News Political

කථානායකවරයා ව්‍යවස්ථාව නොසලකා හැර ඇති බව ජනපති කියයි

කතානායක කරූ ජයසූරිය මහතා විසින් තමන් වෙත යොමු කරන ලද ලිපියට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිතුරු ලිපියක් යොමු කර තිබේ.

ජනාධිපතිවරයා එම ලිපිය මඟින් පෙන්වා දී ඇත්තේ පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් නීතිය ඉදිරියේදී විනිශ්චයට භාජනය වී ඇති අවස්ථාවක කථානායකවරයා ගත් ක්‍රියාමාර්ග එකී නඩුවේ හරයට අගතිදායක බවයි.

විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළ යුතු ආකාරය සහ එය සම්මත කර ගැනීමට අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ ස්ථාවර නියෝගවල සඳහන්ව ඇති නමුත් ඒ සියල්ල නොසලකා කථානායකවරයා ක්‍රියාකර ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

කථානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් ස්ථාවර නියෝග හා පාර්ලිමේන්තු සම්ප්‍රදායන් සියල්ල නොසලකා හැර ඇති අතර පාර්ලිමේන්තුව විසින් නිසි ලෙස සහතික නොකළ අත්සන් ලේඛනයක් තමා වෙත යොමු කිරීම තුළින් අදාළ යෝජනාව සම්මත වූ බවට කරුණු තහවුරු කිරීමට ගත් උත්සහ ගැන ද කණගාටුවට පත් වන බව ජනාධිපතිවරයා පවසයි.

අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරිමේදී පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන ඇති නමුත් අග්‍රාමාත්‍යවරයාට හෝ ආණ්ඩුවට බහුතරයක් ඇති, නැති, බව පෙන්වීමේ අවශ්‍යතාවක් පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළ නොමැති බව ජනාධිපතිවරයා නිකුත් කළ ලිපියේ සදහන් කර තිබේ.

තමා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයන් හි ව්‍යවස්ථානුකූලත්වය නිර්ණය කිරීමට පාර්ලිමේන්තුව වෙරදැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපනය කිරිමට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැවරුණු තනි සහ අනන්‍ය බලය අතික්ක්‍රමනය කිරීමක් බව ද ජනාධිපතිවරයා පවසයි.

කථානායකවරයා කුමන දේශපාලන පක්ෂයක් නියෝජනය කළ ද උත්තරීතර පාර්ලිමේන්තුවේ ගෞරවයත්, ඒ පිළිබඳව ජනතාව තබා ඇති විශ්වාසයත් ආරක්ෂා කර ගැනීම පිණිස ස්වාධිනව කටයුතු කිරීමේ වගකීම කණගාටුවෙන් වුවත් සිහිපත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙයි.

තමා විසින් සිදු කර ඇති පත්විම් සහ නියෝග ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට දක්වා ඇති ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ගෙන ඇති සියලු ක්‍රියාමාර්ග ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟ නීතිමය තීරණයන් බවත් ජනාධිපතිවරයා කථානායකවරයාට යොමු කළ ලිපියේ සඳහන්ය.

අගමැතිවරයෙකු පත් කිරීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පූර්ණ බලධාරියා වන්නේ තමා බවත්, කථානායකවරයා එවා ඇති මන්ත්‍රී අත්සන් ලේඛනයේ මුල් පිටපතෙහි පරණ දිනයක් මකා ඒ මත නොවැම්බර් මස 14 වන දින ලෙස යොදා ඇති බවත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කථානායකවරයා වෙත යොමු කළ ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Related posts

පාසැල් වැහුවට පෙර පාසැල් වහන්නෑ..

Shiran Viraj

පන්නන්න ගිය ලක්ෂ 89ක රන් භාණ්ඩ අත්අඩංගුවට

Shiran Viraj

කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ඇමති නාමල් විවෘත කරයි…

Shiran Viraj

Leave a Comment