ශ්රී ලංකාවේ කාන්තාවන් අතර බහුලව වාර්තා වන පිළිකා වර්ගයක් ලෙස පියයුරු පිළිකා හඳුනාගෙන තිබුණද, පියයුරු පිළිකා කලින් හඳුනාගැනීමේ මධ්යස්ථාන ලෙස ක්රියාත්මක වන ‘සුවනාරි’ සායන (Suwanari Clinics) වෙත පැමිණෙන්නේ වයස අවුරුදු 35–45 අතර කාන්තාවන්ගෙන් 50%ක පමණ ප්රතිශතයක් බව වාර්තා වේ.
ශ්රී ලංකාව තුළ වසරකට අලුතින් පියයුරු පිළිකා රෝගීන් 6,000ක් පමණ වාර්තා වන අතර, වසරකට කාන්තාවන් 1,000ක් පමණ මෙම රෝගයෙන් ජීවිතක්ෂයට පත්වෙති. පියයුරු පිළිකාවක් මුල් අවධියේදීම හඳුනාගත හොත් එය සම්පූර්ණයෙන්ම සුව කළ හැකි වුවද, බය, ලැජ්ජාව සහ අවබෝධය නොමැතිකම නිසා වෛද්ය පරීක්ෂණ ලබාගැනීමට ප්රමාද වීම ප්රධාන අභියෝගයක් වී ඇත.
එබැවින් පියයුරු පිළිකා කලින් හඳුනාගැනීම ප්රවර්ධනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්රීවරියන්ගේ සංසදය (Women Parliamentarians’ Caucus) සහ සෞඛ්ය අමාත්යාංශය එක්ව නොවැම්බර් 2 වැනිදා දිවයින පුරා විශේෂ ජාතික වැඩසටහනක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඒ අනුව, පාර්ලිමේන්තු මන්ත්රීවරියන්ගේ මූලිකත්වයෙන් ඡන්ද බලප්රදේශ සහ දිස්ත්රික් මට්ටමින් සෞඛ්ය සායන සහ දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කෙරෙන අතර, ඔවුන් ඊට සෘජුවම සහභාගී වීමට නියමිතය. විශේෂයෙන්ම ග්රාමීය ප්රජාවන්, වතුකරය, නාගරික තට්ටු නිවාස සංකීර්ණ සහ අඩු පහසුකම් සහිත ප්රදේශවල කාන්තාවන් සුවනාරි සායන වෙත ගෙන්නා ගැනීමට විශේෂ අවධානයක් යොමු කෙරේ.
මීට අමතරව, ග්රාම නිලධාරී වසම් මට්ටමින් ක්රියාත්මක වන කාන්තා සමිති ඇතුළු සියලුම පාර්ශ්වකරුවන් ඒකරාශී කරගනිමින්, වයස අවුරුදු 35-45 අතර සියලුම කාන්තාවන් පරීක්ෂණ සඳහා යොමු කිරීමේ විධිමත් වැඩසටහනක් ලබන වසරේදී (2027) ක්රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
එමෙන්ම, පාර්ලිමේන්තු මන්ත්රීවරියන්ගේ සංසදය සහ සෞඛ්ය අමාත්යාංශය අතර පැවැති සාකච්ඡාවේදී පහත සඳහන් කරුණු කෙරෙහි ද අවධානය යොමු විය:
- ගර්භාෂ ගෙල පිළිකා (Cervical Cancer): 2027 ජනවාරි මාසයේදී මන්ත්රීවරියන්ගේ මූලිකත්වයෙන් ගර්භාෂ ගෙල පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම.
- ලින්ගික සංවේදී අයවැයකරණය සහ රාජ්ය ප්රතිපත්ති: ජාතික සත්කාරක ප්රතිපත්තිය (National Care Policy) ක්රියාත්මක කිරීම සහ අයවැය ක්රියාවලියට ලිංගික සංවේදී ප්රතිපත්ති ඇතුළත් කිරීම සඳහා තාක්ෂණික උපදේශන සහාය ලබාගැනීම.
- නීතිමය සංශෝධන: ගෘහස්ථ ප්රචණ්ඩත්වය වැළැක්වීම, නඩත්තු නඩු සහ ළමයින්ට ශාරීරික දඬුවම් පැමිණවීම තහනම් කිරීමට අදාළ නීතිවල පවතින අඩුපාඩු සකස් කිරීම සඳහා වූ සංශෝධන වේගවත් කිරීම සහ ඒ සඳහා අධිකරණ අමාත්යාංශය සමඟ සම්බන්ධීකරණයෙන් කටයුතු කිරීම.