Local News News

මා බ‍්‍රිතාන්‍යයේ ආර්ථික විද්‍යා උපාධිධාරියෙක්.. ලෝකය හා ගණුදෙනු කිරීමේ දැනුම මා සතුයි..

තමන් බ්‍රිතාන්‍යයේ කීර්තිමත් ‍අධ්‍යාපන ආයතනයකින් ආර්ථික විද්‍යාව පිළිබඳ උසස් අධ්‍යාපන උපාධිය සම්පූර්ණ කළ අයෙක් බව විපක්ෂ නායක හා සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ශ්‍රී ලාංකිකයෙකු ලෙස ලෝකය ඉදිරියට ගොස් රාජ තාන්ත‍්‍රිකව කටයුතු කිරීමේ හැකියාව ඇතිව තමන් අධ්‍යාපනය නිම කර මෙරටට පැමිණි බවද ඔහු කියා සිටී.

ඒ මහතා මෙම අදහස් පළ කරන්නේ තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමිනි.

එම සම්පූර්ණ සටහන මෙසේය.

****

“රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වර්ධනය කරගැනීම” යනු ගෝලීය දේශපාලනයේ වැදගත් අංගයකි.

විදෙස් රාජ්‍ය නියෝජිතයන් හමුවී, අතට-අත දී ඡායාරූප ලබාගැනීමෙන් පමණක් එය අවසන් නොවේ. අපගේ සාකච්ඡා තුළින් රටට ප්‍රතිලාභයක් අත්විය යුතුය. එයට භාෂාව, ආර්ථික දැනුම, ගෝලීය දේශපාලනික දැනුම, ඉදිරි දැක්ම සහ පුද්ගල සබඳතා වර්ධනය කරගැනීමේ හැකියාව ආදී කරුණු රාශියක් බලපායි.

ලොව කීර්තිමත් අධ්‍යාපන ආයතනයක් වන London School of Economics (LSE) තුළදී ආර්ථික විද්‍යාව පිළිබඳ උසස් අධ්‍යාපනයට පා තැබූ මා මගේ උපාධිය සම්පූර්ණ කළේ මහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් විශ්ව විද්‍යාලයෙනි (University of London). ආර්ථික විද්‍යා සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ උපාධිධාරියෙකු ලෙස මම නැවත මව්බිමට පැමිණියේ ශ්‍රී ලාංකිකයෙකු ලෙස ලෝකය ඉදිරියට ගොස් රාජ්‍ය තාන්ත්‍රික කටයුතු කිරීමේ හැකියාව ඇතිව ය. බ්‍රිතාන්‍යයේදී මා හට හමුවූ බොහෝ මිතුරු මිතුරියන් මේ වන විට විවිධ රාජ්‍යයන්හි වැදගත් තනතුරු දරන්නන් වීමත් අමතර වාසියකි.

2024 වසර ආරම්භයේදී, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර රැකගනිමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි නැංවීම පිණිස ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 100ක ණය මුදලක් ලබාගැනීමට මුල් වුණේ එම ජාත්‍යන්තර සබඳතා ය. ඒ සඳහා මා එකදු හෝ විදෙස් සංචාරයකට සහභාගී නොවී රාජ්‍ය මුදල් ඉතිරි කළ බවද නිහතමානීව සිහිකරමි.

එමෙන්ම, බංකොලොත් රටේ ආර්ථිකය යළි නැංවීම වෙනුවෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) දායකත්වය ඉවතලිය නොහැකි මොහොතක, මහජනතාවට වහසි බස් දොඩමින් නොසිට, මා විසින් එහි ශ්‍රී ලංකාව භාර ප්‍රධානී පීටර් බෲවර් මහතාවද හමුවී අවශ්‍ය සහාය ලබාගැනීමට අවශ්‍ය මාවත සකසන ලදී.

ජපන් විදේශ අමාත්‍යවරිය වන යොකෝ කමිකාවා මැතිණිය හමුවී ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි නැංවීමට අවශ්‍ය සාකච්ඡා සිදුකෙරෙන ලද්දේ මීට මාස කිහිපයකට උඩදී ය. මාගේ පියාණන් වූ, හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාට ජපානය හා තිබූ ශක්තිමත් සබඳතාත්, ජපානය සහ එහි සමාජය, සංස්කෘතිය පිළිබඳ කුඩා කල සිට මා ලබා තිබූ අත්දැකීමුත්, එහිදී රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වර්ධනය කරගැනීමට ඉවහල් විය.

පසුගිය වසරේදී චීන නියෝජ්‍ය විදෙස් ඇමති සුන් වෙයිඩොංග් මැතිතුමාව හමුවී ද්විපාර්ශවික සබඳතා වර්ධනය කරගත් අතර එම වසරේ ජුලි මාසයේදී විශේෂ චීන දූත පිරිසක් ද, මින් දෙමසකට පෙර චීන කොමියුනිස්ට් පක්ෂයේ දූත පිරිසක් ද හමුවුනෙමි. අසල්වාසී ඉන්දියාවේ මුදල් ඇමති සහ විදේශ ඇමතිවරයා ද හමුවන්නට කාලය වෙන්කළෙමි. ඉන්දීය ආර්ථික පිබිදීම වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටුකළ මොන්ටෙක් සිං වැනි විද්වතුන් සමග අදහස් හුවමාරු කරගත්තෙමි.

පසුගිය දා එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ආසියානු නියෝජ්‍ය සහකාර ලේකම් රොබට් කැප්රොත් මැතිතුමාව විපක්ෂ නායක කාර්යාලය තුළදී හමුවූ මොහොතේ අප විසින් සාකච්ඡා කළේ ශ්‍රී ලංකාවේ මහජනතාවට වැදගත් වන ආර්ථික, සාමාජීය සහ දේශපාලනික කරුණු ය.

ලෝක බලවතුන් සමග අදහස් බෙදාගනිමින්, ඔවුන්ට අපගේ යෝජනා ද ඉදිරිපත් කරමින් ජාත්‍යන්තර සම්බන්ධතා වර්ධනය කරගෙන, ලෝකය තුළ බැබළෙන රාජ්‍යයක් ලෙස අපගේ මාතෘභූමිය ගොඩනගන්නට නුඹට පොරොන්දු වෙමි. එම කර්තව්‍යය සඳහා අධ්‍යාපනිකවත්, ප්‍රායෝගිකවත් මා හට ඇති සූදානම මෙසේ ඔබ හමුවේ තබමි.

Related posts

කෑගල්ල රෝහලේදී ගැටළුකාරී ප්‍රතිජීවක ඖෂධය දුන් අයෙක් මිය යයි…

Shiran Viraj

ඉන්ධන මිල අඩු කරයි.. නව මිල ගණන් මෙන්න…

Shiran Viraj

මදූෂ්ගේ ප්‍රධානතම වෙඩික්කරුගේ නිවස වටලයි – නිවසේ තිබී ප්‍රධාන කොල්ලයක සාක්ෂිත් හමුවෙලා

Shiran Viraj

Leave a Comment