Entertainment Entertainment News News

මවු­පි­යන් තම සැඳෑ සමය ගැන වඩාත් සැල­කි­ලි­මත් විය යුතුයි ‘වැලි­ප­වුරු’ අධ්‍යක්ෂ සුනිල් ප්‍රේම­රත්න

ඉමක් කොනක් නොපෙනෙන මහා සයුරු මායිමේ වෙරළේ හැපි හැපී දියඹට දුවනා රළ පෙළ දෙස බලා සිටින වයෝවෘද්ධ තැනැත්තෙකි. බොහෝ වෙලාවක් වෙරළේ වාඩි වී ක්ෂිතිජය දෙස බලා සිටින ඔහුගේ නෙත ගැටුණේ අවරට ඇදෙනා මළ හිරු ය. විශ්‍රාමික රාජ්‍ය සේවකයකු වූ සිසිර ඒකනායක විනය ගරුකව තම රාජකාරි ඉටු කළ අතර බිරිය හා දරු දෙදෙනා සමඟ අතිශය සාර්ථක පවුල් දිවියක් ගෙවීය. ඔවුන්ගේ ජීවිත කැඩී ඉහිරී ගියේ දරුවන් ලොකු මහත් වී දීග තලග ගිය පසු ය. වැර වීරියෙන් හරි හම්බ කරගත් දේවල් දරුවන් වෙනුවෙන් ලබාදීමට පියා දෙවරක් සිතුවද, මවගේ දයාබරිත සිත දඩමීමා කරගත් දරුවන් මවුපියන්ගේ සබ්බ සකලමනාවම සීරුවට තමන්ගේ කර ගත්හ‍. සිසිරට හා පියුමිට යන එන මං නැතිවී ඔවුන්ගේ ජීවිත ප්‍රාර්ථනා සිඳී බිඳී විසිරී ගියේ වැල්ලේ තැනූ පවුරක් විලසිනි. සුනිල් ප්‍රේමරත්නයන්ගේ නවතම සිනමා කෘතිය වැලි පවුරු මධ්‍යම පන්තික පවුල් සංස්ථාවේ එක් පැතිකඩක් විවරණය කරයි.‍ යුද හමුදා වාදක මණ්ඩලයේ වසර 22 සේවා කාලය නිමා කරමින් ඔහු සිනමා මංපෙතට පිවිසුණේ වසර 2010 දී ‘අඟර දඟර’ චිත්‍රපටයේ තිර පිටපත් සහාය අධ්‍යක්ෂණයෙනි. 2019 දී. රන් දේදුන්න චිත්‍රපටයේ තිර රචනය හා සහාය අධ්‍යක්ෂණය කළේ ය. දරුවන් වෙනුවෙන් සියල්ල කැප කළ මවුපියන්ගේ කතාව ‘වැලි පවුරු’ සිනමා කෘතියේ. නියමු සුනිල් ප්‍රේමරත්නයන්, වත්මන් ආසියාතික සමාජ සංස්ථාවේ දූ දරුවන්ටත්, මවුපියන්ටත් සිතන්නට, යමක් ඉතිරි කරයි.

වැලි පවුරු සිනමා කෘතියේ අධ්‍යක්ෂ සුනිල් ප්‍රේමරත්නයන් ‘රසඳුන’ තුළින් ප්‍රේක්ෂක හදවත් ආමන්ත්‍රණය කළේ මෙසේ ය.

 වැලි පවුරු කතාවේ වස්තු බීජය ඔබේ හදවතේ පිළිසිඳ ගන්නේ කොහොමද?

මම මගේ අම්මලා සිහි කරලා හැම වසරකම මහලු මඩමකට දානයක් දෙනවා‍. එහිදී මට හමුවෙලා තියෙනවා අපේ වයසේ දරුවො ඉන්න වැඩිහිටි මවුවරු. ඔවුන්ව දකිද්දී එයාලා කරන කියන දේවල් දකිද්දී, මට හිතුණා වියපත් වෙද්දී සමහර මවුපියන් කොච්චර අසරණ වෙනවද කියලා. ඊට අමතරව, නිරන්තරයෙන් ම අපට මාධ්‍යවලින් දකින්නට ලැබෙනවා. දරුවන් විසින් නොසලකන ලද මවුපියන් සම්බන්ධව, ඒ අතර ඇතැම් දෙමාපියන්, පාරවල, කාමරවල, ගරාජ්වල පමණක් නොවෙයි සුසාන භූමිවල පවා දමා ගොස් තියනවා. විශේෂයෙන් රජයේ සේවකයන් ජ‍ීවිතයේ සැඳෑ සමය ගෙවද්දී කොන් වෙනවා. එය මම හොඳින් ම දන්න කරුණක්. ඒ සිතිවිලි ඔස්සේ තමයි මට මේ නිර්මාණ සංකල්පය ආවේ.

‘වැලි පවුරු’ සිනමා කෘතියක් ලෙස නිර්මාණය වන්නේ…?

ඇත්තටම මම දෙවන නිර්මාණය ලෙස අධ්‍යක්ෂණය කරන්න හිටියේ මේ චිත්‍රපටය නෙමෙයි. මගේ මුල් ම චිත්‍රපටය ‘ටවුමෙ ඉස්කෝලෙ, නිෂ්පාදනය කළ ධම්මික අතපත්තු මහත්මයා තමයි යෝජනා කළේ වැලි පවුරු දෙවැනියට කරමු කියලා. අද කාලේ මවුපියන්ට දේවත්වයෙන් සලකන අයත් සිටිනවා. ඒ අතර මවුපියන්ගේ දේපළ ලියාගන්න දබර වෙන අයත් සිටිනවා‍. වැඩි ප්‍රමාණයක් සිටින්නේ එවන් අයයි.

 මෙහි කතා පුවත සැකෙවින් සඳහන් කරමු‍.

මධ්‍යම පන්තික පවුලක මවයි පියයි, දුවයි පුතයි හොඳින් ජීවත්වෙන අතර දියණිය ත්‍රිවිල් රියැදුරකු සමඟ රහසේ පැනයයි. දුව නොමඟ ගියත් පුතා හොඳින් අධ්‍යාපන කටයුතු කරගෙන යන අතර කොළඹ ජේත්තුකාර පවුලක තරුණියක සමඟ හාද වෙයි. දියණිය අකීකරු වූ නිසා පුතාගේ ඉල්ලීම පරිදි අධික වියදමක් දරමින් මහ ඉහළින් විවාහ මංගල්‍ය උත්සවයක් සිදු කරයි. පුතාට එංගලන්තයේ ශිෂ්‍යත්වයක් ලැබෙන අතර බිරිය හා නැන්දම්මා එහි රැගෙන යෑමට තම මවුපියන්ගේ නිවෙස තමා නමට ලියාගෙන බැංකුවට උකස් කරයි. පිටරට ගොස් නැවත පැමිණියද උකස බේරා නොගැනීම නිසා නිවෙස බැංකුවට සින්න වෙයි. මේ නිසා යන එන මං නැතිවන මව සහ පියා මාරුවෙන් මාරුවට බලා ගැනීමට අක්කා හා මල්ලී කතිකා කර ගත්තද දෙදෙනාම මවුපියන්ගෙන් තම වැඩ කරගනී. පියා පුතාට එරෙහිව නඩු පැවරුවද, බිරියගේ ඉල්ලීම පරිදි නඩුව අතහැර දමයි‍. අධිකව සිත් වේදනාවෙන් ‍රෝගී වන මව මියයයි. පුතාගේ නැන්දම්මා තම දුව හා මිනිබිරිය සමඟ එංගලන්තයට යන්නේ දුවව වෙනත් ඥාති අයෙකුට විවාහ කරදීමට ය. පියා අවසානයේ මහලු මඩමට යන්නේ තම සොච්චම් විශ්‍රාම වැටුප ද වැඩිහිටි නිවාසයට හරවමිනි.

වැඩිහිටියන් පිළිබඳ පර්යේෂණ ග්‍රන්ථයක් සඳහා කරුණු රැස්කිරීමට එංගලන්තයේ සිට පැමිණෙන යුවතියට කතානායකයා තම ජීවිත කතාව කියන්නේ ඇගේ පෙරැත්තයට ය. මේ සුකුමාල තරුණියගේ කම්මුලේ ලපය දකිනා කතා නායකයා ඇය තම මිනිපිරිය දැයි සිතයි. වැඩිහිටි නිවාසයේ හුදෙකලාව මෙසේ ජීවත්වන්නේ, තමාගේ සීයා බව මිනිපිරිය හඳුනාගන්නා බවට මේ සිනමා කෘතියේ ඉඟි පළ කරන මුත් ප්‍රේක්ෂකයාට යමක් සිතීමට ඉඩ ඉතිරි කරයි.

නළු නිළි වරණය ගැන පැහැදිලි කළොත්…

මහේන්ද්‍ර පෙරේරා, දිල්හානි අශෝකමාලා, ධනංජි තාරුකා, සූර්ය දයාරුවන්, බුවිනි චාපා, ගයාත්‍රි ඩයස්, තාරුකා වන්නිආරච්චි, හේමසිරි ලියනගේ, කුමාර තිරිමාදුර, හරිත් වාසල, චරිත දිසානායක, නිලංගනී පෙරේරා, ප්‍රියන්ති මංගලා, ජයරත්න ගලගෙදර යන පිරිස රංගනයෙන් දායක වෙති. කැමරා අධ්‍යක්ෂණය සජිත වීරප්පෙරුම, වර්ණ සංයෝජනය ආනන්ද බණ්ඩාර, සංස්කරණය අනුර බණ්ඩාර, සංගිත අධ්‍යක්ෂණය, සුසන්ත ඩයස්, ඇලෙක්සි ප්‍රනාන්දු සහාය අධ්‍යක්ෂණය සුනෙත් රසාංග, නිෂ්පාදන කළමනාකරණය වසන්ත කිතුල්ගහමුල, සහාය මහින්ද රත්නායක, ගායනා සුනිල් එදිරිසිංහ, ශෂිකා නිසංසලා, හර්ෂණ දිසානායක, ගීත රචනය බණ්ඩාර ඇහැළියගොඩ, රවි සිරිවර්ධන.

වැලි පවුරු හැඩ කළ දර්ශන තල පිළිබඳව සඳහන් කරමු.

නුවර ගලහ ප්‍රදේශයේ තානායමක් තමයි මහලු මඩමක් ලෙස යොදාගත්තේ. දීපංගොඩ, පොල්ගස්ඕවිට ප්‍රදේශවලින් ගීතවලට අලංකාර දර්ශන තල යොදාගත්තා.

සිනමා කෘතිය තාක්ෂණික ප්‍රයෝගවලින් සමන්විතයි.

ලෝකයේ අලුත් තාක්ෂණයක් වන 4 k තාක්ෂණය, තමයි යොදගත්තේ.

හොඳ මට්ටමේ ගීත තුනක් ‘වැලි පවුරු, හැඩ කරනවා…

බණ්ඩාර ඇහැළියගොඩගේ ගී තනුවෙන් හැඩ වුණු ‘වෙරළ මත සයුරු’ ගීතයට සුනිල් එදිරිසිංහ‍යන් සුමියුරු හඬ එක්කළා. ශාමිලා හුසේන් මුස්ලිම් සොයුරිය අතින් ලියැවුණු කැණිමඬල ඉහිරුණා ගීතය හැඩ ගැන්වුණේ ශෂිකා නිසංසලාගේ හඬින්. ‘රවි සිරිවර්ධනයන්ගේ ගී තනුවෙන් අලංකාර වූ ‘ඔබ සඳක් වෙලා’ ගීතය ගැයුවේ හර්ෂණ හා ශෂිකා.

වැලි පවුරු වත්මන් සමාජ සංස්ථාවේ පැතිකඩක් කීවොත්?

වත්මන් සමාජය දිහා බලද්දී මේ වගේ අසරණ වන මවුපියන් ගැන ඕනෑ තරම් අහන්න දකින්න ලැබෙනවා. ඇතැම් විට මෙසේ දෙමාපියන් අසරණ වෙන්නේ දරුවන්ටත් වඩා දරුවන් නිසා පවුලට එකතුවෙන අය මඟින්.

වැලි පවුරු සමාජයට සියුම් පණිවිඩයක් ලබාදෙනවා.

මවුපියන් තම දරුවන්ව කුඩා කල සිට ගුණ යහපත්ව හදා වඩා ගත යුතුයි. දැනුමින් වගේ ම යහපත් ගුණධර්මවලින් දරුවන් පෝෂණය කළ යුතුයි. අනිත් අතට මවුපියන් තමන්ගේ සැඳෑ සමය පිළිබඳ මීට වඩා බුද්ධිමත්ව කල්පනා කළ යුතුයි. සැලසුම් කළ යුතුයි. ඒ වගේ ම දරුවන් තමන්ගේ යුතුකම් පිළිබඳව මීට වඩා සැලකිලිමත් විය යුතුයි. ඒ වගේ ම පාලකයන් විසින් සැලසුම් කළ යුත්තේ තරගකාරී සමාජයේ මුදල් පසුපස දිවයන දරුවන් හැදීමට නොවෙයි. මානුෂික ගුණධර්මවලින් සපිරුණු අනාගත දරු පරපුරක් රටට දැයට දායාද කිරීමටයි.

බටහිර රටවලට වඩා ආසියාතික පවුල් සංස්ථාව තමයි වැලි පවුරුවලින් නියෝජනය වන්නේ.

ඔව්. බටහිර රටවල නම් කොහොමත් අවු. 16 – 17 වෙද්දී දරුවෝ මවුපියන්ගෙන් දුරස් වෙනවා. ඒත් ආසියාතික රටවල ජීවිත කාලය පුරාවටම මේ දූ දරු මවුපිය සම්බන්ධය තියෙනවා. ඒ වගේ ම තමයි පවුල් සංස්ථාව ගත්තාම තාත්තලට වඩා බොහෝ අම්මලාගේ සිත් දරුවන් වෙනුවෙන් උණු වෙනවා. නොයෙක් කැපවීම් කරනවා. මේ කතාවේ වුණත් දරුවන්ගෙන් අපමණ පීඩා විඳින පියුමි තම සැමියාට පවසන්නේ “මට දරුවෝ බිහි කරන්න විඳපු දුකට වැඩිය දුකක් තේරෙන්නෙ නෑ සිසිර” කියලයි. පවුලක් ගොඩනගන්න තාත්තා කෙනෙක් හුඟාක් කැපවෙනවා. ඒත් අම්මා කෙනෙකුට විඳින්න බැරි දුකක් නැහැ.‍

ඔබ නිර්මාණ දෙක තුනකින් ම ප්‍රේක්ෂක ජනාදරය දිනාගත්තා. ඔබගේ සාර්ථකත්වය පසුපස සිටින්නේ…

මේ වගේ නිර්මාණවලට යහපත් මානසිකත්වයක් තියෙන්න ඕනෑ… මගේ බිරිය අමිතාගෙන් මට ලැබෙන්නෙ මහත් පිටිවහලක්. වැඩිමල් දියණිය ඕෂධී මනෝවිද්‍යා උපාධිය හදාරනවා. පොඩි දුව ඔෂානි කලාවට සම්බන්ධයි. නිර්මාණකරුවෙක් විදිහට නිදහසේ ගොඩනැගෙන්න එයාලා මට උදව් කරනවා.

කොහොමද ‘ටවුමෙ ඉස්කෝලෙ’ට ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාර එහෙම.

ගමේ පාසලක ඉඳලා නගරේ ජනප්‍රිය පාසලකට එන සිසුවියකගේ අනුවේදනීය කතාව සිනමාත්මකව ගොඩනැගුවා. ඒක බොහෝ දෙනා නරඹලා ඉතා ඉහළ ප්‍රතිචාර ලබාදුන්නා. ටවුමෙ ඉස්කෝලෙ එක දර්ශනයක් නරඹපු අය. ඊළඟට පෝළිමේ ඉන්න අයට කතාව විස්තර කරලා කියනව. දර්ශන මම දැකලා තියෙනවා.

ඔබගේ ඊළඟ නිර්මාණ ගැන යමක්…

විවිධ සමාජ පැතිකඩ ස්පර්ශ කරන නිර්මාණ කිහිපයකින් රසික හදවත් ඉදිරියේදීත් අමතන්න මා බලාපො‍රොත්තු වෙනවා. පරිසරයට ආදරය කරන තරුණ තරුණියන් පිරිසක් වටා ගෙතුණු ‘නිහඬ සෙවණැලි’ හොල්මන් කතාවක්. පරිසරය විනාශ කරන තරමට ඉදිරියට හුස්ම ගන්නවත් හැකිවෙයිද දන්නෙ නැහැ. පරිසරලෝලීන්ට මෙය නවමු අත්දැකීමක් වේවි. අපි සමාජයට යහපත් අලුත් දෙයක් දෙන්න ඕනෑ.

ඒ වගේ ම මේ වසර අවසානයේදී පවුලක් වටා ගෙතුණු කතාවක් නිර්මාණය කරනවා. තාක්ෂණයෙන් මිනිසුන් හුදෙකලා වීම තාක්ෂණය අවභාවිතයෙන් ඇතිවන අනිටු විපාක මින් කියවෙනවා.

වර්තමානයේ දක්නට ලැබෙන්නේ එකම ආරයක චිත්‍රපට රැල්ලක්…

මේක මගේ දැක්ම විවිධ අධ්‍යක්ෂවරු. විවිධ තේමා යටතේ නිර්මාණ කරනවා. කිසිම නිර්මාණයක් හොඳ නැහැ කියන්න බැහැ. මගේ නිර්මාණ හැම එකක්ම මිනිසුන්ගේ හදවතට ආමන්ත්‍රණය කරනවා.
( උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි )

Related posts

ගෝනාකෝවිලේ රොහාගේ මරණය සමරා පාටි දැමූ කුඩු අංජුගේ සොයුරිය ඇතුලු තිදෙනෙක් අත්අඩංගුවට

Shiran Viraj

15දා වන විට මුළු රටම අඩපණ කරනවා..- GMOA

Shiran Viraj

හමුදාව දන්නේ යුද්ද කරන්නයි.. රාජ්‍ය පරිපාලනය ඔවුන් දන්නෙ නෑ.. ජනාධිපති හමුදා පාලනයක් හදනවා..

Shiran Viraj

Leave a Comment