International News News

වැඩ කරමින් සිටියදීම දින ගණන් නින්දට වැටෙන මිනිසුන් සිටින අභිරහස් ගම්මානය

ලොව පුරා විවිධ අබිරහස් සිදුවීම් පිලිබදව වරින් වර වාර්තා වේ. මෙම අබිරහස් සිදුවීම් ඇතැම් අවස්ථාවල විසදෙන අතර තවත් අවස්තාවල ඒවා සදාකාලික අබිරහස් ලෙසම වැලලී යන්නේය. 2013 වසරේ රුසියානු දේශසීමාවේ සිට සැතපුම් දෙසීය පනහක් දුරින් පිහිටි කසකස්තානයේ කලාචි නම් ගම්මානය සැවොම බියට පත් කල සිදුවීමක් සිදු උනා මේ ඒ පිලිබදවයි.
ඒ කලකට පෙර එක්වරම මෙම ගම්මානයේ ජනතාව දරාගත නොහැකි තරම් නිදිමතකින් මහ දවා‍ලේ පවා පෙළෙන්නට වීමයි. ක්‍රමයෙන් දවල් කාලයේ ජනතාවට දැනෙන නිදිමත වැඩිවන්නටවූ අතර ඇතැමෙකුට අද දවසේ දැනෙන නිදිමත පසුදා දැනෙන්නට නොවීමද විශේෂත්වයක් විය. එදිනට නිදිමත දැනෙන්නේ වෙනත් පිරිසකටය.
මෙසේ නිදිමත දැනෙන ඇතැමෙක් ඒ මොහොතේම නින්දට ගොස් පැය දෙකකට පමණ පසු අවදිවන අතර තවත් අයෙක් අවදිවන්නේ දින දෙකකට පමණ පසුවය. ඒකාලය අතරේ කිසිවෙකුට ඔවුන් අවදි කරවන්නට නොහැකිවීමද විශේෂත්වයකි. මේ හේතුවෙන් ස්ලීපි හොලෝ නම් ආරූඨ නාමයද මේ ගමට ලැබිණි. කලාචි ගම්මානය පෙළෙන නිදිමතට හේතුවක් සොයාගන්නට කිසිවෙකු හෝ බොහෝ කලක් යනතුරු සමත්වූයේ නැත.
නිදිමත දැනෙන්නට පටන්ගෙන 2013 වසරේ සිට 2015 වසර දක්වා කලාචි ගමේ සියදෙනකුට වැඩි පිරිසක් මෙම අත්දැකීම ලබා තිබේ. මේ සම්බන්ධයෙන් තවත් විශේෂ සිදුවීමක් වාර්තා වන්නේ 2014 සැප්තැම්බර් මාසයේය. අගෝස්තු නිවාඩුව අවසන්ව පාසල් ආ දරුවන්ගෙන් විශාල පිරිසක් පන්ති කාමරය තුළම නිදිකිරා වැටෙන්නට වූහ. එසේ නිදිමත දැනුණු දරුවන් සියලු දෙනා පුටු මේස මතම නිදාවැටෙන්නට වූ අතර මේ නිදිමතට හේතුව පැහැදිලි කරදෙන්නට සමත් වෛද්‍ය විශේෂඥයෙකු නොවුණි.
එයට ප්‍රතිකාරයක්ද කිසිවෙකු වෙත නොවිනි. මේ නිදිමත දැනෙන ඇතැමෙක් පවසා සිටියේ ඒ සමගම තමා නින්දෙන්ම මියයන්නට ඉඩ ඇති බවට බියක් එක්වරම සිතට ඇතුළුවූ බවකි. එනමුදු නින්ද පලවාහරින්නට ඔවුන් සමත්වී නැත.
මේ අතර මෙම අමුතු නින්දට වැටෙන ඇතැමෙක් අවදිවූ පසු තමාට කරකැවිල්ල, හිසරදය, මතකය අඩුකම, නිතර මුත්‍රා කිරීමේ වුවමනාව, විකාර සිහින නින්දට වැටී ඇති කාලය තුළ සත්‍යවශයෙන්ම සිදුවන දෑ ලෙස දැකීම හා වමනයට එන ස්වාභාවයක් දැක්වීම සමග මේ ගමේ පරිසරයේ ඇති යම් වෙනසක් ඊට හේතුවී ඇතිදැයි දැනගැනීමට විද්‍යාඥයෝ පරීක්ෂණ පවත්වන්නට වූහ.
ජනතාව පැමිණිලි කළ තවත් කාරණයක් වූයේ ලිංගික කටයුතුවල නියැලීමේ දැඩි වුවමනාවක් හා කලහකාරී ස්වභාවයක් ඇතිවීමය. මෙහිදී ප්‍රදේශයේ ජලයෙහි යම් වෙනසක්වී ඇතිදැයි යන්න හා වාතයට විකිරණශීලී යමක් එක්වී ඇතිදැයි යන්න විශේෂයෙන් ඔවුන්ගේ අවධානයට ලක්විය. නමුත් ඒ සැකසහිත කිසිවක් ගැන කිසිදු හෝඩුවාවක් දැනගැනීමට ඔවුහු සමත් නොවූහ.
ඉඳහිට අවස්ථාවල නින්දට වැටී රෝගාතුර බවක් පළකළ ඇතැමෙක් රෝහල්ගතකොට ප්‍රතිකාර කිරීමේදී ඔවුන්ගේ මොළයේ අසමානතා හා හෘදයාබාධ ගැන හෙළිවීමත් සමග නගරයේ සිට මෙන්ම විදෙස් රටවල සිටද පැමිණි විද්‍යාඥයින් හා වෛද්‍යවරුන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළද මෙවන් තත්ත්වයක් ඇතිකළ හැකි යමක් ගැන හෝඩුවාවක් හෝ සැකකළ හැකි යමක් හෝ ඒ කිසිවෙකුටත් දැනගන්නට හැකි නොවුණේ සියල්ලන් විමතියට පත්කරමිනි.
මෙහිදී නින්දට වැටෙන්නවුන් දකින විකාර සිහින විශේෂයෙන් සැලකිල්ලට ලක්විය. එක් ගැහැනු ළමයෙක් සිහිනෙන් දැකතිබුණේ තම මවට අලි හොඬයක් ඇති බවය. තව දරුවෙක් දැක තිබුණේ තම මවගේ නළ‍ලේ ඇස් ඇති බවයි. පිරිමි ළමයෙකු දැක තිබුණේ අශ්වයින් හා විදුලි පහන් තම හිස වටා කැරකෙන බවය. නින්දෙන් පසු රෝහල්ගත කළ වියපත් පුද්ගලයෙක් තම වෛද්‍යවරයාට හිට්ලර් ආකාරයේ නට්සි ආචාරයක් කළ අතර තවත් වියපත් පුද්ගලයෙක් කුකුළෙකු මෙන් හඬලන්නට විය.
මේ අතර නගරයේ නිදිමත එහි ආර්ථිකයට එල්ලකළ ප්‍රහාරයද සුළුපටු නැත. වේලාව අවේලාවක් නැතිව ගමේ බහුතරයක් නින්දට වැටීම හේතුවෙන් මිනිසුන් වැඩකරන ප්‍රමාණය හා වෙලාව අඩුවීම හේතුවෙන් මෙන්ම මේ අද්භුත සිදුවීම හේතුවෙන් බියට පත් ජනතාව ගම අත්හැර යන්නට වීම නිසා ගම බොහෝදුරට පාළුවට හා පරිහානියට ලක්විය.
නියම හේතුව හෙළිවූයේ 2015 වසරේ මැද භාගයේදීය. අසල වූ සෝවියට් යුගයේ සිට පැවති අත්හැරදමන ලද යුරේනියම් නිධියක් හේතුවෙන් මෙසේ කාබන් මොනොක්සයිඩ් වාතයට එක්වන බව පසුව සොයාගන්නා ලදී. මේ සමගම ගම අවට වාතයෙහි ඔක්සිජන් ප්‍රමාණය පහත බැස තිබිණි. මෙසේ අත්හැර දමන යුරේනියම් නිධිවලට ‍පොළවෙන් උනන ජලය පිරුණුවිට කාබන් මොනොක්සයිඩ් වැඩි ප්‍රමාණයන්ගෙන් වාතයට මුදාහරින බව මේ පරීක්ෂණවලදී වැඩිදුරටත් හෙළිවී තිබේ.
කෙසේ වෙතත් එම ගම්මානයේ ජීවත් වූවන්ට වෙනත් ප්‍රදේශවලට ගොස් පදිංචිවීමට රජය පවුම් අටසිය අනූවක් මුදලක් ලබා දී ඇති බවටත් වාර්තා වෙනවා.
(under the courtesy of adaderana.lk news web)

Related posts

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීව අත්අඩංගුවට ගන්න නියෝගක්

Shiran Viraj

නිවිතිගල සමුපකාර ඡන්දයෙන් සජිත් පිලට දැවැන්ත ජයක්…..

Shiran Viraj

ගුවන් සේවකයන් උඩු ගුවනින් මහ පොලොවට.. දැවැන්ත පඩි වැඩිකිරීමක් ඉල්ලමින් විරෝධතා…

Shiran Viraj

Leave a Comment