News Political

ඉන්ධන, ගෑස්, ගල් අඟුරු ගණුදෙනු වලින් වහාම රාජපක්ෂ පවුල ඉවත් විය යුතුයි.. රටෙන් කොල්ල කෑ ධනය ලබා දිය යුතුයි..- චම්පිකගෙන් නාමල්ට පණිවුඩයක්…

අපේ රට වැටී තිබෙන අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා ඉදිරි සතිය තුළ කරුණු 4 කින් යුතු වැඩපිළිවෙලකට සියලු දෙනා එක්විය යුතු බව 43 සේනාංකය පවසයි.

අද පැවති මාධ්‍ය හමුවකදී ඒ පිළිබඳව වැඩිදුරටත්  අදහස් දැක්වූ 43 සේනාංකය නායක පාඨලී චම්පික රණවක මහතා මේ කරුණු අවධාරණය කළේය.

  1. පුළුල් සන්ධානයකටඑක වේදිකාවකට එළඹෙමින් දැනට ඉදිරිපත් කර තිබෙන22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, ප්‍රශස්ත මට්ටමෙන්හැකි ඉක්මනින් සම්මත කරගත යුතුය.

“ඒක අපි බලාපොරොත්තු වුණු 19 වෙනි සංශෝධනය නෙවෙයි. ඊට වඩා දියාරු කරපු, ගෝඨාභය රාජපක්ෂට යම් යම් බලතල ලබා දීපු, සංශෝධනයක්. ඒ නිසා එයට වැදගත් වෙනස්කම් ඉටුකරලා පාර්ලිමේන්තුව තුල ඒ අදාළ නීති කටයුතු අවසන් වූ පසු අධිකරණයේ ප්‍රශස්ත මට්ටමෙන් 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරලා පාර්ලිමේන්තුවයි ජනාධිපති ධූරයයි අතර තියෙන මේ බලතුලනය ශක්තිමත් කරලා ස්වාධීන අධිකරණයක්, ස්වාධීන පොලීසියක්, ඒ වගේම ස්වාධීන මැතිවරණ කොමිසමක්, ස්වාධීන රාජ්‍ය සේවයක්, ස්වාධීන ප්‍රසම්පාදන, ස්වාධීන විගණන කොමිසමක් ස්ථාපිත කරලා මේ රට ඉදිරියට ගෙන යාමට අවශ්‍ය වැඩපිළිවෙල හැකි ඉක්මනින් ගන්න. පක්ෂ, පාට, භේදයෙන් තොරව බැසිල් රාජපක්ෂගේ යටින් කරන කකුලෙන් ඇදිලි පරාජය කරලා ඉදිරියට යන්න.

  1. පාර්ලිමේන්තුව තුළ සිටින පක්ෂ, ස්වාධීන කණ්ඩායම් වල නායකයන් එක්ව අවබෝධතා ගිවිසුම් සකස් කරගෙන තිබෙන ප්‍රතිපත්ති පිළිබඳ තීරණ ගැනීමේ සභාවක් පිහිටුවිය යුතුය.

“විශේෂයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 224 දෙනාම අදාළ අමාත්‍යාංශවලට අනුයුක්ත කොට, ඒ අමාත්‍යාංශවල පාලනය පාලනය පිළිබඳ වගකීම ලබාදී, අමාත්‍යවරයා  ඒ අමාත්‍ය  සංසදයේ සභාපතිවරයෙක් බවට පත් කරන්න ඕනේ. පාර්ලිමේන්තුවේ මේ 224 දෙනාටම වගකීම දීලා විවෘත විනිවිදන ස්වභාවයෙන් ඒ කටයුත්ත ඉදිරියට ගෙනියන්න ඕනේ.”

“ගෝඨාභය රාජපක්ෂ පාලනය තියෙන තාක්කල් අපට මොනම ආකාරයේවත් විදේශ සහයක් ලැබෙන්නේ නැහැ. අඩු ම තරමින් ශ්‍රී ලංකාවෙන් පිටත ජීවත් වෙන තිස් ලක්ෂයක් වෙච්ච විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ සහයවත් මොහුට ලැබෙන්නේ නැහැ. ඒ සහයවත් අපට හරියට ලැබුණා නම් අපට ලොකු විදේශ සහයකින් තොරව මේ අර්බුදය පියමං කර ගන්න තිබුණා.”

  1. වැදගත් ආයතන වලට කාටත් පිළිගත හැකි වෘත්තීය මට්ටමේ නායකත්වයන් පත් කළ යුතුය. අන්තර් කාලීන පොදු වැඩපිළිවෙලක් සකස් කර ගත යුතුය.

“තෙල් සංස්ථාවට, ඛනිජ තෙල් පර්යන්තයට, ලංකා විදුලිබල මණ්ඩලයට දේශපාලන පත්වීමක් තියෙන්නේ. වෘත්තීය මට්ටමේ පිරිස් මෙතනට පත් කරන්න ඕනේ. මුල්‍ය ක්ෂේත්‍රය දේශපාලන පත්වීම් ඉවත් කළ යුතුයි. ඒ වෙනුවට පිළිගත හැකි වෘත්තීය මට්ටමේ පිරිස් ඒවට පත් කරන්න ඕන. රටේ අනෙකුත් ප්‍රධාන සැපයුම් ක්ෂේත්‍ර වන  ප්‍රවාහන, ජල සම්පාදන ක්ෂේත්‍ර වැනි දෑට ඒ ඒ ආයතනවල ඉන්න වෘත්තීය මට්ටමේ පිරිස් වලට ඉඩ දීලා ඒක ඉදිරියට ගෙන යාමේ වගකීම ඔවුන්ට ලබා දෙන්න ඕනේ ස්වාධීනව. එහෙම නොවුණොත් කිසිම විශ්වාසයක් මේ පාර මහමගට වැටිලා විදේශිකයෝ තුළවත්, විදේශවල ජීවත්වෙන ශ්‍රී ලාංකිකයෝ තුළවත් ඇති වෙන්නේ නැහැ.”

“2015 මහ මැතිවරණයට පෙර දින 100 වැඩපිළිවෙල කියලා එකක් තිබුණා. අපි විශේෂයෙන්ම අවධාරණය කරනවා මාස හයකට හෝ මහනායක හිමිවරුන් යෝජනා කරලා තියෙන විදිහට මාස 18 කට හෝ කවර හෝ කලකට පොදු අන්තර් කාලීන වැඩපිළිවෙලකට. අපි සූදානම් ඒ අවම වැඩපිළිවෙල තනන්න. මේ රටේ වෘත්තීයවේදීන්ගෙන්, වැඩකරන ජනතාවගෙන්, ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඒ හැම කෙනාගේම එකඟත්වය, සාමූහිකත්වය, ඒ අවම වැඩපිළිවෙලට ලබාගත යුතුයි. සති දෙකක් වැනි කෙටි කලක් තුළ, ඒ කටයුත්ත සිදුකරගත යුතුයි. පාර්ලිමේන්තුවේත් මැදිහත්වීම ඇතුළේ.”

  1. ගෝඨාභය රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත් වී 24 පැයක් තුළ පාර්ලිමේන්තුව මගින් රටට නව ජනපතිවරයෙක් පත් කරදීමට අවස්ථාව උදා කර දිය යුතුය.

“මේ කරුණු හතර අනිවාර්යයෙන්ම අපි ඉෂ්ට කරගත්තේ නැත්නම්, මේ මහ මගට බැහැලා ඉන්න අපේ ජනතාවට සහනය ලැබෙන්නේ නැහැ. රට තවත් දේශපාලන පිපිරීම්, සමාජ පිපිරීම් ඉදිරියේ මේ රට ඇතැම් විට ලේ ගංගාවක් වීමට ඉඩකඩ තිබෙනවා. ඒ යෝජනාව අපි සියලුම පක්ෂ වලට යෝජනා කරනවා. ඒ වගේම පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ වලට මේ ආරාධනය මේ ඊළඟ සතිය ඇතුලත සිදු කරන්න අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් 43 සේනාංකය ප්‍රධානියා වැඩිදුරටත් අවධාරණය කළේය.

මෙහිදී රාජපක්ෂ පවුලට විශේෂ මතක් කිරීමක් කිරීමට ද රණවක මහතා කටයුතු කළේ මෙලෙසිනි.

“බොහොම කරුණාවෙන් සහ මේ රටේ ජනතාවගේ පැත්තෙන් කිව්වොත්, ඉතාම ආවේගයෙන් ප්‍රකාශ කරන්න තියෙන්නේ ඔය නාමල් රාජපක්ෂ මහත්තයලට කරුණාකරලා ලංකාවේ දේශපාලනයෙන් ඉවත් වෙන්න. කරුණාකරලා ඔබලා විසින් මේ රටෙන් මංකොල්ල කන ලද ධනය, මේ රටේ ජනතාවට ලබා දෙන්න. ඔබලා සම්බන්ධයෙන් මේ රටේ ජනතාව තුල තියෙන්නේ අතිශය පිළිකුල් සහගත තත්වයක්.  ඊළඟ මැතිවරණයෙන් ඔය පොහොට්ටුවේ කයි කාරයින්ට තේරෙයි මොකක්ද තත්වේ කියලා. මතක තියාගන්න මැයි 9 වෙනිදා මේ රටේ ජනතාව පාඩමක් ඉගැන්නුවා බේරේ වැව වටේදි. ඒ පාඩමවත් සිහියේ තබාගෙන දේශපාලනයෙන් කරුණාකරලා මේවට මැදිහත් නොවී ඉවත් වෙලා ඉන්න. ඔබලා මේවට ඇඟිලි ගහන වාරයක් පාසා වෙන්නේ මොකක්ද? රටේ ජනතාවගේ ප්‍රකෝපය තව ඉහළ නංවන එක විතරයි. විශේෂයෙන්ම මේ රට කරන ගෑස් ගණුදෙනු, තෙල් ගණුදෙනු, ගල් අඟුරුවලින් වහාම රාජපක්ෂ පවුල ඉවත් විය යුතුයි. ඒ ඩීල් වලින් ඔවුන් ඉවත් විය යුතුයි. ඔවුන් තමයි මේ අවුල කරන්නේ. මැද්දට පැනලා. ඒ නිසා ඒ ඒ සම්බන්ධයෙන් අපි බොහොම පැහැදිලිව කියනවා වහාම දේශපාලනයෙන් ඉවත් වෙලා පැත්තකට වෙලා ඉන්න. මම දන්නේ නැහැ වාසුදේව නානායක්කාර මහත්තයාට මොනවා කියලා තියෙනවද කියලා. වහාම පැත්තකට වෙලා ඉන්න. ඒක තමයි මේ මොහොතේ ඔබේ පවුලටත්, මේ රටටත් කරන්න පුළුවන් ලොකුම උපකාරය.”

මෙහිදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දුන් රණවක මහතා;

  1. ඔබතුමන්ලා මේ සර්වපාක්ෂික රජයක් පිහිටුවන්න ගෙන එන යෝජනා කොච්චර යෝජනා ගෙනාවත් වැඩි බලය තියෙන්නේ පොහොට්ටුවට ?

පොහොට්ටුවට බලයක් නැති බව පෙනෙයි. පොහොට්ටුවේ ඉන්න විශාල පිරිසක් ස්වාධීන වෙලා තියෙන්නේ. අපි ආරාධනා කරනවා ඒ පොහොට්ටුවේ ඉන්න සියලුම ප්‍රගතිශීලි බලවේග වලට මේ රාජපක්ෂ ශාපයෙන් කරුණාකරලා දැන්වත් ගැලවෙන්න. 3% යි අද රාජපක්ෂලාට රටේ තියෙන්නේ. ඒ නිසා පොහොට්ටුවේ ඉන්න ජනපදනමක් තියෙන, දූෂණයට යට නොවුණු පිරිස් වලට මේ අවස්ථාව රට වෙනුවෙන් ඉදිරිපත් වෙන්න. නැත්නම් ඒ පොහොට්ටුවේ ඉන්න වැදගත් මිනිස්සු ටිකටත් රාජපක්ෂලා එක්කම දේශපාලනමය වශයෙන් අවසන් ගමන් යන්න පුළුවන්.

  1. මාධ්‍යවේදීන් හැටියට අපිත් සෑහෙන අසරණ භාවයට පත්වෙලා තියෙනවා මේ අත්‍යවශ්‍ය සේවාවන් අපි අත්‍යවශ්‍ය දේකටවත් නැතුව ගෙවල් ඇතුලේ සීමා කරලා තියෙනවා. මොකද හිතෙන්නේ ?

මාධ්‍ය ආයතන බොහොමයක් මාධ්‍යවේදීනුත් මේවා වාර්තාකරණයෙන් වළක්වා ගැනීමට විය යුතුයි අනිවාර්යෙන්ම මේ ඉන්ධන ගැටලුවට ඔවුන්ව හිර කරලා තියෙන්නේ. මාධ්‍ය ආයතන වලටත් අද ප්‍රශ්ණයක් තියෙනවා. මුද්‍රිත මාධ්‍ය  ආයතන වලට කොළ නෑ. ඒ  ආයතන වලට ඉස්සර තමන්ගේ පත්තර ටික රට වටේ ගෙනියන්න තමන්ගේම වූ ප්‍රවාහන මාධ්‍යයක්  තිබුණා. දැන් ඒ ලොරි රථ ටික ක්‍රියාත්මක කරන්න විදිහක් නෑ. ඩීසල් නෑ. අර සීඝ්‍රගාමී බස් රථත් දැන් සෑහෙන්න ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවා. ඒ නිසා මේ ඉදිරි කාලයේදී මුද්‍රිත මාධ්‍ය සම්පූර්ණයෙන් වැහිලා යන්න නියමිතයි.

සැප්තැම්බර් මාසෙන් පස්සේ ගල් අඟුරු නෑ. ඒ නිසා දැනට කරන ඉලෙක්ට්‍රොනික මාධ්‍ය වලටත් අවශ්‍ය විදුලි බලය සම්පාදනය කිරීම විශාල බරපතල ගැටළුවක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ මාධ්‍ය ආයතන, මාධ්‍යවේදීන් කියන ඒවා පවත්වා ගැනීම රටේ අත්‍යවශ්‍ය කාරණයක්. ඇත්තටම මේකත් එක්ක අපිට පේනවා ඉතාමත්ම නරක විදිහට ආරක්ෂක අංශ යුධ හමුදාව, ගුවන් හමුදාව, නාවුක හමුදාව, සිවිල් ආරක්ෂක බලඇණිය හා පොලීසියේ ඇතැම් නොහික්මුණු පිරිස් මේ ප්‍රශ්නයට මැදිහත් කරන්න උත්සාහ කරමින් ඉන්නවා ආණ්ඩුවත් දේශපාලන ගැති යම් පිරිසකුත්. ඒ නිසා රඹුක්කන සිද්ධිය වගේ රතුපස්වල සිද්ධිය වගේ සිද්ධි ඇති කර ගන්නේ නැතුව ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවල ඉන්න හමුදාපතිවරුන්ගේ වගකීම තමයි තමන් ගැන නිසා ඇතිවෙච්ච ඒ මහා ගරුත්වය රාජපක්ෂ පවුල රකින්න ගිහිල්ලා නැති කරගන්න එපා. මොකද ආරක්ෂක හමුදාවල සාමාජිකයනුත් අපා දුක් විඳිනවා. ඔවුනුත් මේ පාරට වැටිලා තියෙන්නේ. පොලීසියටත් ගෑස් නැහැ. පොලිසියටත් තෙල් නැහැ. යුධ හමුදාවට ගුවන් හමුදාවට නාවික හමුදාවේ පවුල් වලටත් ගෑස් නැහැ. තෙල් නැහැ. විදුලිය නැහැ. ඒක නිසා කරුණාකරලා මේ රාජපක්ෂ පවුල රකින්න ඇතැම් නිලධාරීන් කටයුතු කළාට නීතියට අනුව කටයුතු කරන්න, රටේ ජනතාවගේ පිළිකුලට භාජනය කරන්න එපා.

  1. ඊයේ වෙනකොට අපි දැක්කා මාස 6 ක් දෙන්න මේ පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්න අය අලුතෙන් පත් කරගෙන ආණ්ඩුවක් හදන්නම් කියලා ජවිපෙ කියනවා?

අපි ජනතා විමුක්ති පෙරමුණටත් ආරාධනා කියලා කරනවා ඇත්තටම එතුමන්ලට පුළුවන් නම් එතුමන්ලටත් අවස්ථාවක් දිය යුතුයි. රට පාලනය කරලා ඔය වේදිකාවේ කතා කරන දේවල් ඔප්පු කරලා පෙන්නන්න ඔවුන්ටත් අවස්ථාවක් දිය යුතුයි. ජනතා විමුක්ති පෙරමුණත් මේ සර්වපාක්ෂික ආණ්ඩුවේ වෙන් කළ නොහැකි කොටසක්. පාර්ලිමේන්තුවෙත් බහුතරය එකඟ නම් කිසි ප්‍රශ්නයක් නෑ.

  1. බහුතරය එකඟ නම් අග්‍රාමාත්‍ය ධූරය අනුර දිසානායක මහත්තයාට දුන්නට කිසිම ප්‍රශ්ණයක් නැහැ?

එතුමාගේ ප්‍රතිපත්ති සහ සමස්තය මතයි අපි කටයුතු කරන්නේ පුද්ගලයෝ මත නෙවෙයි. සර්ව පාක්ෂික ආණ්ඩුවක් හැදෙනවා නම් අන්තර් කාලීන අවම පොදු වැඩපිළිවෙලකට එකඟ නම් ඒ වගේම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගෙදර යවන වැඩසටහනක් තියෙනවා නම් සහ 22 වෙනි  සංශෝධනය ප්‍රශස්ත මට්ටමෙන් සම්මත කරගන්න එකඟතාවයක් තියෙනවා නම් පාර්ලිමේන්තුවේ බහුතරයේ කැමැත්ත තියෙනවා නම් ඒ මත අපි තීරණය ගන්නවා. අපිට ප්‍රශ්ණයක් නැහැ මේ අනුර දිසානායකද, සජිත් ප්‍රේමදාසද, කවුද කියන එක ගැන අපිට ගැටළුවක් නැහැ එතන.

මේ මාධ්‍ය හමුවට එක්වූ 43 සේනාංකය සභාපති කරු පරණවිතාන මහතා සඳහන් කළේ, අර්බුදයට වගකිවයුත්තන් වන රාජපක්ෂලා මේ වන විට අර්බුදය මැද්දෙන් ‘බිස්නස්’ කරමින් රට අරාජිකත්වය කරා යාමට ඉඩ සලසමින් සිටින බවය.

“අප්‍රේල් 9 වෙනිදා සිද්ධිය එන්නට කලින් බොහෝ කලින් ඒ වගේම මේ අර්බුදය මෙච්චර ගැඹුරු වෙන්නට කලින්ම 43 සේනාංකයේ අපි මෙතනම මාධ්‍ය සාකච්ඡාවක් පවත්වලා මාර්තු 25 වෙනිදා ප්‍රකාශ කළා මේ අර්බුදය යන දිහාව දැකලා මේකට තිබෙන්න ඕනේ මෙන්න මේ ආකාරයේ විසඳුමක් කියලා. ඒක තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සහ මේ බලතල සීමා කරපු, නැවත 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ බලගැන්වෙන, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් රටේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ  කෙරෙන්නට ඕනේ. ඒ වගේම තමයි මේ වර්තමාන අර්බුදයෙන් රට මුදාගැනීම සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්නට ඕනේ. ඒ වගේම තමයි ඒ ආණ්ඩුව පොදු අවම වැඩපිළිවෙලක්. රටට ඉදිරිපත් කරන්නට ඕනේ. කියන ක්‍රියාමාර්ග ගත යුතුයි කියලා අපි යෝජනා කළා. රාජපක්ෂලා නොවන සියලු දේශපාලන බලවේග වලට අපි යෝජනා කළා. සමගි ජන බලවේගයට, ජනතා විමුක්ති පෙරමුණට, සුළු දේශපාලන පක්ෂ වලට. ඒ වගේම තමයි මේ වනවිට ආණ්ඩුවෙන් කැඩිලා ඉන්න ස්වාධීන කණ්ඩායම් සියලු දෙනාටම අපි යෝජනා කළේ එකතුවෙලා, පොදු අවම වැඩපිළිවෙලකට එන්න කියලා.”

මේ අවස්ථාවට 43 සේනාංකය  විධායක සභිකයන් වන බන්දුල චන්ද්‍රසේකර  මැතිතුමා සහ තීක්ෂණ ගම්මන්පිල යන මහත්වරුන් ද එක්ව සිටියහ.

– Media unit

Related posts

නර්තනයෙන් දෙයක් කරන්න කැමැතියි මේනක රාජපක්ෂ

Shiran Viraj

සංචරණ තවත් දීර්ඝ කිරිමට හේතු සොයයි..

Shiran Viraj

ජවිපෙ අද සේනාධිපතිගේ ප‍්‍රචාරක අංශය වෙලා.. චම්පිකගෙන් අනුරට විවාදයකට එන්නැයි අභියෝගයක්..

Shiran Viraj

Leave a Comment