසිංහට දීලා තියෙනවා. එතුමාගේ මේ ක්‍රියාවලිය තුළ, මේ රටේ දුප්පත් ජනතාවගේ පිටි කිරි වලට සීනිවලට, පාන් පිටි ටිකට, ලොකු ළූණු ගෙඩියට මේ හැමදේකටම විශේෂ බදු ගහලා තමයි අද මේ බර අපේ ජනතාව මත පටවලා තියෙන්නේ.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරනවා කියලත් කළේ මොකක්ද? මේ රටේ වැඩ කරන ජනතාවගේ හිස මත ඒ බර දාලා ධන කුවේරයෝ රැකපු එක. එතුමාගේ පුළුවන් ශ්‍රී ලංකාවේ කවුද ඉන්නේ? වංචාවෙන් කෝටි ගණන් හොයලා මේ රටට ආපු සංචාරකයෝ ටික අතරමං කරපු හොරු රැල. ඉමොග්ලබීන් වගේ ඒ ඖෂධ ගෙනෙල්ලා රටේ ජනතාව මරවලා, ඖෂධ මාෆියාවෙන් කෝටි ගණන් හොයපු අය. අද අපේ දරුවන්ට රට යන අවස්ථාව නවත්තලා ඊ – වීසා කියලා තව ජාවාරමක් කළා. ඒ ජාවාරමෙන් කෝටි ගණන් හොයන්න හිතා ගෙන හිටියා. ජාවාරම්කාරයෝ ටික තමයි පුළුවන් ශ්‍රී ලංකාවේ ඉන්නේ.

ඒ නිසා අපි ඔබෙන් ඉල්ලනවා මේ රටේ අපේ ජනතාවට අද අවශ්‍යයි සහනය. ඒ සහනය එන්නේ මෙතනින්. ඔබගේ හිස මත තියෙන මේ සහ ගහන තෙල් බදු අයින් කරලා ලබන 22 වෙනිදට ඒ සහනය සජිත් ප්‍රේමදාස ලබා දෙනවා. රනිල් වික්‍රමසිංහ ඔබගේ හිස මත පටවලා තියෙන දැවැන්ත බදු සහිත ලයිට් බිල අපි ඉවත් කරලා ඔබට ඒ විදුලි බිලේ සහනය ලබා දෙනවා කියලා අපි පොරොන්දු වෙනවා. මේක කටකතාවට කියන එකක් නෙවෙයි. මෙතනම තිබ්බ අපි මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ රැස්වීම එදා අපි කිව්වා මහින්ද රාජපක්ෂගේ සහ ගහන තෙල් බදු අයින් කරනවා. මහින්ද රාජපක්ෂගේ සහ ගහන විදුලි බිල අයින් කරනවා කියලා. අපි කළා නේද? අපි කරලා දුන්නා ඒ වගේ ම පෙට්‍රල්, ඩීසල්, විදුලි බිල අඩු කරලා ඔබට සහනය දුන්නා නේද? ඒ සහනය නැවත වතාවක් මේ සැමට ජයක් වැඩපිළිවෙළ යටතේ ඔබට ලබා දෙනවා. මේ රටම වෘත්තීයවේදීන්ගේ කාන්තාරයක් බවට පත් කළා මේ 36% බද්දෙන්. අද ඒ බද්ද එතුමන්ලාගේ ඉල්ලීම මතම 24%ට ගෙනල්ලා. මේ රටේ වෘත්තීයවේදීන් රකින්න සජිත් ප්‍රේමදාස පොරොන්දු වෙලා තියෙනවා. එතකොට අපෙන් අහනවා ඔය ජාතියේ පඩි වැඩි වීම්, හැම දුප්පත් පවුලට ම 20,000 ගානෙ දෙන්න, සහන ලබා දෙන්න විදුලි බිලට තෙල් මිලට බදු අයින් කරලා, කොහෙන්ද සල්ලි? සල්ලි අච්චු ගහන්න ද යන්නේ? තව බදු ගහන්න ද යන්නේ කියලා. රනිල් වික්‍රමසිංහ ලබන අවුරුද්දේ තව බදු දෙකක් ගේන්න සැලසුම් කරලා තියෙනවා. එකක් වස්තු බද්ද.

ඉතිහාසයේ පළමු වෙනි වතාවට, කිසිම අපේක්ෂකයෙක් ඉදිරිපත් නො කරපු, අලුත් වැඩපිළිවෙළක් ඉදිරිපත් කරලා, ඩිජිටල්, යටිතල පහසුකමක් අපි ඔබට ලබා දෙනවා. ඒ අනුව කාසි, කොළවලින් තොර ව සියලු දෙනාට ම ගනුදෙනු කරන්න වෙනවා. සියලු දෙනාගේ ම ආදායම් වියදම් පේන්න පටන් ගන්නවා. මෙච්චර කාලයක් හංගපු සල්ලි එළියට ගන්න වැඩපිළිවෙළක් අපි ඇති කරලා තියෙනවා. ඔබේ ජංගම දුරකථනය හරහා සියලු ගනුදෙනු කරන්න පුළුවන් යුගයක් අපි ඇති කරලා, ජාවාරම්කාරයින්ගේ හංගපු සල්ලි එළියට අර ගෙන දෙගුණයක් කරන වැඩපිළිවෙළක් සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කරලා තියෙනවා.

ඔබේ සියලු ම අනන්‍යතා, ඔබේ හැඳුනුම්පත, ඔබේ ලයිසන් එක, ඔබේ ඔප්පුව, ඒ වගේ ම ඔබට අයිති ඒ සියලු ම දේ අස්වැසුම, සමෘද්ධිය, ඔබේ බැංකු ගිණුම, ඔබේ ජංගම දුරකථනයට අපි ගේනවා අවුරුදු දෙකක් ඇතුළත. පොලිස් රාළහාමිලා අත දාලා, දඩ කොළ ලියපු යුගය ඉවරයි. කෙළින්ම අපි එකෙන් දඩේ ගෙවා ගෙන යනවා, හොඳයි නේද? අස්වැසුම් සමෘද්ධිය එනවා. ඔබේ දුරකථනයට ආයි බැංකු පස්සේ බැංකු කළමනාකාරයෝ පස්සේ යන්න ඕන නෑ. සමෘද්ධි නියාමකලා පස්සේ යන්න ඕන නෑ. කෙළින්ම 20,000 එන්නේ ඔබේ දුරකථනයට. ඒක දුරකථනයෙන් ම තමයි කඩේට ගිහිල්ලා වියදම් කරන්නේ. ඒ යුගය අපි ගේනවා මිත්‍රවරුනි මේ රටට. ඒ යුගය ගේන්න අනුර දිසානායකට බෑ. රනිල් වික්‍රමසිංහට බෑ. ඒ යුගය ගේන කණ්ඩායම ඉන්නේ මෙතන සමගි ජන බලවේගයේ.

දැන් අනුර දිසානායක මහත්තයා කියාගෙන යනවා 76 අවුරුද්දක සාපයක් ගැන. එතුමා කොහෙද? තඹුත්තේගම. එතුමාගේ වයස කීයද? අවුරුදු පනස් පහට වැඩියි. මේ රට නිදහස ලබන කොට මේ රටේ ආයු කාලය අවුරුදු පනස් හතරයි. මටත් පනස් පහට වැඩියි. මෙතන ඉන්න බහුතරයකට පනස් පහට වැඩියි. එහෙම නම් අපි මෙලහකට වල පල්ලේ මේ රටේ නිදහස් සෞඛ්‍ය ඇස් ඒ වික්‍රමසිංහ මහත්තයලා මේ රටට ගෙනාවේ නැත්නම් අනුර දිසානායකට අනුව ඒගොල්ලෝ ඔක්කොම ද්‍රෝහියො. ඒගොල්ලෝ ඔක්කොම හොරු. ඒගොල්ලෝ ඔක්කොම ජඩයෝ. අනුර දිසානායක මහත්තයා ගියේ තඹුත්තේගම මධ්‍ය විද්‍යාලයට. සල්ලි අය කළා ද? නෑ. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්තෙ, අපි ඉගෙන ගත්තෙත් නිදහස් අධ්‍යාපනයෙන් ඒක ගෙනාවේ කවුද? එක්සත් ජාතික පක්ෂයෙන් ආපු එදා ඒක ගෙනාවේ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර, ඒ. රත්නායක. අනුර දිසානායකට අනුව නම් සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගරලත් හොරු, වංචනිකයෝ, ජඩයෝ ඒ වගේම මේ රටේ නැගෙනහිර පළාතේ විශාල වශයෙන් තිබිච්ච කැලෑ එළි කරලා, ගල් ඔය ව්‍යාපාරය, පදවි ව්‍යාපාරය, මින්නේරිය ආදිය ඉදි කරලා, මහ ගොවිජනපද හැදුවේ ඩී. එස්. සේනානායක, සී. පී. ද සිල්වා. තාම එතුමන්ලාට පොළොන්නරුවේ කියන්නේ මින්නේරි දෙවියෝ කියලා. අනුර දිසානායකට අනුව නම් උන් ඔක්කොම හොරු, උන් ඔක්කොම ජඩයෝ. තඹුත්තේගම මහවැලි එච් කලාපයෙන් බෝවතැන්නෙන් වතුර හරවලා පොල්ගොල්ලෙන් ගෙනිච්ච වතුරෙන් තමයි තඹුත්තේගම නගරය හැදුවේ. කවුද කලේ? මෛත්‍රීපාල සේනානායක මහත්තයා. මහපොළ ශිෂ්‍යත්වය ගෙනාවේ ගරු ලලිත් ඇතුලත්මුදලි. මෙයාට අනුව නම් ඒ ඇතුලත්මුදලිත් හොරෙක්, වංචනිකයෙක්, ත්‍රාඩයෙක්. අපි පිළිගන්නවා මේ රටේ වංචනිකයෝ ඉන්නවා ත්‍රාඩයෝ ඉන්නවා දේශපාලනයේ. දඬුවම් ලැබිච්ච නැති අය ඉන්නවා. රට බංකොලොත් කලත් දඬුවම් නොලැබිච්ච අය ඉන්නවා. හැබැයි මතක තියාගන්න, මේ රටේ තුවක්කු දේශපාලනයක් 88-89 ගෙනෙල්ලා වැදගත් මිනිස්සුන්ට ඉල්ලා අස්වෙන්න කියලා දේශපාලනයෙන් තුවක්කු ගන්න පිරිසක්, පාදඩයෝ පිරිසක්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් යැපෙන පිරිසක්. දේශපාලනයේ උඩට ගෙනාවේ අනුර දිසානායකලාගේ දේශපාලනයෙන් ම තමයි. මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්, මේ රටේ සුද්ද කරන්න වැඩපිළිවෙළක් යෝජනා කරලා තියෙනවා.

අනුර දිසානායක කියනවා; අපි ආවාම විශ්‍රාම වැටුප නෑ. අපි ආවා ම නිල නිවාස නෑ මන්ත්‍රීලාට, අපි ආවා ම වාහන නෑ. අපි දේශපාලනය සුද්ද කරනවා කියලා. මේගොල්ලෝ හිතේ අපි මැරිලා ඉපදිලා කියලා. 2000 දි කිව්වෙත් ඕකම තමයි. අනුර දිසානායක 2000 දි කිව්වෙත් අපි පාර්ලිමේන්තුවට යන්නේ පක්ෂයෙන් දෙන වාහනෙන් කියලා. එදා කිව්වේ අපි පාර්ලිමේන්තුවේ බත් මුල ඔතා ගෙන යනවා කිව්වා. ඒ වගේම කිව්වා වාහන අපි ගන්නේ නෑ. නිල නිවාස ගන්නේ නෑ කියලා. දැන් ඒවා එකක් වත් කළා ද? පාර්ලිමේන්තුවේ නිල නිවාස ගත්ත, පාර්ලිමේන්තු කාපු, මේ කට්ටිය ගේ මේ බේගල් වලට විතරක් නැවත වතාවක් අහු වෙන්න එපා. 24 අවුරුද්දකට පස්සේ කියන පරණ කතාවට උත්තරයක් සජිත් ප්‍රේමදාස මහත්තයා දීලා තියෙනවා. මොකක්ද? සියලු ම මැති ඇමතිවරුන්ට ඉලක්ක ලබා දීලා, ඒ ඉලක්ක අනුව වැඩ කරන්න, ප්‍රගති වාර්තාවක් ඒ ප්‍රගති වාර්තාව ප්‍රසිද්ධ කරන්න එතුමා යෝජනා කරලා තියෙනවා. ඒ අනුව සෑම ඇමතිවරයෙකුට ම ඉස්කෝලේ ළමයාගේ රිපෝට් කාඩ් එක වගේ ඔබේ අතට පත් වෙනවා. සෑම ඇමති, මන්ත්‍රී කෙනෙක්ගෙම ලකුණු ටික ඔබට බලා ගන්න පුළුවන්. ඒක හොඳයි නේද? ඒ අනුව ඔබ තමුන්නාන්සේලාට මනාපයට ආයි එක, දෙක, තුන ගහන්න දෙයක් නෑ. තීරණය වෙන්නේ ප්‍රගති වාර්තාවෙන්. හොඳට වැඩ කරන අයට එක නිල නිවාස නෙවෙයි, නිල නිවාස දෙක දෙනවා. හොඳට වැඩ කරන අයට එක නෙමෙයි එක දෙනවා. හැබැයි වැඩ නො කරන අයට ඒ කිසිවක් නෑ. එවැනි ගුණාත්මක වෙනසක් ලංකා දේශපාලනය කරන්න ලබන 21 වෙනිදා ට සමගි ජන බලවේගය සජිත් ප්‍රේමදාස දිනවන්න.”

– Media unit

Related posts

රුසියානු අගමැතිටත් කොරෝනා

Shiran Viraj

ගෑස් මිල ඉහල දමයි.. නව මිල ගණන් මෙන්න…

Shiran Viraj

වැලිකඩ සිරදඩුවම් විඳ නිදහස ලැබූ 62ක් ගැන විශේෂ අවධානය

Shiran Viraj

Leave a Comment