Local NewsNews

කාබනික පොහොරෙන් අස්වැන්න සරුවේ.. ගොයම් ගස් ගොවියාටත් වඩා උස යයි.. කරල් පිරේ..

කාබනික වගාව සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තියට අනුව දේශීය පැරණි වී වර්ග කාබනික පොහොර පමණක් යොදා වගා කරන ගොවි බිමක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක් වී තිබේ. දංකොටුව ප්‍රදේශයේ පිහිටි මෙම ගොවි බිම තුළ දේශීය වී වර්ග රැසක් වගා කර තිබෙනු දැකගත හැකිය.

මෙම වගාව සම්බන්ධයෙන් අප සමඟ අදහස් දැක් වූ පැරගෝවා ගොවි සංවිධානයේ සභාපති එම්. ඒ. රසික ප්‍රේමසිරි මහතා “අපේ රටේ පැරණි දේශීය වී වර්ග රැසක් තිබෙනවා. ඒවායේ අස්වැන්න වගේම ගුණයත් වැඩියි. කාබනික පොහොර භාවිත කරලා වී ගොවිතැන සාර්ථක කර ගන්න බෑ කියලා කියන කතාව බොරුවක් කියලා අපි අත්දැකීමෙන් දන්නවා. අපි මේ කුඹුරු යායෙන් සරු අස්වැන්නක් ලබනවා. කිසිම රසායනික පොහොරක් හෝ රසායනික දියර පාවිච්චි කරන්නෙ නෑ. දේශීය වී වර්ග බොහොමයක ගොයම් ගස සරුවට වැඩෙනවා. ගොයම් ගස ගොවියාටත් වඩා උසට හැදෙනවා. මේ නිසා රසායනික දියර වර්ග කුඹුරුවලට ස්ප්‍රේ කරන්න පුළුවන් කමක් නෑ. මේ තත්ත්වය අවබෝධ කරගෙන රසායනික පොහොර හා දියර අලෙවි කර ගන්න තමයි දෙමුහුන් වී වර්ග හඳුන්වලා දීලා බහු ජාතික සමාගම් අපේ දේශීය වී ගොවිතැන විනාශ කරලා තියෙන්නෙ. අවාසනාවකට අපේ කෘෂිකර්ම නිලධාරින් පවා බහු ජාතික සමාගම්වල නිර්දේශ පිළිඅරගෙන ගොවි ජනතාව ඒවාට යොමු කරවනවා.

වර්තමාන ජනාධිපතිවරයා දේශීය කෘෂිකර්මය නැවත මෙරට ක්‍රියාත්මක කරන්න උත්සහ කරනවා. ඒ ගැන අපිට නම් දැනෙන්නෙ සතුටක්. කන්න දෙක තුනක් දුක් විදින්න වුණත් ඒ ගැන අධෛර්යට පත් නොවී උත්සහය අත් නොහැර කටයුතු කළොත් අඩු වියදමින් වැඩි අස්වැන්නක් මෙන්ම ගුණාත්මක නිෂ්පාදනයක් රටට ලබා දිය හැකි බවද ඔහු කීවේය.

පොළොන්නරුව ගොවීන් රසායන පොහොර නොමැතිව වී ගොවිතැන් කළ නොහැකි බව කියද්දී පොළොන්නරුවෙන් ගම්පහට පැමිණි නිමල් සිසිර කුමාර රජයෙන් ලබා දුන් කාබනික පොහොර යොදාගෙන වී ගොවිතැන සාර්ථක කරගෙන ඇති අයුරු මෙම සංචාරයේදී නිරීක්ෂණයට ලක්ව තිබෙනවා. සිසිර කුමාර මහතා ඇතුළු ගම්පහ මීරිගම ප්‍රදේශයේ ගොවි පවුල් විශාල ප්‍රමාණයක් රජයේ කාබනික පොහොර යොදා සිය වී වගාව සරු කරගෙන සිටින අයුරු මෙම නිරීක්ෂණයේදී දක්නට ලැබුණා. අමාත්‍යාංශයේ නිලධාරින් සමඟ ඔවුන්ගේ වී වගාවේ අත්දැකීම් බෙදාගත් සිසිර කුමාර මහතා පෙන්වා දෙන්නේ කුඹුරට යොදන පොහොරවල ඇති පෝෂණ ගුණයට වඩා වී වගාවේදී අවශ්‍ය වන්නේ ගොවියාගේ කැපවීම බවය. ඔහු පෙන්වා දෙන්නේ ගොවීන් නියමිත කාලයට මහ කන්නයේ වී ගොවිතැන ආරම්භ නොකීරිම වී අස්වැන්න අඩු වීමට හා ගොයම් ගස් වැඩීම බාල වීමට හේතුවක් විය හැකි බවය.

මෙම නිරීක්ෂණ චාරිකාවේදී අපට හමු වූ ඉඹුලන්ගොඩ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරි චමින්ද රුවන් පෙරේරා පෙන්වා දෙන්නේ සිය කුඹුරු යාය අධික වැලි සහිත පසක් වුවද කාබනික පොහොර යොදා ගැනීමෙන් වී වගාව සරුකර ගැනීමට හැකියාව ලැබී ඇති බවය. “අපි වසර දෙකක පමණ කාලක ඉඳලා කාබනික වගාව සම්බන්ධයෙන් විවිධ අත්හදා බැලීම් කළා. මෙවර මහ කන්නයේදී රජය කාබනික වගාව අනිවාර්ය කිරීම නිසා මමත් අපේ යායේ අනෙක් ගොවියොත් රජයෙන් දුන්නු පොහොර යොදාගෙන ගොවිතැන කළා. ඒක ඉතාම සාර්ථකයි. කාබනික පොහොර යොදාගෙන වී ගොවිතැන් කරන්න බෑ කියන අයට අපි ආදර්ශයක් ලබා දීලා තියෙනවා. අපි කියන්නේ බොරුද කියල බලන්න ඕනෑම කෙනෙකුට අපේ වෙල්යායට එන්න පුළුවන්” යැයිද ඔහු කීවේය.

ඉඹුල්ගොඩ වෙල්යායේ ධම්මිකා ගොවි මහත්මිය අදහස් දක්වමින් සඳහන් කළේ කලට වේලාවට පොහොර හා උපදෙස් ලැබුණා නම් කාබනික වී වගාව මීටත් වඩා සාර්ථක කර ගන්නට හැකියාව තිබුණ බවය. මෙම ගොවි බිම නිරික්ෂණයේදී ජෛව විවිධත්වය මනාව කළමනාකරණය කරගෙන ඇති ආකාරය ද දැක ගත හැකි විය. එක් වී බීජයක් පැළ කර පැළ 15 – 20 අතර පඳුරකින් ඉහළ අස්වැන්නක් ලබා ගන්නා ආකාරය ද මෙහිදී නීරික්ෂණය විය. කුඩා බිම්කඩකින් වුවද කාබනික පොහොර යොදා ඉහළ අස්වැන්නක් ලබා ගත හැකි බවද ගොවීහු මෙහිදී පෙන්වා දුන්නේය.

ජයසූරිය උඩුකුඹුර
අමාත්‍ය මාධ්‍ය ලේකම්

Related posts

ජනපති යලිත් රට වටා ජන රැලි අමතන්න යයි..

Malar FM

A/L කරන්න ලකුණු අඩු වුණත්,තවත් වසර දෙකක් පාසලේම සිට නොමිලේ හදාරන්න විෂයයන් 26ක්

Malar FM

තවත් නම් ඉන්න බෑ.. මට සමාව දී නිදහස් කරන්න..- රන්ජන් අත්සන් තබා ලිඛිතව ජනපතිගෙන් ඉල්ලයි..

Malar FM