News Political

ගම්මිරිස් අපනයන නිෂ්කාෂණය පැය 48කින් – රිෂාඩ්

ගම්මිරිස් අපනයන නිෂ්කාශන කටයුතු සඳහා සතියක් දෙකක් ගතවීම ගම්මිරිස් අපනයනකරුවන්ට විශාල ගැටලුවක්ව තිබෙන බැවින් එම අපනයන නිෂ්කාශන ක්‍රියාවලිය පැය 48 කට පෙර සිදුකිරීමට පියවර ගන්නා බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කියයි.
අමාත්‍යවරයා මේ බව කියාසිටියේ කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශයේ පැවති කුළුබඩු හා ඒ ආශ්‍රිත නිශ්පාදකයන්ගේ සහ ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සාමාජිකයන් සමඟ පැවති සාකච්ඡාවකදී ය.
රිෂාඩ් අමාත්‍යවරයා මෙසේද කියා සිටියේය.
“ ශ්‍රී ලංකාව කුළුබඩු අපනයනයේ ප්‍රමුඛ ස්ථානයක් ගන්නවා. විශේෂයෙන්ම ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, කරඳමුංගු, සාදික්කා යන කුළුබඩු වර්ග අපගේ ප්‍රධාන අපනයනය. ඉන් ගම්මිරිස්වලට ප්‍රමුඛ ස්ථානයක් තියෙනවා. 2016 වසරේදී අපගේ කුළුබඩු අපනයන වටිනාකම ඩොලර් මිලියන 264 ක් නැත්නම් රුපියල් මිලියන 39,600 (රු. කෝටි 3,960) කි. ඉන් ගම්මිරිස් අපනයනයෙන් පමණක් ඩොලර් මිලියන 72 ක් හෙවත් රුපියල් මිලියන 10,800 (රු. කෝටි 1,080) ක් උපයා තිබෙනවා. ගම්මිරිස් අපනයන ප්‍රමාණයෙන් සියයට 60 ක්ම අපනයනය කරන්නේ ඉන්දියාවට. ඉතිරි සියයට 40 යුරෝපයට හා ඇමරිකාවට අපනයනය කරනවා. ගිය අවුරුද්දේ (2017) ඉන්දියාවට ගම්මිරිස් ප්‍රමාණය මෙට්‍රික්ටොන් 8,700 ක් අපනයනය කරා.”
මෙම සාකච්ඡාවේදී කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන නිෂ්පාදකයන්ගේ හා ව්‍යාපාරිකයන්ගේ සංගමය කුළුබඩු අපනයනයේදී තමන්ට පවතින ගැටලු හා බාධක සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළේය.
“කුළුබඩු අපනයනකරුවන් වශයෙන් අපි කුළුබඩු වර්ග හා ඒ ආශ්‍රිත නිෂ්පාදන 30 කට ආසන්න ප්‍රමාණයක් අපනයනය කරනවා. එහිදී අපට ඇති වන බාධක කිහිපයක්ම තිබෙනවා. 2015 වසරේදී අපි ගම්මිරිස් අපනයනයෙන් පමණක් ඩොලර් මිලියන 144 (රු. මිලියන 21,600) ක් ලබා ගත්තා. එය 2016 වන විට ඩොලර් මිලියන 72 ක් දක්වා (රු. මිලියන10,800 ) පහත වැටී තියෙනවා. අපි මේ පිළිබදව අවධානය යොමු කරන්න ඕන. මීට ප්‍රධාන හේතුවක් වන්නේ ගම්මිරිස් අපනයනයේදී අපයනයන නිෂ්කාශන කටයුතු සඳහා සති 1 – 2 ක පමණ ගතවෙනවා. මේ නිසා අපි ගැටලු රැසකට මුහුණ දීලා තියෙනවා. ඒ වගේම වෙනත් රටවල් වලින් බාල ගම්මිරිස් ලංකාවට ආනයනය කරනවා. ඒ නිසා ලංකාවේ ගම්මිරිස්වලට පැවති කීර්තිනාමයට හානියක් සිදු වෙලා තියෙනවා. ඇතැම් කූට වෙළෙඳුන් මේ බාල වර්ගයේ විදේශීය ආනයන ගම්මිරිස් කලවම් කරනවා. එය අපගේ ගම්මිරිස්වලට ඇති කීර්තිනාමයට බලවත් තර්ජනයක් වෙනවා. ඒ නිසා ලංකාවට එන විදේශීය ගම්මිරිස් තහනම් කිරීම හෝ එකී ගම්මිරිස්වල ගුණාත්මකභාවය පරීක්‍ෂා කර සහතිකයක් නිකුත් කිරීම හෝ කරන ලෙස අපි ඉල්ලා සිටිනවා.” යැයි කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන නිශ්පාදකයන්ගේ හා ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති වර්නන් අබේරත්න මහතා පැවසීය.
මෙහිදී අදහස් දක්වමින් කතා කළ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙසේ පැවසීය.
“කුළුබඩු අපනයනයේ රජු ලෙස කීර්තියක් ඇතිකරගෙන සිටින අපගේ කුළුබඩුවල කීර්තිනාමය වැඩි දියුණු කරමින් ඉහළටම ගෙන යාම සඳහා මම, කුළුබඩු අපනයනය ආශ්‍රිත නියමු ව්‍යාපෘතියක් ආරම්භ කරනවා. ඒ මඟින් “සිලෝන් ගම්මිරිස්” කීර්තිනාමය තව තවත් ඉහළට නංවමින්, කුළුබඩු අපනයනකරුවන් වන ඔබට මාගේ අමාත්‍යාංශය හා ආයතන හරහා සහාය ලබා දීමට පියවර ගන්නවා. එහි පළමු පියවර ලෙස සති 1 -2 ක් ගතවන අපනයන නිෂ්කාශන කටයුතු කඩිනම් කිරීමට, මා පියවර ගන්නවා. ඒ අනුව මම වාණිජ දෙපාර්තමේන්තුවට කියනවා, පැය 48 කටත් අඩු කාලයකින් අපනයන නිෂ්කාශන කටයුතු ඉටු කරන ලෙසට නියම කරනවා. ඒ වගේම ඔබට බලපාන සෑම බාධකයක්ම ඉවත් කර ඔබගේ අපනයන දෙගුණයක් දක්වා වැඩි කිරීමට මම මේ වසරේදී අපේ අමාත්‍යාංශය ඔස්සේ සහයෝගය ලබා දෙනවා.
අපේ රටේ කුළුබඩු අතර ගම්මිරිස් හා කුරුඳු අපනයනය ඉහළ මට්ටමක පවතිනවා. 2016 වසරේදී අප කුරුඳු අපනයනයෙන් ඩොලර් මිලියන 159 ක් හෙවත් රුපියල් මිලියන 23,850 ක් විදේශ විනිමය උපයලා තියෙනවා. ඒ වගේම ගම්මිරිස් අපනයනයෙන් ඩොලර් මිලියන 72 ක් හෙවත් රුපියල් මිලියන 10,800 ක් අපි උපයලා තියෙනවා. වර්ෂ 2015 දී වාර්ෂික ගම්මිරිස් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 18,660 ක් වූ අතර එය 2017 දී මෙට්‍රික් ටොන් 25,995 ක් දක්වා වර්ධනය වී තියෙනවා. මේ නිසා අපගේ ගම්මිරිස් අස්වැන්නට හොඳ අපනයන අවස්ථාවක් උදා කර ගන්න හැකි වී තියෙනවා. ගම්මිරිස් අපේ රටේ පරිභෝජනය 2016 දී මෙට්‍රික් ටොන් 5800 – 6000 ත් අතර පවතිනවා. අපි වැඩිම ගම්මිරිස් ප්‍රමාණයක් අපනයනය කරන්නේ ඉන්දියාවට යි. ඉන්දියාව සප්ටා ගිවිසුම යටතේ ගම්මිරිස් අපනයන බද්ද සියයට 8 සිට 0 දක්වා ශූන්‍ය කර තිබීම නිසා අපිට විශාල ආර්ථික වාසියක් සැලසී තිබෙනවා. ඒ පිළිබඳව අපි ඉන්දියානු රජයට ස්තූතිවන්ත වෙන්න ඕන. අපේ මුළු අපනයන ප්‍රමාණයෙන් සියයට 60 ක්ම ගම්මිරිස් ගන්නේ ඉන්දියාවයි. අපි මේ ප්‍රමාණය තව දුරටත් වර්ධනය කර ගන්නට ඉන්දියාව සමඟ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ සඳහන් කළ ආකාරයට බාල ගම්මිරිස් අපනයනය කිරීම ගැනත්, ඒ බාල ගම්මිරිස් අපේ රටේ නිපදවන ගම්මිරිස්වලට කලවම් කිරිමට ඇති හැකියාව සම්බන්ධවත්, අපේ ගම්මිරිස්වල ප්‍රමිතිය සම්බන්ධවත්, මම පාරිභෝගික කටයුතු අධිකාරියේ මෙහෙය වීමෙන් පරීක්‍ෂා කිරීමට වැඩ පිළිවෙළක් යොදනවා. ඒ වගේම පිටරටින් මෙරටට ගම්මිරිස් ගෙන්වා ප්‍රති අපනයනය කිරිම සිදුවන්නේ නම් එය වැළක්වීටත් මම පියවර ගන්නවා. අපේ පාරිභෝගික විමර්ෂණ නිලධාරීන්ට ඒ කටයුත්ත කරන්න පුලුවන්. ඒ වගේම කුළුබඩු ඇතුළු අපගේ නිෂ්පාදන අපනයනය ඉහළ නැංවීම සඳහා මගේ අමාත්‍යාංශය යටතේ වාණිජ දෙපාර්තමේන්තුව මේ වන විටත් පියවර ගෙන තියෙනවා. ඒ වගේම ඔබ අපගෙන් ඉල්ලා සිටිය පරිදි සියලු ගම්මිරිස් අපනයනකරුවන්ගේ අපනයන අවසරපත් වාණිජ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර, එම ආයතන අපනයනය කරන ගම්මිරිස් ගුණාත්මක බවින් යුක්ත බවට සහතිකයක් ලබා දී අපනයනය කරන්නට පුළුවන් වෙනවා.”
මෙම සාකච්ඡාවට අමාත්‍යාංශ ලේකම් රංජිත් අශෝක, ශ්‍රි ලංකා කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන නිෂ්පාදකයන්ගේ හා ව්‍යාරිකයන්ගේ සංගමයේ සභාපති වර්නන් අබේරත්න මහතා, එම සංගමයේ නිලධාරීන් හා රජයේ වාණිජ දෙපාරතමේන්තුවේ නිලධාරීන් සහභාගී වූහ.
(under the courtesy of srilankamirror.lk news web)

Related posts

ඩයස්පෝරා ගැටලු විසදන්න ඩයස්පෝරා කාර්යාලයක් මෙරට පිහිටුවනවා…- ජනාධිපති

Shiran Viraj

ඇඳිරි නීතිය පවතින කාලයේ මහජනතාවට එළවළු බෙදා හැරීමේ වැඩපිලිවෙලක්

Shiran Viraj

මිල අඩුකළ සහල්වලට සීමාවක්

Shiran Viraj

Leave a Comment