Entertainment Entertainment News News

රයි­ගම් ටෙලීස් ජන­ප්‍රි­යම නළුවා තුමිඳු දොඩ­න්තැන්න දැන් ලංකාවේ ජන­ප්‍රිය වෙන්නේ වීරයා නෙමෙයි ප්‍රති­වී­රයා

තුමිඳු දොඩන්තැන්න හඳුන්වාදෙන්න වැඩිය අටුවා ටීකා ටිප්පනි අවශ්‍ය නැහැ. අපේ රටේ පමණක් නොවෙයි ලෝකය පුරාම, කූඹියෝ ටෙලිනාට්‍ය යේ ප්‍රධාන චරිතය වූ ජෙහාන් චරිතයට පණ පෙවූ තුමිඳුව හොඳින්ම දන්නවා. මේ සිස්ටම් එක ඇතුළේ ජීවත්වන අපි කාටත් සමීප චරිතයක් වූ ජෙහාන් කොයිතරම් අපේ හදවත් තුළ ඉන්නවාද කියන එක ඔප්පුවුණේ පසුගියදා නිමාවුණු රයිගම් ටෙලීස් ජනප්‍රියම නළුවා කිරුළ ඔහුට හිමිවුණාට පස්සේ. සම්මානය ලබාගත් සැනින් තුමිඳුව රසඳුන හා කතාකළේ ඉතාමත් සතුටකින්. අපි අහමු ඒ සතුට තුමිඳුගේම වචනවලින්.
තුමිඳු ගේ සතුට වචනවලට පෙරළුවොත් ?
ඇත්තටම දැනෙන සතුට තමා හොඳ දේවල්, වටිනා දේවල් මිනිස්සුන්ගේ ජනප්‍රිය දේවල් බවට පත්වෙලා තියෙන එක. මිනිස්සු ජනප්‍රිය දේවල් කියලා තේරුමක්, වටිනාකමක් හරයක් නැති දේවල් වලට බැඳෙන්නේ නැතුව මිනිස්සු ගැඹුරක්, වටිනාකමක්, හරයක් සහ තේරුමක් ගත යුත්තක් තියෙන දේවල් ජනප්‍රියත්වයට පත් කර ගන්නවා නම් ඒක තමා ලොකුම සතුට.
ලංකාවේ ඉන්න අංක 1 ගේම්කාරයාට ලංකාවේ ජනප්‍රියම නළුවා සම්මානය ලැබෙනවා. ඒ දේ තුළ අමුත්තක් තියෙනවා නේද?
ලොකු අමුත්තක් තියෙනවා. ඒ ප්‍රශ්නේ අහපු එකට ඔයාට ගොඩක් ස්තුතියි. එකේ තේරුම තමා මම රඟපෑවේ ප්‍රතිවීරයාගේ චරිතේ. එතකොට දැන් ලංකාවේ වීරයා නෙමෙයි ජනප්‍රිය වෙන්නේ ප්‍රතිවීරයා. ප්‍රතිවීරයා තමා ප්‍රමුඛ වෙන්නේ. ඒ වගේ තත්වයක් තියෙන්නේ ඇයි කියන එක ගැන මේ රටේ සිස්ටම් තීරණය කරනවා. ඒ කියන්නේ කොහොමද ගේම් කාරයෙක් ජනප්‍රිය චරිතයක් වෙන්නේ, ඒකට හේතුව මේ සිස්ටම් එකේ තියෙන අප්සට් එක. ඒක ඇතුළේ තියෙන්නේ ගේම් ගහන එක, දුෂණ වංචා අර්බුද එතකොට ඒවා තමා හැම තැනම තියෙන්නේ. එහෙම පරිසරයක් ඇතුළේ තියෙන නිසා ගේම් කාරයන්ට ඉඩ සැලසෙන්නේ. ඉතින් ගේම් කාරයෙක් ජනප්‍රිය වෙන එක හොඳ දෙයක් නෙමෙයි එක පැත්තකින්. මම රයිගම් උළෙලේදී කිව්වේ මේ සම්මානය පිටිපස්සේ තියෙන්නේ මිනිස්සුන්ගේ ක්‍රමයට තියෙන විරෝධය. ක්‍රමයට තියෙන අකැමැත්ත, මේ සඳහා තියෙන අප්‍රසාදය. ඉතින් ඒක තමා ගේම් කාරයෙක් ජනප්‍රිය වෙන්න හේතුව.
තුමිඳුට ‘ කූඹීයෝ ‘ එක්ක සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ කොහොමද?
කූඹීයෝ නාට්‍යයට මට කතා කළේ ලක්මාල්. මම කලින් ලක්මාල් එක්ක වැඩ කරලා තිබුණේ නැහැ. නමුත් ලක්මාල් මාව නළුවෙක් විදියට දැනගෙන හිටියා. මම සාමාන්‍යයෙන් මීට කලින් රංගයෙන් දායක වෙලා තිබුණේ හාමුදුරුවන්ගේ චරිත, නැත්නම් වලව්වක ඉන්න තරුණයෙක් නැත්නම් ගුරුවරයෙක් වගේ චරිත. ඉතින් ලක්මාල්ට ඕන වුණා මාව වෙන විදියකට දකින්න. ගේම් කාරයෙක් වගේ චරිතයක් විදියට. ඒ ඔස්සේ තමා ලක්මාල් මට කතා කළේ.
ජෙහාන් ගේ චරිතයට පණ දෙද්දී ඒ දේ සාර්ථක කරගන්න ලැබේවි කියලා හිතුවද?
මම ඒ සම්බන්ධව හිතුවා. මම ඇත්තටම සන්තෝස වුණා.ඒකට හේතුව වුණේ මම මීට කලින් හොරෙකුගේ චරිතයකට රංගනයෙන් දායක වී තිබුණේ නැහැ. නළුවෝ විදියට අපි හරි කැමැතියි විවිධ විදියේ චරිත ලැබෙනවා නම් සහ පරාසයන් ඇතුළේ වැඩ කරන්න ලැබෙනවා නම්. ඉතින් හොරෙක්ව ප්‍රති නිර්මාණය කරනවා කියන එක නළුවකුටත් අපුරු අභ්‍යාසයක්. ඒක නිසා තමා මම ඒ නිර්මාණය භාර ගත්තේ. එතැනදී සඳහන් කරන්න ඕන කලණ ගුණසේකර කියන මාගේ සහය නළුවා. මට විශාල සහයෝගයක් දුන්නා ඒ චරිතේ කරන්න සහ මාත් එක්ක සහයෝගයෙන් වැඩකළා. ඒ සහයෝගය නිසා තමයි ඒ චරිතේ ඒ විදියට වර්ධනය කරන්න පුළුවන් වුණේ. අනිත් පැත්තෙන් ලක්මාල් ධර්මරත්න කියන අධ්‍යක්ෂකවරයා. මම හිතන්නේ ලංකාවේ අංක එකේ ඉන්න, අනාගත බලපොරොත්තුවක් තබා ගත හැකි විශිෂ්ට අධ්‍යක්ෂකවරයෙක්. ලක්මාල් ගේ අධ්‍යක්ෂණය මගේ ඒ චරිතේ ගොඩනගා ගන්න ලොකු ශක්තියක් වුණා.
‘කූඹියෝ‘ එක්ක ‘සහෝදරයා‘ කියන ටෙලි නාට්‍යත් විකාශය වනවා. මෙයත් සීමිත කොටස් ප්‍රමණයක් යටතේ දිවෙන නාට්‍යක්.
ඔව්. කූඹියෝ සහ සහෝදරයා හැදෙන්නේ තැන් දෙකක. දෙවිදියකට. දෙන්නෙක් ගේ අතින්. ඒ තුළ සමානකමක් නැහැ. හැබැයි කූඹියෝ සහ සහෝදරයා කියන දෙකම මෙගා නාට්‍ය නෙමෙයි. ලංකාවේ ජනප්‍රිය නාට්‍ය ගත්තොත්, ගිරය කොටස් 15යි. දඬුබස්නාමානය මම හිතන්නේ කොටස් විසි ගාණක් හරි තිස් ගාණක් හරි. ඒවා අඩු කාලයක් යටතේ ධාවනය වෙච්ච නාට්‍ය. ඉතින් මේ වගේ නිර්මාණයක් දිගට ඇදෙන්න යන එකෙන් ඒ නිර්මාණයේ වටිනාකම අඩු වෙනවා. අපි ඇත්තටම කරන්නේ නිර්මාණයක්. ටෙලි නාට්‍ය කියලා ගත්තොත් කර්මාන්තයක් තමා. හැබැයි මම විශ්වාස කරනවා ටෙලි නාට්‍ය කියන දේ ඇතුළේ කලාත්මක භාවිතාවන්ට හොඳ ඉඩක් තියෙනවා කියලා. ඉතින් ඒ හින්දා තමයි අපි කූඹියෝ සහ සහෝදරයා ටික කාලෙකට විතරක් සීමා කර ගත්තේ. එතැනින් එහාට ගෙනියන්න අවශ්‍ය නැහැ අපිට.
මේ ලැබුණේ ඔබගේ රංගන ජීවිතයේ කීවැනි සම්මානය ද?
මට ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ ලැබුණු පළමුවැනි සම්මානය. මට මීට කලින් සිනමා ක්ෂේත්‍රය සහ වේදිකා ක්ෂේත්‍රයේ සම්මාන ලැබිලා තියෙනවා. වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයෙන් තමා මට ගොඩක් සම්මාන ලැබිලා තියෙන්නේ. හැබැයි ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ මට ලැබුණු පළමුවැනි සම්මානය තමා ජනප්‍රියම නළුවා කියන සම්මානය.
ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයෙන් මෙවැනි සම්මානයක් ලැබෙවි කියලා විශ්වාසයක් තිබුණද?
කිසිම විශ්වාසයක් තිබුණේ නැහැ ජනප්‍රියම නළුවා සම්මානය ගන්න. මොකද ජනප්‍රියම නළුවා සම්මානය කියලා කියන්නේ අපි වැඩ කරපු කැප කිරීමට ලැබෙන සම්මානයක් විදිට නෙමෙයි නිර්දේශ වෙලා තිබුණේ. සාමන්‍යයෙන් ජනප්‍රියම නළුවා හම්බවෙන්නේ ජනප්‍රියම කියන කාණ්ඩය යටතේ. මම ඒ කාණ්ඩය යටතේ වැඩ කරපු කෙනෙක් නෙමෙයි. නමුත් මේ මොහොතේ සියලු දෙනා අතරේ ජනප්‍රියම නාට්‍ය බවට පත් වුණු එක ගැන අපි සතුටු වෙන්න ඕන කාරණයක්. හොඳ දේවල් ජනප්‍රිය වෙනවා නම් කියන දේ විශ්වාස කළ පිරිසක් නිසා බලාපොරොත්තු නොවුණු, නමුත් ලැබුණු අතිශය විශේෂ සතුටු දායක අවස්ථාවක්.
ලැබෙන නිර්මාණයන් තුළින් මේ වැනි නිර්මාණයන් තෝරා ගනිද්දී මුලින්ම බලන දේවල් ඇහුවොත්?
මම ඒ නිර්මාණය පෙනී සිටින්නේ මොන මතවාදයක් ඇතුළේ කියන එක ගැන හිතන කෙනෙක්. ඒ වගේම ඒ නිර්මාණය කොයිතරම් ගුණාත්මක බවක්, හොඳ විදියට ඉදිරිපත් කරන්න තරම් ඒ නිර්මාණ කරුවා ඇතුළු කණ්ඩායම ලෑස්තිද කියන එක බලනවා. ඒ කාරණාත් එක්ක සම්පුර්ණ වෙනවා නම් මම නිර්මාණයකට දායක වෙන්න දෙපාරක් හිතන්නේ නැහැ. හැබැයි එහෙම වැඩ හරි අඩුයි.
අධ්‍යක්ෂකවරයෙක් ඔබව මෙගා ටෙලි නාට්‍යයක් සඳහා තෝරා ගනු ලැබුවොත්?
මම මෙගා නාට්‍යවල රඟපාන්න යන්නේ නැහැ. මෙගා නාට්‍ය කියන්නේ එකම කතාවක් එක දිගට ඇද ඇද තියා ගන්න ඒවා. හැබැයි මෙගා තුළම වෙන ‘වර්ෂන්‘ එකක් තමයි ‘ටෙලි සීරීස්‘ කියන්නේ. කූඹියෝ කියන්නේ ඒවගේ ‘ටෙලි සීරීස්‘ එකක් කරන්න පුළුවන් නාට්‍යයක්.
ක්ෂේත්‍රයට ඇවිත් කොච්චර කාලයක් වෙනවද?
මම නාට්‍යකරුවෙක් විදියට වැඩ පටන් ගත්තේ 1998 දී. ඉතින් අවුරුදු 20 ක් වෙනවා.
මේ සම්මානයත් එක්ක විශාල පිරිසක් ඔබ පසුපස සිටින්න ඇති.
ඔව්. මේ මොහොත ඒ හැම කෙනෙක්ටම ස්තුති කරන්න අවස්ථාවක් කර ගන්නවා. මුලින්ම නාට්‍ය කණ්ඩායමට ස්තුතිවන්ත වෙනවා මාගේ අධ්‍යක්ෂවරයාට, දමිත චන්ද්‍රසිරි සහ ලක්මාල් කියන පිටපත් රචකයන් දෙදෙනාට. ඒ වගේම මාව මේ නාට්‍යයට සම්බන්ධ කර ගත්ත එක සම්බන්ධව ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම කැමැතියි ස්තුති කරන්න මගේ ආදරණිය බිරියට. ඇය මට විශාල සහයක් ලබා දෙනවා. ඇගේ උදවුව සහයෝගය නැත්නම් මට මේ වගේ වැඩ කරන්න අමාරුයි. ඒ හින්දා මම ගොඩක් සතුටු වෙනවා මේ සඳහා දායක වෙන්න ලැබීම ගැන. ඒ වගේම මාගේ මුළු කණ්ඩායම ම මම ආදරෙන් ගෞරවයෙන් මතක් කරනවා. අවසාන වශයෙන් මගේ සහෝදරයා අසංක දොඩන්තැන්න තමා මෙහි නිෂ්පාදකවරයා බවට පත් වෙන්නේ. අයියාවත් මම බොහොම ගෞරවයෙන් මතක් කරනවා. ඒ අය තමා මට අවසාන වශයෙන් සිහිපත් කරන්න ඕන.
උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

Related posts

මිලියන 60ක අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් නාවික හමුදාව අල්ලයි

Shiran Viraj

කුරුලෑවලින් පීඩා විඳින කාන්තාවන්ට පුරුෂ ශුක්‍රානුවෙන් සහනයක්

Shiran Viraj

PickMe සහ සතොස එකතුව අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ වැඩපිළිවෙලක්

Shiran Viraj

Leave a Comment