LIFE LIFE NEWS News

රසට නොදෙවනි විශ්මිත ගුණ දෙන බෙලි

ඝර්ම කළාපීය රටක් වන ශ්‍රී ලංකාව ඉතාම ප්‍රණීත පලතුරු වලට ප්‍රසිද්ධියක් උසුලනවා. මේවායින් බොහෝමයක් රසයට එහා ගිය ඉතා විශිෂ්ට සෞඛ්‍යමය ගුණ දරන අතර, මේ අතරින් බෙලි වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්.
ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල හොඳින් වැඩෙන බෙලි කොයිතරම් ගුණදායක ද යන්න අපේ පැරැන්නන් හොඳින් දැන සිටියා. නිතිපතා බෙලි පලතුර ආහාරයට ගැනීම හෝ පානය කිරීම ඔවුන් විසින් සිදු කළ අතර බොහෝ සෞඛ්‍යමය ගැටළු නිරාකරණය කරගැනීමට එය හේතු වුණා. එයින් නොනැවතී බෙලිමල් පානයක් ලෙස සකසා පානය කිරීම තුලින් ද ඔවුන් සෞඛ්‍යමත් ජීවිතයකට මංපෙත් විවර කරගත්තා.
බෙලි පලතුරෙහි විශ්මිත සෞඛ්‍යමය ගුණ ගැන වර්තමාන පරපුරෙහි දැනුම වැඩි දියුණු කරනු අටියෙන් ඒ පිළිබඳ වැදගත් තොරතුරු කිහිපයක් ඔබ වෙත ගෙන එන්නට අපි අදහස් කළා.
බෙලි වල හැඳින්වීම හා ඉතිහාසය
Aegle marmelos යන උද්භිත විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන බෙලි ශාකයේ නිජබිම ලෙස සැලකෙන්නේ ඉන්දියාව යි. මේවා මධ්‍යම හා දකුණුදිග ඉන්දියාවේ වියළි වනාන්තර වල මෙන්ම මියන්මාරය, පාකිස්ථානය, හා බංග්ලාදේශය වැනි රටවල ද සරුවට වැවෙනවා. මීට අමතරව ශ්‍රී ලංකාව, උතුරුදිග මලයාසියාව, ජාවා, හා පිලිපීනයෙනුත් බෙලි හමුවෙනවා. මේවා පිළිබඳ ලිඛිත ඉතිහාසය ක්‍රි.ව 800 දක්වා අතීතයකට විහිදෙනවා. ඉන්දියාවේ පූජාභූමි වල ශුද්ධ වූ ගසක් ලෙස බෙලි රෝපනය කර තිබෙනවා.
බෙලි ශාකය හොඳින්ම වැඩෙන්නේ උප නිවර්තන දේශගුණයක් ඇති ප්‍රදේශ වල යි. මීට අමතරව හොඳින් ඵල හට ගැනීම සඳහා එය වැවෙන ප්‍රදේශයේ වාර්ෂිකව සැලකිය යුතු තරමේ වියළි කාලයක් තිබිය යුතු යි. හොඳ සරු භාවයක් සහිත, ජලය බැසයාම කාර්යයක්ෂමව සිදුවන පසක් සහිත ස්ථාන වල බෙලි ශාකය හොඳින් වැවෙනවා.
බෙලි වල පෝෂණ ගුණය
බෙලි පෝෂණ ගුණයෙන් අණූන පලතුරක්. බෙලි පලතුරෙහි ග්‍රෑම් 100ක කිලෝකැලරි 137ක ශක්තියක් අන්තර්ගත අතර, කාබොහයිඩ්‍රේට ග්‍රෑම් 31.8ක් ද, මේදය ග්‍රෑම් 0.3ක්, හා ප්‍රෝටීන ග්‍රෑම් 1.8ක් ද ගැබ් වී තිබෙනවා. සිරුරට අවැසි විටමින් හා ඛණිජ ලවණ රාශියක් ද බෙලි වල අඩංගු අතර මෙහි විටමින් ඒ, සී,  විටමින් බී සංකීර්ණයට අයත් විටමින් බී1 හා බී2, තයමීන්, රයිබොෆ්ලේවින්, නියැසීන් මෙන්ම කැරොටීන් ද යහමින් අන්තර්ගත වනවා.
සිරුරට අත්‍යවශ්‍ය ඛණිජ ලවණ සැලකීමේ දී බෙලි ආහාරයට ගැනීමෙන් කැල්සියම් හා පොටෑසියම් සැළකිය යුතු ප්‍රමාණයක් ශරීරයට ලැබෙනවා. බෙලි ග්‍රෑම් 100ක තන්තු ග්‍රෑම් 2.9ක් හා ජලය ග්‍රෑම් 61.5ක් අන්තර්ගත වීම නිසා එය පරිභෝජනය කිරීම ආහාර ජීර්ණ පද්ධතියට හිතකර වෙනවා.
බෙලි පලතුරෙහි සෞඛ්‍යමය ගුණ
බෙලි නිරන්තර භාවිතා කිරීම ශරීර සෞඛ්‍ය වැඩි දියුණු කිරීමෙහි ලා කීප ආකාරයකට හිතකර ලෙස බලපානවා. මේ ගුණ බෙලි යුෂ පානය කිරීම, පලතුරක් සේ ආහාරයට ගැනීම යන දෙයාකාරයටම භාවිතා කිරීමෙන් අත් කරගත හැකියි.
මල බද්ධය නැති කිරීම
හොඳින් ඉදුණු බෙලි ආහාරයට ගැනීම හෝ පානයක් ලෙස සකසා ආහාරයට ගැනීමෙන් ආහාර ජීර්ණ පද්ධතිය “පිරිසිදුවීමකට” ලක් කෙරෙනවා. මෙය මාසයක් පමණ දිගටම භාවිතා කිරීමෙන් ආහාර ජීර්ණ පද්ධතියේ ස්නේහශ්‍රාවී ගුණය කාර්යයක්ෂම වන අතර දීර්ඝ කාලීනව මලබද්ධය ඇති වීම වලක්වනවා.
අතීසාරය ඇතුළු රෝග ගණනාවකින් සුවය ලැබීම
බෙලි පලතුරෙහි අඩංගු ටැනින් අතීසාරය, කොළරාව වැනි රෝග ගණනාවක් සුව කිරීමට හේතු වෙනවා. බෙලි පලතුරෙහි මදය වියළා කුඩු සකස් කර ගැනීමෙන් පැරැන්නන් අතීසාරයට ප්‍රතිකාර කර තිබෙනවා. මීට අමතරව නොඉදුණු බෙලි වල සාරය සුදු කබර රෝගය, හා ගුද මාර්ගයේ තුවාල සුව කිරීම සඳහාත් භාවිතා කෙරෙනවා. මීට අමතරව බෙලි නීරක්තිය, කන් හා අක්ෂි සම්බන්ධ ගැටළු වලට ප්‍රතිකාර වශයෙනුත් යොදාගන්නවා.
ආහාර ජීර්ණ පද්ධතියේ තුවාල සුව කිරීම
බෙලි වල ඇති ප්‍රතිඔක්සිකාරක අන්තර්ගත ෆීනෝලික සංඝටක ආහාර ජීර්ණ පද්ධතියේ ඇතිවන තුවාල සුව කිරීමෙහි ලා දායක වෙනවා.
බැක්ටීරියා නාශක ගුණ
බෙලි පලතුරු වල යුෂය බැක්ටීරියා නැසීමේ ගුණ පෙන්වනවා. මීට අමතරව මේවා වෛරස හා දිලීර ආසාදන වලටත් ප්‍රතිරෝධී ලෙස ක්‍රියා කරන නිසා විවිධ ලෙඩ රෝග රාශියකට ප්‍රතිකර්මයක් ලෙස යොදා ගැනෙනවා.
විදුරුමස් දියවීමේ රෝගයෙන් වැලකීම
විදුරුමස් දියවීමේ රෝගයට මූලික හේතුවක් වන්නේ විටමින් සී ඌණතාවය යි. ශරීරයෙහි විටමින් සී හිඟවීම විදුරුමස් වල ඇති රුධිර නාලිකා දුර්වල කරන නිසා මේ තත්ත්වය උද්ගත වෙනවා. බෙලි පලතුර සී විටමින් වලින් යහමින් පොහොසත් ආහාරයක් නිසා ඒවා නිතිපතා ආහාරයට එක් කර ගැනීම තුලින් විදුරුමස් දියවීමේ රෝගය ඇතිවීමේ අවදානම අවම වෙනවා.
දියවැඩියාව හා කොලෙස්ටරෝල් පාලනය කිරීම
මේ සඳහා යොදා ගැනෙන්නේ බෙලි ශාකයේ පත්‍ර යයි. බෙලි පත්‍ර වල යුෂ පානය කිරීමෙන් රුධිරගත කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු වන බව සොයාගෙන ඇති අතර  රුධිරගත සීනි මට්ටම ද හරි අඩකින් පමණ අඩු වන බව සොයාගෙන තිබෙනවා. මීට අමතරව බෙලි පත්‍ර පොඟවන ලද ජලය හිස් බඩ බීමෙන් ආමාශගත තුවාල ද සුව වන බව පැවසෙනවා. බෙලි පලතුරු වල යුෂය ද ආමාශගත තුවාල ඇති වීම වැලක්වීමට දායක වන්නේ එහි ඇති උකු ස්වභාවය ආමාශ බිත්තියෙහි රැඳී පරිවාරක ස්ථරයක් ලෙස ක්‍රියා කරන නිසා යි.
සමෙහි යහ පැවැත්මට
බෙලි නිතිපතා ආහාරයට ගැනීම සමෙහි සෞඛ්‍ය වැඩිදියුණු කිරීමට හේතු වෙනවා. මීට අමතරව සමෙහි ඇති වන කුරුලෑ, හොරි වැනි දේ සුව කිරීමට ද, සම අවපැහැ ගැන්වීම වැලැක්වීමට ද බෙලි යොදාගන්නවා. බෙලි නිරන්තරව ආහාරයට ගැනීමෙන් ශරීරය නිවීමට ලක් වන නිසා සමෙහි ඇති වෙන බොහෝ ප්‍රශ්න මගහැරෙනවා.
රුධිරය වැඩීමට
බෙලි පලතුරු යුෂය රුධිරගත හිමොග්ලොබින් ප්‍රමාණය වර්ධනය කිරීමට දායක වෙනවා. මේ නිසා තුවාලයක් මඟින් අධික ලෙස රුධිර වහනය වූ පුද්ගලයෙකුට, ගැබිණි මව්වරුන් වැනි රුධිරයෙහි හිමෝග්ලොබින් ප්‍රමාණය වර්ධනය වීම අවශ්‍ය පුද්ගලයින්ට බෙලි මාහැඟි පානයක් වෙනවා.
ශරීරයෙහි පරිවෘත්තීය වේගය වැඩි කිරීමට
බෙලි පලතුර ආහාරයට ගැනීමෙන් ආහාර ජීර්ණය කාර්යයක්ෂම වෙනවා. විශේෂයෙන් මේවා අතුරුපසක් ලෙස ආහාරයට ගැනීම තුලින් ආහාරයෙහි අඩංගු පෝෂක නිසි ලෙස ශරීරගත වීම සිදු වෙනවා. බෙලි ආහාර ජීර්ණය කිරීමට අවශ්‍ය ආමාශයික හා ආන්ත්‍රික යුෂ ස්‍රාවය වීමත් කාර්යයක්ෂම කරනවා. මෙහි ප්‍රතිඵල ලෙස ශරීරයෙහි පරිවෘත්තීය ක්‍රියා වේගය වැඩි වෙනවා.
පිළිකා වැලැක්වීම
බෙලි ආහාරයට ගැනීමෙන් විශේෂයෙන්ම පියයුරු පිළිකා වැළඳීමේ අවදානම අඩු වෙනවා. මේවායේ අඩංගු ප්‍රතිඔක්සිකාරක සංඝටක පිළිකා සෛල ඇති වීමට උරදෙන මුක්තඛණ්ඩක වැනි දේ නිශ්ක්‍රීය කිරීම සිදු කරනවා. මීට අමතරව බෙලි ශරීරයෙහි ප්‍රතිශක්තියත් සමස්ථයක් ලෙස වැඩි කරනවා.
බෙලි ගැන මීට වඩා වෙනස් තොරතුරු ඔබ දන්නවා ඇති. අපි එක්කත් බෙදාගන්න කැමති ද?

Related posts

ජනාධිපති අපේක්ෂකයා මහින්ද තීරණය කරයි

Shiran Viraj

කුමාර ගුණරත්නම් අත්අඩංගුවට ගන්න යයි.. පක්‍ෂ තහනමකටත් සූදානම්…

Shiran Viraj

සුළි කුනාටුව ඉන්දියාවට

Shiran Viraj

Leave a Comment