Local News News

තෙල් නැවකට යන මුදලින් රටටම නොමිලේ පාපැදි….

පාපැදි භාවිතය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය සමඟ එක්ව වැඩසටහනක් ලබන ජූලි 02දා, පෙ.ව. 8.00ට කොළඹ නිදහස් චතුරශ්‍රය ආසන්නයේ පිහිටි ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතන මූලස්ථානය ඉදිරිපිටින් ආරම්භවේ. එය පරණ කැලණි පාලම ඔස්සේ පෑලියගොඩට පැමිණේ. ‘පාපැදියට ඉඩක්’ යනුවෙන් හැඳින්වෙන මෙම ප්‍රවර්ධන වැඩසටහනට ඉංජිනේරුවන් ඇතුළු පාපැදියට ඇලුම් කරන විවිධ වෘත්තිකයන් 300කට ආසන්න පිරිසක් සහභාගී වීමට නියමිතය. ‘සුව දිවියට පාපැදියක්‘ සංවිධානය, මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික මණ්ඩලය, ශ්‍රී ලංකා පොලිසිය ද මේ වැඩසටහනට සහාය දක්වයි. එම වැඩසටහන ගැන හා රට මුහුණ දී සිටින ඉන්ධන අර්බුදයට පාපැදි භාවිතයේ ලැබෙන පිටිවහල පිළිබඳව ශ්‍රී ලංකා පාපැදි සංගමයේ සභාපති වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා සමඟ කළ කතාබහකි.

ඉන්ධන අර්බුදයට විසඳුමක් වීමට අතිරේකව පාපැදි භාවිතයෙන් සැලසෙන වාසි මොනවාද?

සෞඛ්‍ය සම්පන්න දිවියකට සමබරතාව ඉතා වැදගත්. සමබරතාව බිඳ වැටීමේ ප්‍රතිඵලයක් විදියට වයස්ගත වන විට සමහරු පාකින්සන් වැනි රෝගයන්ට ගොදුරු වෙනවා. බයිසිකල් පැදීමේදී මාංසපේශීවල ශක්තිය වැඩි වෙනවා. කෙනෙක් වයසට යනවා කියන්නේ මාංසපේශීන් දුර්වල වීමයි. මාංසපේශී ශක්තිමත් වූ විට වයසට යෑම ප්‍රමාද වෙනවා. මාංසපේශීන් ශක්තිමත්ව තබා ගත් අයකු මහලු වියට පැමිණියත් ඔහුට කිසි දිනෙක එක්තැන් වීමට සිදු වෙන්නෙ නැහැ. මාංසපේශී ශක්තිමත්ව පවත්වා ගැනීමෙන් දියවැඩියාව, හෘදරෝග, අධික රුධිර පීඩනය වැනි බෝනොවන රෝගයන්ගෙන් ගැලවෙන්න පුළුවන්. බයිසිකලය පේශීන්ගේ ක්‍රියාකාරීත්වයට උදවුවන මෙවලමක්.

උතුර හා නැඟෙනහිර ප්‍රදේශවල කලක සිටම පාපැදි භාවිතයට උනන්දුවක් තිබෙනවා. එය සමස්ත දිවයිනටම හොඳ ආදර්ශයක්. කලාපයේ රාජ්‍යයන් සමඟ සසඳා බලන විට ශ්‍රී ලංකාව වායු දූෂණය අඩු රටක්. ඒ නිසා අප එහි වාසිය ගැනීමට කල්පනා කළ යුතුයි. එදිනෙදා කෙටි ගමන් සඳහා මෙන්ම සේවා ස්ථාන සඳහා යෑම්ඉම් සඳහාත් පාපැදිය භාවිත කිරීමට ජනතාව උනන්දු කළ යුතුයි.

පාපැදිය ජනතාවට අතර ප්‍රචලිත කිරීමට ප්‍රධාන බාධාවක් වන්නේ පාපැදිකරුවන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් අනෙකුත් වාහන පදවන්නන්ගෙන් නොලැබීමයි. අපගේ මාර්ග පද්ධතිය සකස්ව ඇත්තේ පාපැදි ධාවනය දිරිමත් කරන අාකාරයට නෙවෙයි. මේ තත්ත්වය වෙනස් කරන්න ගත හැකි පියවර මොනවාද?

කාබන් භාවිතයෙන් ඉවත් වන බවට අප කියෝතෝ සම්මුතිය මඟින් එකඟව තිබෙනවා. අපේ ක්‍රියාකාරීත්වයෙන් පරිසරයට හානි නොවිය යුතුය යන පදනම තමයි මේ සම්මුතියේ වැදගත්ම දේ. ඒ අනුව මහමඟ ධාවනය කෙරෙන අනෙකුත් වාහනවලින් පාපැදිකරුවන්ට කරදර නොවන ආකාරයට ගමන් කිරීමට උන්නදුවන්නේ නම් පාපැදි භාවිතය ප්‍රචලිත කළ හැකියි.

රෝද හතරේ වාහන පාපැදිකරුවන්ව ගණන් ගන්නේ නැහැ. ඒ නිසා පාපැදිකරුවන්ට මහමඟ ගමන බොහොම අසීරුයි. මේ ගැන අප ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගේ අවධානය යොමු කළා. පාපැදිකරුවන්ට වෙනම මංතීරුවක් වෙන්කළ හැකිනම් පාපැදිය මෙයට වඩා ප්‍රචලිත කළ හැකියි. සුරක්ෂිතතාව ඉහළ නංවා ගැනීමෙදි පාපැදිකරුවන් අතින් වගේම මාර්ගය භාවිත කරන අනෙකුත් අය අතින් ද ඉටු විය යුතු දේවල් තිබෙනවා. ඉදිරිපසට හා පිටුපස විදුලි පහන් භාවිතයට, ප්‍රතිදීප්ත පුවරු යෙදීමට, හිස්වැසුම් පැලඳීමට, වමෙන් ගමන් කිරීම වගේ දේවල් අනුගමනය කිරීමට පාපැදිකරුවන් විනයගරුක විය යුතුයි. හැරවීමට පෙර අතින් සංඥා කළ යුතුයි.

ඒ වගේම මහමඟ තිබෙන අනෙක් ප්‍රශ්නය තමයි දූවිලි සහ දුම. මෙයට විසඳුමක් විදියට මහමඟ ගස් සිටුවීම කළ යුතුයි.

පාසල් මට්ටමින් පාපැදි භාවිතය ප්‍රචලිත කිරීමේ වැදගත්කම කුමක්ද?

පාසල් වෑන් රථ මඟින් ළමුන් පාසල් යැවීමෙදි ඉස්සර එක් දරුවකු වෙනුවෙන් 4,000 – 5.000 අතර මුදලක් වැය වුණා. වර්තමානයේ ඒ සඳහා රුපියල් 8,000 – 10,000 අතර මුදලක් වැය කිරිමට සිදුව තිබෙනවා. ළමුන් දෙදෙනකු සිටින පවුලක් ගත්විට පාසල් ප්‍රවාහනයට දරන්න වෙන වියදම ඔරොත්තු දෙන මට්ටමක නැහැ. ඒ නිසා පාපැදි මඟින් පාසල් යෑමට හැකි සුරක්ෂිත පරිසරයක් දරුවන්ට අප නිර්මාණය කළ යුතුයි.ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයට අනුබද්ධ සංගමයක් විදියට පාසල් පාපැදි සංගමයක් තිබෙනවා. ඔවුන් සමඟ සාකච්ඡා කර පාසල් මට්ටමින් පාපැදි භාවිතය වැඩි කිරීමට අප උත්සාහයක් ගන්නවා. මේ පාපැදිය භාවිත නොකර බැරි අවස්ථාවක්.

අප දරුවන් වුවමනාවට වඩා ආරක්ෂා කරන්න පෙලඹී සිටිනවා. අර දේ කරන්න එපා! මේක කරන්න එපා කියලා ඔවුන්ට කිසිම දෙයක් නිදහසේ කරන්න දෙන්නේ නැහැ. දරුවන්ට ආරක්ෂාව සලසා ගන්නා ආකාරය කියා දීම වෙනුවට හැම දෙයකින්ම ආරක්ෂා කර ගන්න මවුපියන් පෙලඹෙනවා. ඒත් කවදා හෝ දවසක ඔවුන් තනියම වැඩ කළයුතු දිනයක් එනවා. මේ විදියට හැම දෙයකින්ම මවුපිය ආවරණය යටතේ වැඩෙන දරුවන් එවිට අසාර්ථක වෙනවා. ඒක දරුණු ඛේදවාචකයක්.

දරුවන්ට ක්‍රීඩාවට යොමු කිරීමේ වරදක් මා දකින්නේ නැහැ. බයිසිකලයකින් වැටුණට කිසිවක් වෙන්නේ නැහැ. පාපැදිය පදින්න පටන් ගත් කුඩා කාලේ මගේ අතපය අනන්තවත් සීරිම්වලට ලක්ව තිබෙනවා. දරුවන්ට අවදානමකට මුහුණ දෙන ආකාරය ඉගැන්විය යුතුයි. එය ඉගෙන ගන්න තිබෙන හොඳම තැන තමයි පාපැදියට යොමු කිරීම. එතනදි දරුවා මුහුණ දෙන්නෙ පාලනය කළ හැකි අවදානමකට. ඉන්පසු ඔහුට තමන්ට පාලනය කළ නොහැකි අවදානම්වලට මුහුණ දීමට හැකියාව ලැබෙනවා.

පාපැදි භාවිතය ප්‍රචලිත කිරීමේදී මුහුණ දීමට සිදුව ඇති ගැටලු මොනවාද?

පාපැදියක් කැඩුණු විට හදාගන්න තැනක් නැහැ. කාලයකට පෙර සෑම හන්දියකම පාහේ වින්කලයක් තිබුණත් මේ වන විට ඒවා බොහොමයක් වැසී ගිහින්. වර්තමානය වන විට බයිසිකලයට හොඳ ඉල්ලුමක් තිබෙන නිසා අලුත්වැඩියා කරන්නන් 1,000ක් පුහුණු කරන්න අප බලාපොරොත්තු වෙනවා. නිවෙසට පැමිණ පාපැදිය අලුත්වැඩියා කරදීමට ඔවුන් යොමු කිරීමට අප අපේක්ෂා කරනවා.

එක් ඉන්ධන නැවක් මෙරටට ගෙන්වන්න ඩොලර් මිලියන 55ක් වැය වෙනවා. ඒ මුදලින් සෑම ගෙදරකටම බයිසිකලය ගණනේ නොමිලේ දෙන්න පුළුවන්. මේ වන විට ශ්‍රී ලංකාවේ පාපැදි මිලියන 2.1ක් තිබෙනවා. එහෙත් මේවා භාවිත කරන්නෙ නැහැ. ඉන්ධන අර්බුදයට විසඳුම් නොදීම ගැන අප ආණ්ඩුව ව්වේචනය කරනවා. එහෙත් මේ නාස්තිය අනුව බැලුවිට අප සියලු දෙනාම මේ අර්බුදයේ කොටස්කරුවන්. අප සියලු දෙනා ඩොලර් වැය කරන්නන්, උපදවන්නන් නෙමෙයි. මේ විදියට වැය වෙන්නේ විදේශගත ගෘහ සේවිකාවන්, අනෙකුත් වෘත්තිකයන් අමාරුවෙන් උපයන ඩොලර්. ඒ නිසා ඩොලර් පිට රටට යැවීම නැවැත්වීමට අපට වගකීමක් තිබෙනවා. ඒ වගේම පාපැදි භාවිතය නිසා පරිසර දූෂණය වැළකෙනවා. ශරීර සෞඛ්‍ය ආරක්ෂා වෙනවා. එහෙම ගත්විට පාපැදියට හුරුවීමෙන් ප්‍රතිලාභ රාශියක් ලැබෙනවා.

ප්‍රවාහන ගැටලුවට විසඳුමක් ලෙස ආරම්භ කළ ‘පාර්ක් ඇන්ඩ් රයිඩ්්‍’ වැඩසටහන පසුව අභාවයට ගියා. පැරැණි වැඩසටහනින් වර්තමාන වැඩසටහන වෙනස් වෙන්නේ කෙසේද?

ළඟම තිබෙන දුම්රිය නැවතුම් පොළට හෝ බස් නැවතුම්පොළට බයිසිකලයෙන් ඇවිත් එතැන වාහනය නවත්වා පොදු ප්‍රවාහනය මඟින් ගමන් පහසුව සලසා ගැනිම මේ වැඩසටහනේ අරමුණයි. ඒ අනුව සෑම දුම්රිය ස්ථානයකම පාපැදි නැවැත්වීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස අප ප්‍රවාහන ඇමැතිවරයාගෙන් ඉල්ලීමක් කළා. එයට යහපත් ප්‍රතිචාරයක් තිබෙනවා. මේ වැඩසටහන මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් ඇරඹීමට ඇමැතිවරයා අදහස් කරනවා.

බයිසිකල් ඉල්ලුම ඉහළ යෑමත් සමඟ කලකට ඉහත ආනයනය කළ, භාවිත කළ පාපැදිවල මිල ද අසාමාන්‍ය ලෙස ඉහළ නංවා තිබෙනවා. මේ ගැන සංගමයේ අවධානය යොමුව තිබේද?

එය ගැටලුවක් තමයි. ඉන්ධන මිල ඉහළ යන තත්ත්වයක් තුළ අනෙක් සියලු දේවල මිල නිරායාසයෙන්ම ඉහළ යනවා. වසරක් වැනි කෙටි කාලයක් තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ වටිනාකම තුන් ගුණයකින් පහළ ගිහින් තිබෙනවා. පාපැදිය මෙරට නිපදවන දෙයක් නෙමෙයි, එකලස් කිරීම පමණයි කරන්නෙ. උද්ධමනය අපට පමණක් බලපාන දෙයක් නෙමෙයි. විදේශ රටවලත් භාණ්ඩ මිල විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ රටවලත් පාපැදි මිල ඉහළ යනවා. ආනයන සීමා කර තිබෙනවා. මේ හේතු දෙක, තුන මත කලින් 17,000ට තිබුණු බයිසිකලය දැන් 45,000ක් වෙලා.

මිල ගැන සලකා බයිසිකලයක් මිලදී ගැනීම කල් දැමුවහොත් අනාගතයේ එයට වඩා වැඩි මිලක් ගෙවීමට සිදු වෙනවා. වෙන ඕනෑම පාරිභෝගික භාණ්ඩයක් ගත්විට එය නඩත්තු කිරීමට විශාල මුදලක් දැරිය යුතු වෙනවා. යතුරු පැදියක් ගත්තොත් මිලදී ගැනීම කළ මොහොතේ සිට ඉන්ධන සඳහා වියදම් දරන්න වෙනවා. නමුත් පාපැදියක් මිලදී ගත්තොත් එය මිලදී ගැනීම කළ මොහොතේ සිට ඉතිරියක්. කෙටි කාලයකින් ඒ සඳහා වැය කළ මිල ලැබෙනවා.

උදාහරණකින් මෙය පැහැදිලි කළ හැකියි. උදෑසන පත්තරය මිලදී ගැනිමට ආසන්න කඩයට යෑමට යම් අයකු මෝටර් රථයක් භාවිත කළොත්, ඔහුට වාහනය පණ ගන්වා ගෙන යෑමට සහ ඒමට ඩොලර් 5ක් වැය වෙනවා. පෙට්‍රල් වියදමට අමතරව ස්ටාටර් මෝටරයේ හා ටයර් ක්ෂය වීම අනුව ඒ පිරිවැය දැරිය යුතුයි. කඩයට ගිහින් බඩු ටිකක් ගත්තත් ඒ මුදල යනවා. මේ නිසා පොඩි පොඩි ගමන් සඳහා බයිසිකලය භාවිත කිරීමෙන් රටට ඩොලර් විශාල ප්‍රමාණයක් ඉතිරි කළ හැකියි. ඒ අතර තමුන්ගේ සෞඛ්‍ය තත්ත්වයත් ආරක්ෂා කරගන්න පුළුවන්.

බයිසිකල් මිල ඉහළ යෑම නිසා සොරා ගැනීම් වැඩි වෙලා. පාපැදියේ ආරක්ෂාව සම්බන්ධයෙන් දියුණු රාජ්‍යයන් අනුගමනය කරන ක්‍රම මෙරටට හඳුන්වා දීමේ හැකියාවක් තිබේද?

බයිසිකල් පරිස්සම් කරගන්න අලුත් ක්‍රමවේද තිබෙනවා. එක ක්‍රමයක් තමයි චිප් එකක් යෙදීම. මේක සාර්ථක ක්‍රමයක්. චිප් එකක් යෙදූ බයිසිකලයක් කාටවත් සොරා ගන්න බැහැ. සොරකම් කළ දුරකථනයක් තිබෙන තැන ඉමි අංකයෙන් හා චිප් එකේ ආධාරයෙන් සොයා ගන්න පුළුවන්. එවැනි පරිගණක පද්ධතියක් හදන්න අප උත්සාහ කරනවා. ඒ අනුව පාපැදිය තිබෙන තැනත් සොගත හැකියි.

දෙවනුව පාපැදි සඳහා රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීමේ අවශ්‍යතාව අප රක්ෂණ සමාගම්වලට පෙන්වා දී තිබෙනවා. ඊළඟට පාපැදි මිලදී ගන්න උනන්දුවක් තිබෙන ඒ සඳහා එකවර මුදලක් යට කරන්න හැකියාවක් නැති පිරිස් වෙනුවෙන් ණය ක්‍රමයක් ඇති කරන්න අප උත්සාහ කරනවා. දැනටමත් අප ඒ ගැන බැංකු සමඟ කතාබහ අරඹා තිබෙනවා. මේ විදියට පාපැදි භාවිතය උනන්දු කිරීමට ක්‍රමවේද රැසක් අප භාවිත කරනවා.

පාපැදි භාවිත කිරීමට කැමැත්තක් දක්වන, එහෙත් පාපැදි භාවිතයට නුහුරු පිරිස් පුහුණු කිරීමට සංගමයට වැඩපිළිවෙළක් තිබේද?

අලුතින් පිරිසක් පාපැදි භාවිතයට අවධානය යොමුකර තිබෙනවා. එලෙස උනන්දුවක් දක්වන පිරිස් පුහුණු කිරීමට අපගේ පළපුරුදු පුහුණුකරුවන්ගේ සහාය දෙන්න පුළුවන්. ඉල්ලීමක් තිබේ නම් අපට පුහුණු කඳවුරු පැවැත්වීමේ හැකියාව ද තිබෙනවා. පාපැදි සම්මේලනයට අනුබද්ධ ප්‍රාදේශීය ක්‍රීඩා සංවිධාන 50ක් පවතිනවා. ඒ සෑම සංගමයකටම පුහුණුකරුවන් සිටිනවා. ඔවුන්ගේ සේවය පුහුණු වැඩසටහන්වලට සපයන්න අප සූදානම්. මේ ගැන වැඩි විස්තර ප්‍රධාන ලේකම් නලීන් අධිකාරිආරච්චිගේ 0774 – 881888 ඇමතීමෙන් දැනගත හැකියි. අපගේ පුහුණුකරුවන්ට බයිසිකල් පැදීමේදී අවශ්‍ය වන සමබරතාව පවත්වා ගන්නා ආකාරය හොඳ පුහුණුවක් දෙන්න පුළුවන්.

චන්දන ජයවීර
Dinamina

Related posts

පොලිසිය අසලම තිබූ මත්පැන් අලෙවිසැල කඩා මත්පැන් බෝතල් සොරාගෙන යයි…

Shiran Viraj

ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 309 ක් දක්වා ඉහළට

Shiran Viraj

අළුත් පාර්ලිමේන්තුවට නවක මන්ත‍්‍රීවරුන් 64 ක්

Shiran Viraj

Leave a Comment