Entertainment Entertainment News News

එකා­ මෙන් රට­ත්, ජාති­යත් ආරක්ෂා කරමු -වස්ති

වස්ති එහෙම නැත්නම් අනුෂ්ක උදාන ලියනගේ කියන්නේ යූ ටියුබ් (you tube) ඔස්සේ රසික හදවත් දිනාගත් තරුණ කලාකරුවෙක්. විවිධ නිර්මාණ මඟින් නිරන්තර දකින්න මෙම කලාකරුවා පසුගියදා අප දැක්කේ කලා නිර්මාණවලින් බැහැර වෙලා ත්‍රස්තවාදි ප්‍රහාරවලින් මිය ගිය ගෙවල්වලට ගොස් අපූරු සමාජ කටයුත්තක නිරතවෙනවා. ඇත්තටම ඔහු කරන්නෙ සමාජ සේවයක්ද, නැත්නම් තවත් නිර්මාණයක්ද කියලා දැන ගන්න අපි වස්තිට කතා කළා.

 ඔබට වස්ති කියන්නද? අනුෂ්ක කියන්න ද?

ගොඩක් අය දන්නේ වස්ති කිව්ව ම. කොහොම කතා කළත් අවුලක් නැහැ.

එතකොට ඔබේ ආගම ?

ඒකට මට තනි උත්තරයක් දෙන්න බැහැ. මගේ තාත්තා බෞද්ධයෙක්, අම්මා කතෝලිකයෙක්. මාත් කතෝලිකයෙක්. ඒ වුණාට මම පල්ලියට ගිහින් යාච්ඤා කරනව වගේම පන්සලටත් ගිහින් වැඳුම් පිදුම් කරනවා. මොකද මගේ හිතේ බෞද්ධ ආගමටත් ලොකු ළැදියාවක් තිබෙනවා.

එක ආගමක් අදහන්න කියලා ගෙදරින් බලපෑම් එල්ල වෙන්නේ නැද්ද?

කවදාවත් එහෙම බලපෑම් එල්ල වෙලා නැහැ. එහෙම වෙන්නෙත් නැහැ කියලා මට විශ්වාසයි.

ඒ කියන්නේ ඔබ යාච්ඤා කිරීමට හෝ වැඳුම් පිඳුම් කිරීමට තෝරාගත් පල්ලි වගේම පන්සලුත් ඇති?

කවදාවත් අර පල්ලියට විතරයි, මේ පන්සලට විතරයි යන්නේ කියලා වෙන් කරගෙන නැහැ. ඉඩක් ලැබෙන සෑම අවස්ථාවකම ඒ ඉන්න තැන පල්ලියකට, පන්සලකට යනවා. විශේෂයෙන් සෙනග අඩු තැන්වලට යන්න තමයි මම නිතරම උත්සහ කරන්නේ.

පසුගියදා එල්ල වුණ ත්‍රස්තවාදී ප්‍රහාර වෙලාවේ ඔබ කොහේද හිටියේ?

කලින් දවසේ ෂෝ එකක් ඉවර වෙලා ඇවිත් මම නිදාගෙන හිටියේ. ඇහැරල බලන කොට දුරකතන ඇමතුම් ගොඩක් ඇවිත් තිබුණා. ඒ ඇමතුම්වලට කතා කළාම තමයි දැනගත්තේ ත්‍රස්තවාදි ප්‍රහාර එල්ල වෙලා කියලා.

ඊට පස්සේ මොකද කළේ?

මුලින්ම අම්මාට කතා කළා. මොකද ඇය පල්ලි යන විත්තිය දන්න නිසා. හැබැයි අම්මා ගිහින් තිබුණේ ගෙවල් ළඟ පල්ලියට. ඇයට කරදරයක් නැහැ කියලා දැනගත්තා.

ඔබ කතෝලිකයෙකු විදියට මෙම ප්‍රහාර ගැන දැනගත්තම මොකද හිතුණේ?

මුලින්ම විශ්වාස කරන්න බැරි වුණා. මොකද යුද්ධය ඉවර වෙලා ඉතා සාමකාමී වටපිටාවක නේ අපි හිටියේ. එහෙම ඉද්දි මේ වගේ දෙයක් කිව්වම මුලින් විශ්වාස කරන්න බැරි වුණා. ඒ නිසා ඒ ගැන හෙව්වා. ඒත් එය සත්‍යයයි කියලා දැනගත්තම පුදුම කනගාටුවක් වගේම වේදනාවක් දැනුණා.

යුද්ධය ඉවර වුණ රටේ යළි මෙහෙම දෙයක් වේවි කියලා ඔබ හිතුවද?

ඇත්තටම හීනෙන්වත් එහෙම හිතුවේ නැහැ. ඒත් කොහේ හරි සිදුරක් තිබිලා තිබෙනවා. ඒ සිදුරෙන් තමයි මේ රිංගලා තිබෙන්නේ. අනිත් කාරණය තමයි එල්ටීටීඊ එක රටෙන් කොටසක් ඉල්ලුවා. ඒ වෙනුවෙන් සටන් කළා. එතකොට අපි ඒ කාරණය දන්නවා. නමුත් මෙම පිරිස ගත්තේ අහිංසක මිනිස්සු මරලා පෞද්ගලික ආතල් එකක්, විනෝදයක්. ඒත් මෙවැනි තිරිසන් වැඩ කිසිම ජාතියක, ආගමක කිසි පුද්ගලයක් අනුමත කරන එකක් නැහැ.

එතකොට වස්ති කණ්ඩායමේ සමාජිකයන් එක්ව ත්‍රස්තවාදයෙන් බැට කෑ ගෙවල්වලට ගොස් මොනවද බෙදුවේ?

මම සහ දුලාජ් ජයතිලක ඇතුළු අපේ කණ්ඩායම එකතු වෙලා තමයි මේ නිවෙස්වලට වියළි සලාක බෙදුවේ. අපි කලාකාරයෝ වගේම හදවත් තිබෙන මිනිස්සු. ඒ නිසා අපිට පුළුවන් විදියට ඒ අය වෙනුවෙන් යම් දෙයක් කිරීමට හැකියාව ලැබුණා. එය අපි ලැබූ භාග්‍යයක් විදියටයි අපි දකින්නේ.

වියළි සලාක බෙදලා ඒ නැති වුණ ජීවිත යළි ගොඩගන්න පුළුවන්ද?

ඇත්තටම බැහැ. ඒත් අපිට යුතුකමක් තිබෙනවා ඒ අය වෙනුවෙන් අපිට කළ හැකි පුංචි දෙයක් හරි කරන්න. අද අපි මේ දේ කළාම මෙය දකින තවත් පිරිස් මේ අය වෙනුවෙන් පොඩි හරි දෙයක් කරන්න උත්සහ ගනිවී කියන විශ්වාසය තිබෙනවා.

ඔබ මේ කරන්නේ ජනප්‍රියත්වය වැඩි කරගැනීමේ තවත් මාධ්‍ය සන්දර්ශනයක්ද?

මට අලුතෙන් ජනප්‍රිය වෙන්න දෙයක් නැහැ. යූ ටියුබ් බලන පිරිසෙන් වැඩි පිරිසක් ඉන්නේ වස්ති ප්‍රඩක්ෂන් එක්ක. අපේ හිත්වල ඒ වගේ පටු අදහස් නැහැ. මම මීට වඩා සමාජ සේවාවල් කරලා තිබෙනවා. ඒ කිසි දෙයක් ප්‍රසිද්ධියේ තකා කළේ නැහැ.

මේ සිදුවීම් යොදාගෙන නිර්මාණයක් කරන්න අදහසක් නැද්ද?

අපි කරන්නේ මිනිස්සු සතුටු කරන එක. මිනිස්සු සතුටෙන් නැත්නම් මොනව කළත් පලක් වෙන්නේ නැහැ. ඒ නිසා තව මාස ගණනක් යනකම් කිසිම නිර්මාණයක් කරන්නේ නැහැ. ඉදිරියේ රටේ ඇති වන තත්ත්වය බලලා තමයි නිර්මාණ කරනවද නැද්ද කියලා තීරණය කරන්නේ.

කලාකරුවෙකු සහ තරුණයෙකු විදියට ඔබ මේ අවස්ථාවේ ඔබේ රසිකයන්ට දෙන පණිවිඩය කුමක්ද?

ජාති, ආගම් භේද අතහැර එකා මෙන් රටත්, ජාතියත් ආරක්ෂා කරන්න එකතු වෙන්න කියලා ඉල්ලා සිටිනවා. 

( උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි )

Related posts

කොරෝනාවෙන් මියයන මුස්ලිම් ජාතිකයන් ඉස්ලාම් ආගමානුකූලව භූමදානය කරන්න දෙන්න… පුච්චන්න එපා..

Shiran Viraj

දෙවනගල විහාරාධිපති හිමි සංවේදී වෙමින් කී කතාව.

Shiran Viraj

වහපු පාර්ලිමේන්තුව අරින්න මංගල දත කයි..

Shiran Viraj

Leave a Comment