News Political

රනිල් ඉවත්වේ ද? ජනපති සමග සාකච්ඡාවක් !

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පදවියෙන් ඉල්ලා අස් විය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම දරන අදහස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තහවුරු කර ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඇමතිවරයෙක් පැවසු බව ‘බීබීසී සිංහල සේවය’ වාර්තා කරයි.
මේ සම්බන්ධයෙන් ජනපතිවරයා සහ අගමැතිවරයා අතර සාකච්ඡාවක් ඊයේ (12) රාත්‍රී කොළඹ පැජට් පාරේ පිහිටි ජනාධිපති නිල නිවසේ පැවති බවත් ඒ අනුව එක්සත් ජාතික පක්ෂයෙන් නව අගමැතිවරයෙක් පත්කර ගන්නා මෙන් ජනාධිපතිවරයා එම පක්ෂයට දැනුම් දී තිබෙන බව ද ඉහත කී අමාත්‍යවරයා ‘බීබීසී සිංහල සේවය’ට සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවශ්‍ය පරිදි සිය පක්ෂයේ සංශෝධන සිදුකිරීමට සූදානම් නැති අතර, එවැන්නක් සිදු විය යුත්තේ සිය පක්ෂය තුළින් බව මේ අතර අගමැතිවරයාගේ ස්ථාවරය වී ඇතැයි ‘බීබීසී’ පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ද සම්බන්ධ කරගෙන තනි ආණ්ඩුවක් පිහිටුවන බවට එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ අදහසට ප්‍රතිචාර වශයෙන්, එවැනි ශ්‍රීලනිප සාමාජිකයන්ට තමන් අමාත්‍ය පදවි ලබා නොදෙන බව ජනාධිපතිවරයා පවසා ඇතැයි ද ‘බීබීසී සිංහල සේවය’ වාර්තා කර ඇත.
එජාපය දෙමළ ජාතික සන්ධානය සමග එක්ව නව ආණ්ඩුවක් පිහිටුවන්නේ නම්, එවිට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ අදහස ඉවත්කර ගැනීමට දෙමළ ජාතික සන්ධානයට සිදුවනු ඇති බව ද ජනාධිපතිවරයාගේ ස්ථාවරය බව ‘බීබීසී’ ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.
කෙසේවුවද ‘ශ්‍රී ලංකා මිරර්’ කල විමසීමකදී එජාප ඇමතිවරයකු පැවසුයේ ජනාධිපති හා අගමැති අතර ඊයේ පැවති සාකච්ජාවේදී එවැනි කිසිඳු කතාබහක් සිදුව නොමැති බවයි.
අගමැති පදවියට කරු?
KaruJ 670px 18 02 13
අගමැති රනිල් වික්‍රමසිංහ නායකත්වයෙන් ඉවත්ව සජිත් ප්‍රේමදාසට හෝ කරු ජයසූරියට නායකත්වය ලබාදිය යුතු බවට පක්ෂය තුළින්ම ඉල්ලීම් මතුවෙමින් පවතී
මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත්ව සජිත් ප්‍රේමදාස මහතාට හෝ කරු ජයසූරිය මහතාට නායකත්වය ලබාදිය යුතු බවට පක්ෂය තුළින්ම ඉල්ලීම් මතුවෙමින් පවතී.
පක්ෂයේ නායකත්වය භාරගන්නා මෙන් හෝ අගමැති පදවිය භාරගන්නා මෙන් යෝජනාවක් ඉදිරිපත් වූයේ දැයි ‘බීබීසී සිංහල සේවය’ කළ විමසීමකට පිළිතුරු දුන් කතානායක කරු ජයසූරිය මහතා කියා සිටියේ, තමන්ට එවැනි කිසිදු යෝජනාවක් මෙතෙක් ඉදිරිපත්ව නැති බවය.
කතානායකවරයා ලෙසින් තමන් පක්ෂ දේශපාලනයෙන් ඈත්ව සිටින බැවින් ඒ පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් විමසන මෙන් ද කතානායකවරයා ඉල්ලීමක් කළේය.
මේ අතර ඉරිදා (පෙබරවාරි 11) බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ, තමන් අගමැති පදවිය භාර නොගන්නා අතර පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයෙන් අනතුරුව ආණ්ඩුව කෙරෙහි ජනතා විශ්වාසය බිඳ වැටී ඇති හෙයින් හදිසි මහ මැතිවරණයක් කැඳවන මෙන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවය.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ඉදිකටු තුඩින් මතුවූ 40 වසරක් සැගව සිටි අපරාධකරු

Shiran Viraj

වංචා දුෂන නැති කර ක‍්‍රිකට් හදන හැටි රවි කියයි…

Shiran Viraj

යුරෝපය තුල කොරෝනා ව්‍යාප්තිය ඉහලට : බ්‍රිතාන්‍යයේ මිලියන 09ක ජනතාවකට දැඩි නීති පැනවෙයි

Shiran Viraj

Leave a Comment