NewsPolitical

මෙතරම් ඉක්මනට ලංකාවට කොරෝනා එන්නත ලැබුනේ ජනපති නිසයි..

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 පාලනය සදහා පෙබරවාරි මස මැදසතියේ හෝ මාර්තු මස මුල් සතියේ ආරම්භ කිරීමට නියමිතව තිබූ මෙරට එන්නත්කරණ වැඩසටහන අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ දැඩි කැපවීම සහ උනන්දුව මත ජනවාරි මාසයේදීම මෙරට ජනතාවට ලබාදීමට හැකියාව ලැබුණු බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කළාය. අමාත්‍යවරිය මේබව සදහන් කලේ     ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සදහා ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස ඊයේ (28) දින මෙරටට ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත පළමුවරට ශ්‍රී ලංකාවේ භාවිතා කිරීම සදහා අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය හෙවත් IDH රෝහලේදී අද (29) දින ආරම්භවූ අවස්ථාවේදීය.

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා 500,000ක් ඊයේ දිනයේදී මෙරටට ලද අතර සකස්කර ඇති ප්‍රමුඛතා ලේඛනය අනුව එම එන්නත් කොවිඩ් 19 පාලනය සදහා එක්වී සිටින ඉදිරිපෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට මෙන්ම ත්‍රිවිධ හමුදා සහ පොලීසිය වෙත ලබාදීමට කටයුතු සලසා ඇති අතර එහි පළමු පියවර අද දිනයේදී IDH රෝහල ඇතුලුව බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල් 06කදී (කොළඹ ජාතික රෝහල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල – කළුබෝවිල, උතුරු කොළඹ ශික්ෂණ රෝහල – රාගම, මුල්ලේරියාව රෝහල සහ හෝමාගම මූලික රෝහල) සිදුවිය. එක් පුද්ගලයෙකුට එන්නත් මාත්‍රා දෙකක් ලබාගත යුතු අතර අද දිනයේදී ලබාදෙනු ලැබුවේ එහි පළමු මාත්‍රාවයි. එම එන්නත මුලින්ම එන්නත් කරනු ලැබුවේ IDH රෝහලේ විශේෂඥ වෛද්‍ය ආනන්ද අබේවික්‍රම මහතාටය. ඉන් අනතුරුව එම රෝහලේ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනී චම්පිකා ගීතානි උඩුගමකෝරාළ මහත්මියට ලබාදුන් අතර ඉන් අනතුරුව රෝහල් කාර්ය මණ්ඩලය එම එන්නත ලබාගැනීම සදහා දැඩි උනන්දුවකින් කටයුතු කරනු දැකිය හැකි විය. අද දිනයේදී දෙදහසක පමණ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයකට ප්‍රධාන රෝහල් 06කදී එන්නත් කිරීම සිදුකිරීමට අපේක්ෂිතය.

එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සහ ඇස්ට්‍රාසෙනිකා ආයතනය එක්ව නිර්මාණය කර ඇති මෙම එන්නත ලොව පුරා රටවල් 08ක නිෂ්පාදනය කෙරෙන අතර ලංකාවේ අද භාවිතා කල එන්නත ඉන්දියාවේ සීරම් ආයතනයේ නිෂ්පාදිත කොවිෂීල්ඩ් එන්නත වන අතර එහි සාර්ථකත්වය 62% – 90% දක්වා වන බව පර්යේෂණ වාර්තා තහවුරු කර ඇත. මෙම එන්නතෙහි සංකූලතා අවම බවට සහ පර්යේෂණ සදහා භාවිතා කල කිසිවෙකු රෝහල් ගතකර ප්‍රතිකාර ලබාගැනීමට තරම් තත්වයක් උදාවී නොමැති බවට වාර්තාවේ.

ඉන්දියාවේ සීරම් ආයතනය ලොව ප්‍රමුඛතම එන්නත් නිෂ්පාදකයෙකු වන අතර ඔවුන්ගේ කොවිෂීල්ඩ් එන්නත මේවන වට භූතානය, මාළදිවයින, බංග්ලාදේශය, නේපාලය, මියන්මාරය සහ සීෂෙල්ස් රාජ්‍යය වෙත භාවිතය සදහා ලබාදී ඇත.

අද දින IDH රෝහලේ පැවැති එන්නත්කරණ වැඩසටහන නිරීක්ෂණය ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බග්ලේ , ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක එන්නත් පිළිබද ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී ලලිත් වීරතුංග, ලේාක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා පෙන්සේ, ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, වසංගත රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර, IDH රෝහලේ අධ්‍යක්ෂ හසිත අත්තනායක යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Related posts

බංග්ලාදේශ තරග සන්චාරයෙන් කොදෙව් කණ්ඩායමේ ප්‍රබලයින් රැසක් ඉවත් වෙයි

Malar FM

‘ගාමණී’ චිත්‍රප‍ටය තව අවුරුදු 50කින් පසුවත් බැලිය යුතු නිර්මාණයක්

Malar FM

අයවැයෙන් කොපමණ සහන දුන්නත් අපට කමක් නෑ.. ඒ සියල්ල රජය උපයාගත යුතුයි..- IMF

Malar FM