Local News News

ගාස්තු ඉහළ දැම්මත් ප්‍රවේශ පත්‍ර පරණ මිලමයි – දුම්රිය මගී අයිතීන් උල්ලංඝනය කරනවා

දුම්රිය ගාස්තු ඉහළ නංවා මාස දෙකක් ගත වුවද දුම්රිය ප‍්‍රවේශ පත‍්‍රවල තවමත් සටහන්ව ඇත්තේ පැරණි මිල ගණන් බවට  කළ සොයා බැලීමකදී හෙළි වුණා. දුම්රිය ගාස්තු ඉහළ නැංවූයේ ඉකුත් ඔක්තෝම්බර් මස පළමුවනදායි. ඉහළ නැංවූ මිල මගීන්ගෙන් අය කර එහිදී ලබා දුන්නේ පැරණි මිල ගණන් සටහන් වූ ප‍්‍රවේශ පත‍්‍රයයි. ඒ පිළිබද  දුම්රිය ගාස්තු ඉහල නැංවූ දිනයේදීම දුම්රිය බලධාරීන්ගෙන් විමසීමක් කළා. එහිදී ඔවුන් අවධාරණය කලේ ඉදිරියේදී එම ගැටළුව නිවැරදි කරන බවයි. එහෙත් මාස 2ක් ගත වූ තැන ද නව මිල ගණන් වලට ලබා දෙන්නේ පැරණි මිල සටහන් වූ ප‍්‍රවේශ පත‍්‍ර බවයි නෙත් නිවුස් කළ විමසීමකදී අනාවරණය වුණේ.

මෙය පාරිභෝගික අයිතීන් උල්ලංගණය කිරීමක් බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා. එහි ජාතික සංවිධායක රංජිත් විතානගේ කියා සිටියේ මෙමගින් කිසියම් වංචාවක් සිදුවනවාදැයි සැක පල වී ඇති බවයි.

තමන් ගෙවන මුදල පිළිබද නිවැරදි තොරතුරු දැනගැනීමේ අයිතිය ජනතාවට ඇති බවත් මෙම තත්ත්වය නිවැරදි නොවන්නේ නම් ඉදිරියේදී අධිකරණ ක‍්‍රියාමාර්ග වෙත යොමු වන බවත් මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

නව මිල ගණන් මගීන්ගෙන් අය කලද පැරණි මිල සටහන් ප‍්‍රවේශ පත‍්‍ර තවමත් නිකුත් කරන්නේ මන්දැයි නෙත් නිවුස් දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ද විමසීමක් කලා. ඊට ප‍්‍රතිචාර දක්වමින් දුම්රිය සාමාන්‍යාධිකාරී දිලන්ත ප‍්‍රනාන්දු පැවසුවේ මේ වන විට නව ප‍්‍රවේශ පත‍්‍ර සකස් කරමින් සිටින බවයි. මීට පෙර මුද්‍රණය කර ඇති ප‍්‍රවේශ පත‍්‍ර තොග තවමත් ඇති බැවින් ඒවා භාවිතයට ගැනීම තවදුරටත් සිදුවන බවද ප‍්‍රකාශ කෙරුණා. ප‍්‍රවේශ පත‍්‍ර මුද්‍රණය කිරීමට යොදා ගන්නේ අකුරු අමුණමින් ක‍්‍රියාත්මක කරන පැරණි වර්ගයේ යන්ත‍්‍රයක් බැවින් ප‍්‍රවේශ පත‍්‍ර මුද්‍රණය කිරීමට සැලකිය යුතු කාලයක් ගතවන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී දිලන්ත ප‍්‍රනාන්දු කියා සිටියේ.

සාමාන්‍යයෙන් දුම්රිය ස්ථානාධිපතිවරයෙකු සතුව මාස 3ක ප‍්‍රවේශ පත‍්‍ර තොග පවතින බවත් ඇතැම් ප‍්‍රවේශ පත‍්‍ර තවමත් පවතින බවත් මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. එම තොග අවසන් වූ වහාම නව තොග මුද්‍රණය කිරීම සිදු වන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පැවසුවේ. එබැවින් මෙහිදී වංචාවක් සිදු නොවන බවත් ජනතාවට ඒ පිළිබද සැකයක් ඇති කර නොගන්නා ලෙසත් මෙහිදී අවධාරණය කෙරුණා.
මෙලෙස ප‍්‍රවේශ පත‍්‍ර නිකුත් කිරීමේ ක‍්‍රමය ඉතා පැරණි එකක් බැවින් මෙම ගැටළුවට විසදුමක් ලෙස ලබන වසරේ සිට ඊ ටිකටින් ක‍්‍රමය හදුන්වා දෙන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී දිලන්ත ප‍්‍රනාන්දු වැඩිදුරටත් කියා සිටියේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

පී.සි.ආර් පරීක්ෂණය ප්‍රතික්ෂේප කළ අමෙරිකානු නිළධාරියාගේ සිදුවීම : රජයෙන් දැඩි තීරණයක් – අමෙරිකානු තානාපති කාර්යාලය නිදහසට කරුණු කියයි

Shiran Viraj

මට අස්වෙන්නැයි ජනපති කිවුවෙ නෑ.. කියන එකකුත් නෑ..- අගමැති

Shiran Viraj

රාජ්‍ය බැංකු හතේම වැඩ වර්ජනයක් සූදානම්.. වැටුප් වැඩිකිරීම් ඉල්ලයි..

Shiran Viraj

Leave a Comment