Local NewsNews

ආනයනය කරන වාහන මිල 300%කින් ඉහලට..

රුපියලේ අගයට සාපේක්ෂව ඩොලරයේ අගය ඉහළ යාම, වාහන සඳහා අය කරන ඉහළ බදු ආදී කරුණු නිසා ආනයනික නවීන වාහන මිල ගණන් ඉකුත් 2020 වසරට සාපේක්ෂව තුන් ගුණයකින් පමණ ඉහළ යන බව වාහන ආනයනකරුවෝ කියා සිටිති.

ජපානයේ ටොයෝටා සමාගම විසින් නිපදවන ලද බස් රථයක් මෙරටට ආනයනය කිරීමෙන් පසුව අලෙවි කිරීමට සිදුවන්නේ රුපියල් කෝටි දෙකකට වැඩි මිලකට බවද ඔවුහු කියා සිටිති. ඉකුත් 2020 වසරේදී ටොයෝටා සමාගම විසින් රුපියල් ලක්ෂ 70 කට අලෙවි කරන ලද බස් රථයක මිල වර්තමානයේදී රුපියල් කෝටි දෙක ඉක්මවා ඉහළ ගොස් ඇතැයිද වාහන ආනයනකරුවෝ පවසති.

වාහන ආනයනයට අදාළව කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබාදී ඇත්තේ ප්‍රවාහන, සංචාරක කටයුතු ආදී ක්ෂේත්‍ර සඳහා යොදා ගන්නා වාහනවලට පමණි. පුද්ගලික වාහන ගෙන්වීමට අදාළ කැබිනට් පත්‍රිකාව ලබන වසරේ (2025) ජනවාරි මස මැද සතියේදී පමණ ඉදිරිපත් කිරීමට නියමිත බව රජයේ ආරංචිමාර්ග කියයි. එම අනුමැතිය ලැබීමෙන් පසුව පුද්ගලික වාහන ආනයනයට අදාළව කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

මේ අනුව, වාහන ආනයනය කිරීමේදී එන්ජින් ධාරිතාව මත බදු අය කෙරෙන අතර, ඊට අමතරව, සියයට 18 ක වැට් බද්දක් ද අය කෙරේ. එන්ජින් ධාරිතාව මත 1 CC සඳහා රුපියල් 2,500 ත් රුපියල් 3,500 ත් අතර මුදලක් රේගුවට බදු වශයෙන් ගෙවිය යුතුය. මේ වන විට රුපියල අවප්‍රමාණය වී ඩොලරයේ අගය ඉහළ යාම හේතුවෙන් වාහන ආනයනයේදී වැඩි මුදලක් වැය කිරීමට සිදුවන බවද වාහන ආනයනකරුවන් කියා සිටිති. මේ හේතුව මතද වාහන ආනයන ගාස්තු ඉහළ යන බව ආනයනකරුවෝ පවසා සිටිති.

එමෙන්ම, ජපානයේ වාහන වෙන්දේසිවලද වාහන මිල ගණන් යම් ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බැවින්, ජපානයේ භාවිත කළ සහ එකලස් කරන ලද වාහන අතර මිලෙහි විශාල පරතරයක් නොමැති බවද වාහන ආනයනකරුවෝ කියා සිටිති.

එමෙන්ම, රට තුළ පවතින වාහන මිලෙහි යම් අඩුවීමක් සිදුවිය හැකිදැයි වාහන ආනයනකරුවන්ගෙන් “සතිඅග අරුණ’’ කළ විමසීමේදී වාහන ආනයනකරුවෝ කියා සිටියේ ආනයනික වාහනවල මිල ගණන්වල අඩුවක් නොමැති බැවින්, මෙරට භාවිත කරන ලද වාහන අලෙවි කිරීමේදීද මිල ගණන්වල වෙනසක් සිදුවී නොමැති බවය.

ජපානයේ ටොයෝටා සමාගමේ නිෂ්පාදිත නව බස් රථ ලබන වසරේ (2025) ජනවාරි මස අග වන විටදී මෙරට වාහන වෙළෙඳපොළට ලැබීමට නියමිත බවද වාහන ආනයනකරුවෝ කියා සිටිති.

– Aruna

Related posts

ලොව පුරා කොරෝනා මරණ එක් ලක්ෂ 34000 ඉක්මවයි-අමෙරිකාවෙන් මරණ 2500ක්

Malar FM

කොටින්ගේ රත්තරං සොයන්න ගිය 8ක් අධි තාක්ෂණ උපකරණත් සමග අත්අඩංගුවට

Malar FM

නව සන්ධානයේ මංගල රැලිය කැදවයි.. ප‍්‍රබලයන් වේදිකාවට…

Malar FM