BusinessBusiness NewsLocal NewsNews

ජල විදුලි උත්පාදනය ඉහළ යාම හමුවේ විදුලි ගාස්තු 10%කින් පහත හෙළිය හැකි යැයි විදුලි පාරිභෝගිකයන්ගේ සංගමය පවසයි

මෙම වසරේ (2026) හතරවන කාර්තුව (ඔක්තෝබර්-දෙසැම්බර්) සඳහා විදුලි ගාස්තු 2.88%කින් ඉහළ නැංවීමට ජාතික පද්ධති මෙහෙයුම්කරු (National System Operator – NSO) පෞද්ගලික සමාගම ඉල්ලා ඇති පසුබිමක, ඇදහැලෙන අධික වර්ෂාව සහ ජලාශවල ජල මට්ටම් සීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් විදුලි ගාස්තු අවම වශයෙන් 10%කින්වත් අඩු කළ හැකි බව විදුලි පාරිභෝගිකයන්ගේ සංගමය (ECA) ප්‍රකාශ කරයි.

‘ද ඩේලි මෝනින්’ පුවත්පත වෙත අදහස් දක්වමින් විදුලි පාරිභෝගිකයන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් සංජීව ධම්මික මහතා සඳහන් කළේ, NSO සමාගමේ යෝජනාව පිළිබඳ මූලික සමාලෝචනයක් සිදුකළ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL), යෝජිත ගාස්තු සංශෝධනය කුඩා අගයකට සීමා කළ හැකි බව සොයාගෙන ඇති බවයි.

“යෝජිත ගාස්තු වැඩිකිරීම 1.46%ක් වැනි ප්‍රමාණයකට සීමා කළ හැකි බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිරීක්ෂණය කර තිබෙනවා. නමුත් පවතින දත්ත දෙස බලන විට විදුලි ගාස්තු අවම වශයෙන් 10%කින්වත් අඩු කළ හැකි බව අපට පැහැදිලියි” යැයි ඔහු පැවසීය.

දිවයින පුරා පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ යමින් ප්‍රධාන ජලාශ රැසක් වාන් දමමින් පවතින බව පෙන්වා දුන් ඒ මහතා, එමඟින් විදුලි බල සමාගම්වලට ජල විදුලි උත්පාදනය ඉහළ නංවා පිරිවැය අධික ඛනිජ තෙල් සහ ගල්අඟුරු විදුලි උත්පාදනය සීමා කිරීමට හැකියාව ලැබෙන බව පැවසීය. එමඟින් ගාස්තු අඩු කිරීමට අවශ්‍ය ඉඩකඩ නිර්මාණය වන බවත්, ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීමේදී මෙම තත්ත්වය කෙරෙහි අනිවාර්යයෙන්ම අවධානය යොමු කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම කරුණ සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එය අසාර්ථක විය.

ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාර්තුව සඳහා 2.88%ක ගාස්තු වැඩිවීමක් සඳහා NSO සමාගම PUCSL වෙතින් අනුමැතිය ඉල්ලා ඇති අතර, මහජන උපයෝගිතා කොමිෂන් සභාව සිය නිල වෙබ් අඩවියේ හතරවන කාර්තු ගාස්තු සමාලෝචනය ප්‍රකාශයට පත් කර ඇත. PUCSL අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා තහවුරු කළේ අදාළ යෝජනාව සමාලෝචනයට ලක්වෙමින් පවතින අතර මහජන අදහස් විමසීමේ ක්‍රියාවලිය ද ආරම්භ කර ඇති බවයි. කොමිෂන් සභාවේ මූලික ඇගයීමට අනුව යෝජිත ගාස්තු වැඩිවීම 1.46% දක්වා අඩු කළ හැකි බව අදාළ වාර්තාවේ දැක්වේ.

Related posts

ඇඳිරි නීතිය තවත් ලිහිල් වෙයි

Malar FM

ශ‍්‍රී ලන්කන් තවත් අර්බුදයට.. යානා 10ක් එකවර අහිමිවෙන්න ආසන්නයි..

Malar FM

රජය පාසල් 3000ක් විකුණා දැමීමට සූදානම් වන බවට ජාතික ගුරු ව්‍යාපාරයෙන් චෝදනාවක්

Malar FM