News Political

ජනතා අපේක්ෂා සාක්ෂාත් කරගැනීමට තැබූ පියවර නව වසරේදී තවත් ශක්තිමත් කරන බවට ජනපතිගෙන් ප‍්‍රකාශයක්

ජනතා අපේක්ෂා සාක්ෂාත් කරගැනීමට තැබූ පියවර නව වසරේදී තව තවත් ශක්තිමත් කිරීමට රජය සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. නව රජය ගොඩ නගනු ලැබුවේ ජනතා කේන්ද්‍රීය සංවර්ධනය සහ ජාතික අනන්‍යතාව සුරක්ෂිත කිරීමේ අභිලාෂය ඇතිව බවයි නව අවුරුදු පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. 

රටටටත් ජන මතයටත් පිටු නොපානු ඇතැයි ජනතාව රජය කෙරෙහි තැබූ විශ්වාසය කිසිදු අයුරකින් පළුදු නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කළ නව අවුරුදු පණිවුඩයේ සඳහන්. 

නව වසරේ උදාව ගතවන සෑම මොහොතකම එළඹෙන අභියෝග නිවැරදිව අවබෝධ කරගනිමින් ජීවිත සකසා ගැනීමටත් අදිටනින් පෙරට යාමටත් අප දිරි ගන්වයි. එබැවින් අප 2021 වසර පිළිගන්නේ සුබවාදී ආකල්පයෙන්, අධිෂ්ඨානයෙන් හා කැපවීමෙන් ද පරිපූර්ණව බව ජනාධිපතිවරයා නිකුත් කළ නව අවුරුදු පණිවුඩයේ දැක්වෙනවා. සෞභාග්‍යයේ දැක්මේ ඇතුළත් ඉලක්කගත සංවර්ධන සැලසුම් යථාර්ථයක් බවට පත් කිරීම රජයේ ප‍්‍රමුඛතම කාර්යයි. 

ඒ සඳහා මුළු මහත් රාජ්‍ය සේවයත්, පෞද්ගලික ආයතනත් එක්ව කටයුතු කිරීම ඉතා වැදගත් වනවා. සෑම රාජ්‍ය සේවකයෙකුම තමාට පැවරෙන රාජකාරි කොටස මැනවින් ඉටු කරන්නේ නම්  ඕනෑම බාධකයක් ජය ගැනීම රජයට අපහසු කාර්යයක් නොවන බව ද ජනාධිපතිවරයා පෙන්වා දෙනවා. 

එම කැපවීම සෑම රජයේ සේවකයෙකුගෙන්ම බලාපොරොත්තු වන බවත්, එමෙන්ම සෑම පුරවැසියෙකුම තම මව්බිම ගැන කැපවීමෙන් කටයුතු කිරීම ද අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. 

මෙරට මෙන්ම එතෙර වෙසෙන සියළු ශී‍්‍ර ලාංකිකයින්ටත් ඔවුන්ගේ දු දරුවන්ටත්, එළඹුණු නව වසර රෝග පීඩාවලින් තොර ඉසුරුබර අනාගතයක් උරුම කෙරෙන වසරක් වේවායි ඉත සිතින් ප‍්‍රාර්ථනා කරන බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කළ නව අවුරුදු පණිවුඩයේ වැඩිදුරටත් දැක්වෙනවා.

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද නව වසර වෙනුවෙන් සුබාශිංසන පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. සුරක්ෂිත දේශයක් වෙනුවෙන් මාතෘ භූමියේ අනාගතය උදෙසා ජනතාව රජය කෙරෙහි තැබූ විශ්වාසය සහෘදව සිහිපත් කරන බවයි එම සුබාශිංසන පණිවුඩයේ දැක්වෙන්නේ. 

අද අප මාතෘ භූමිය වෙනුවෙන් වෙහෙසෙන්නේත්, කැප වන්නේත් මතු පරපුරේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් බව අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා. එබැවින් සමාජයීය, සංස්කෘතික හා ආගමික සහජීවනයෙන් යුතුව කටයුතු කිරීම ඔස්සේ ශී‍්‍ර ලාංකික ජාතිය ලෙස එක්ව රට ගොඩ නැගීමට එළඹුණු නව වසර අවස්ථාවක් කරගන්නැයි සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද එම සුබාශිංසන පණිවුඩයේ සඳහන්. අභිමානවත් ශී‍්‍ර ලාංකික සියළු ජනතාවට නිරෝගිමත් සුබ නව වසරක් වේවායි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නව වසර වෙනුවෙන් නිකුත් කළ සුබාශිංසන පණිවුඩයේ දක්වා තිබෙනවා.

එළඹුණු 2021 නව වසර නිසැකවම තීරණාත්මක එකක් වනු ඇති බව, නව වසර වෙනුවෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිකුත් කළ සුබ පැතුම් පණිවුඩයේ දැක්වෙනවා. ජාති, කුල, ආගම් ආදී සියළු භේද දුරලා හදවතින් හා පිළිවෙතින් පෙළ ගැසෙන ලෙස සියළු ශී‍්‍ර ලාංකිකයින්ට ගෞරවයෙන් ආරාධනා කරන බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ. 

විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ද නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. නව වසරේ ප‍්‍රමුඛතම අභියෝගය වන්නේ කොරෝනා නැමැති  ලෝක ව්‍යසනය පරාජය කිරීම බවයි එහි දැක්වෙන්නේ. එම අභියෝගය ජය ගැන්මට ජාති, ආගම්, කුල මල පමණක් නොව රටවල් ලෙසද බෙදී තනිවීමෙන් කළ නොහැකි බව විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා. 

ඒ වෙනුවට මුලූමහත් ලෝකයම පෙර නොවූවිරූ සංහිඳියාවකින් මෙන්ම සහයෝගිතාවයකින් එකට බැදිය යුතුයි. ලැබූ නව වසර අධිෂ්ඨානය,මානව දයාව,කැපවීම සහ උදාර අපේක්ෂාවන් පෙරදැරිව ජයගත යුතුයි. ඒ වෙනුවෙන් සකල ශ‍්‍රීලාංකේය ජනතාවට ශක්තිය සහ ධෛර්යය ප‍්‍රාර්ථනා කරන බව ද විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා නව වසර වෙනුවෙන් නිකුත් කළ සුබ පැතුම් පණිවුඩයේ දැක්වෙනවා.

Related posts

චීන හමුදාව අධිතාක්‍ෂණික උපකරණ ශ‍්‍රී ලංකාවේ ස්ථානගත කරමින්.. එය අපට තර්ජනයක්…- ඉන්දියා

Shiran Viraj

ගව ඝාතන නීති සංශෝධනයට කැබිනට් අනුමැතිය හිමිවෙයි

Shiran Viraj

පොහොට්ටුවේ ඇඩ් හදන උන්ට හෙණ ගහපන්..- මංගල පාර්ලිමේන්තුවේ පලි ගහයි…

Shiran Viraj

Leave a Comment