News Political

‘ජනතාව විසින් ආණ්ඩුව ප්‍රතික්ෂේප කරලා’ – ජවිපෙ

ජනතාව විසින් ආණ්ඩුව ප්‍රතික්ෂේප කර තිබෙන බව මෙම මැතිවරණයේ ප්‍රතිඵලය තුළ ඉතා හොඳින් පෙන්නුම් කර තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා මේ බව පැවසූවේ පැලවත්ත, බත්තරමුල්ල හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (11) පස්වරුවේ පැවති මාධ්‍ය හමුව අමතමිණි.
එම මාධ්‍ය හමුව සඳහා ජනතා විමුක්ති පරෙමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා, දේශපාලන මණ්ඩල සභිකයින් වන කේ.ඩී. ලාල්කාන්ත මහතා සහ සුනිල් හඳුන්නෙත්ති මහතාද එක්වී සිටි අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර දිසානායක මහතා…,
දුෂ්ට බලවේග නැවත හිස එසවීම:
”2015 ජනවාරි 08වැනිදායින් පසුව රනිල්-මෛත්‍රී හවුල් ආණ්ඩුවේ ගුණාගුණ මැන බැලෙන අවස්ථාව බවට මෙම මැතිවරණයට පත්වී තිබුණා.
2015 ජනවාරි 08 දා ජනතාව විසින් අපේක්ෂා කළ කාර්යයන්ට මුළුමනින්ම පිටුපස හරවා ආණ්ඩුව පසුගිය වසර 03ක කාලය පැමිණ ඇති බව මෙම මැතිවරණය ප්‍රතිඵලය විසින් පෙන්වා දී තිබෙනවා.
ආණ්ඩුව අනුගමනය කරන ලද ප්‍රතිපත්ති, ක්‍රියාමාර්ග ප්‍රතික්ෂේප කිරීමත්, ජනවාරි 08 ජනතාවගේ අපේක්ෂා සියල්ල ඉටුකිරීමට අසමත් වූ ආණ්ඩුව සම්බන්ධ ජනතාවගේ ප්‍රතිචාරයත් මෙම ප්‍රතිඵලයෙන් පෙන්නුම් කර තිබෙනවා.
එහිම අනෙක් ප්‍රතිඵලය තමයි, ජනවාරි 08 දා පරාජයට පත්කරන ලද දුෂ්ට බලවේග නැවත හිස එසවීම.
එය මහජනයාගේ ධනය තමන්ට රිසිසේ කොල්ලකන ලද, ශ්‍රේෂ්ඨාධිකරණ අගවිනිසුරුවරුන් නෙරපා දැමූ, මාධ්‍ය ආයතනවලට බෝම්බ ගැසූ, මාධ්‍යවේදීන් ඝාතනය කළ, බලය වෙනුවෙන් ඕනෑම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමට නොපැකිලුණු බලවේගයක්.
මේ රටේ ගොඩනැගෙමින් තිබුණු දේශපාලන සංස්කෘතිය මුළුමනින්ම විනාශ කරන ලද කණ්ඩායමක්. තමන්ගේ බල ව්‍යාපෘතිය වෙනුවෙන් සියල්ල පාවිච්චි කරන ලද බලවේගයක්.
ඔවුන්ට නැවත හිස එසවීමට හැකි වාතාවරණයක් මෙම පළාත් පාලන මැතිවරණයෙන් ලැබී තිබෙනවා.
ගොඩනැගෙමින් තිබූ ආණ්ඩු විරෝධය තමන් වටා ඒකරාශීකර ගැනීමට රාජපක්ෂ කඳවුර සමත් වී තිබෙන බව මෙම මැතිවරණයෙන් පෙනී යනවා…
සභාපති පත්කරන ඡන්දය !
පළාත් පාලන පනත අනුව සභාවකට සභාපති හෝ ප්‍රධාන තනතුරට පත්වීම සඳහා මන්ත්‍රීවරුන්ගේ ඡන්දය අවශ්‍ය වෙනවා. අපි කිසිවෙකුට සහායදීම පිළිබඳව තීරණයක් අරගෙන නැහැ.
නමුත් අපි විශ්වාස කරනවා අපේ මහජන නියෝජිතයාට පැවරී තිබෙන්නේ, ප්‍රදේශයේ පොදු ජනතාවට යුතුකම් ඉටුකිරීම බව.
එම කටයුත්ත පළාත් පාලන ආයතන තුළ කිසිසේත් අවතක්සේරු වීමට ඉඩ නොතබා මහජනතාවට ඉටුවිය යුතු සේවය උපරිම ලෙස ඉටුකිරීමට අපේ මහජන නියෝජිතයන් කැපවී සිටිනවා.
එසේ නොමැතිව පළාත් පාලන ආයතනවල ආණ්ඩුව හදන්නේ කවුද? එය කවරාකාරද? යන්න පිළිබඳව අපි වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැහැ. කවුරුන් ආණ්ඩුව හැදුවත් එහි ප්‍රතිඵලය කුමක්දැයි අපි දන්නේ නැහැ.
මන්ත්‍රී ධුර සංඛ්‍යාව දෙගුනවී තියනවා :
මේ පළාත් පාලන මැතිවරණය පැමිණෙන විට රට තුළ විශාල ආණ්ඩු විරෝධයක් ගොඩනැඟී තිබුණා. ආණ්ඩුවේ පරිපාලනයට එරෙහිව, සහනාධාර කප්පාදුවට එරෙහිව ආණ්ඩු විරෝධයක් තිබුණා. ඒ වගේම වංචා-දුෂණවලට එරෙහිව හඬක් නැඟෙමින් තිබුණා.
ජනතා විමුක්ති පෙරමුණට මේ ගොඩනැගෙමින් තිබුණු ආණ්ඩු විරෝධයට සාපේක්ෂව ප්‍රතිඵලයක් ලැබෙනු ඇතැයි අපි අපේක්ෂා කළා.
මෙම මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වෙමින් තිබෙන ආකාරය අනුව පෙන්නුම් කෙරෙන්නේ, පක්ෂයක් ලෙස අපි අපේක්ෂා කරන ලද බලය මෙම ප්‍රතිඵලය තුළ නොමැති බවයි.
කෙසේ වුවත් පළාත් පාලන මැතිවරණ සමග සංසන්දනය කර බලන විට, 2011 අවසන් වරට පැවැත්වූ මැතිවරණයට සාපේක්ෂව අපට එහිදී ලැබුණු මන්ත්‍රී ධුර 72ක ප්‍රමාණයට වඩා මෙවර විශාල ලෙස මන්ත්‍රී ධුර වැඩිවෙමින් තිබෙනවා.
නිදසුනක් ලෙස කොළඹ නගර සභාව තුළත් කඩුවෙල නගර සභාව තුළත් අපට තිබුණේ එක් නියෝජනයක් පමණයි. මේ වනවිට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව කොළඹ මන්ත්‍රී ධුර 06ක් දක්වාත් කඩුවෙල 05ක් දක්වාත් වැඩිවී තිබෙනවා.
2011 මැතිවරණයට අනුව බැලුවොත්, මන්ත්‍රී සංඛ්‍යාවේත්, ඡන්ද ප්‍රමාණයේත් සැලකිය යුතු වර්ධනයක් තිබෙනවා.
2015 මැතිවරණයට සාපේක්ෂව බලුවොත් ජවිපෙ ඡන්ද ප්‍රතිශතයේත්, ඡන්ද ප්‍රමාණයේත් වර්ධනයක් ඇතිකර ගැනීමට අප සමත්වී තිබෙනවා.
මෙම ප්‍රතිඵලය ලබා ගැනීමේදී අපේ රටේ බොහෝ පිරිස් ඊට දායකත්වය දැක්වුවා. විශේෂයෙන් කලාකරුවන්, විද්වතුන්, මාධ්‍යවේදීන් ඇතුළු බොහෝ දෙනෙක් ජනතා විමුක්ති පෙරමුණට සුවිශේෂී ජයග්‍රහණයක් ලබාදීමට විශාල කාර්යභාරයක් කළා.
අප පක්ෂයක් ලෙස ඔවුන්ටත්, අපට ඡන්දය ලබාදුන් ජනතාවටත් ස්තුතිය පළ කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා.”

(under the courtesy of srilankamirror.lk news web)

Related posts

මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකුට කොරෝනා.. දෙදෙනාම ඇස්ටසෙනිකා මාත‍්‍රා දෙකම ගත් අයයි…

Shiran Viraj

ඉක්වදෝරයට ඩොලර් මිලියන 643 ක ආධාර මුදලක්

Shiran Viraj

කොරෝනා සමාජයේ පැතිරීම නැත්තටම නෑ.. ඇදිරි නීතිය ඉවත් කිරීමට මේ කාලයයි..- සෞඛ්‍ය ඇමතිනිගෙන් නිර්දේශ

Shiran Viraj

Leave a Comment