Business Business News News

මෙරට තොරතුරු තාක්ෂණ කර්මාන්තයට චීන වෙළෙඳපොළ විවෘත කරයි..

මෙරට තොරතුරු තාක්ෂණ කර්මාන්තය සඳහා තවදුරටත් චීන වෙළෙඳපොළ විවෘත කර දීමට චීනයේ අවධානය යොමු ව තිබේ.

චීනයේ බීජිං නුවර  පැවති 2023 ගෝලීය ඩිජිටල් ආර්ථික සමුළුවේ දී ශ්‍රී ලංකා සමුළු නියෝජිතයින්  දක්වන ලද අදහස් සැලකිල්ලට ගෙනයි මෙම අවධානය යොමුව තිබෙන්නේ.

තොරතුරු තාක්ෂණ  ක්ෂේත්‍රයේ  ශ්‍රී ලංකාව ලබා තිබෙන වර්ධනය ගැන ද චීන නියෝජිතයින් සිය ප්‍රසාදය මෙහි දී පළ කර තිබේ.

සිව් දිනක් පුරා පැවති මෙවර සමුළුවේ තේමාව වූයේ “ඩිජිටල්කරණය සංවර්ධනයට මඟ පාදයි, බුද්ධිය අනාගතයට මඟ පෙන්වයි” යන්නයි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් පෙරේරා සහ නියෝජ්‍ය ප්‍රධාන  ඩිජිටල් ආර්ථික නිලධාරී සචින්ද්‍ර සමරරත්න යන මහත්වරු මෙම සමුළුවට සහභාගි විය.

සමුළුව ඇමතූ මහේෂ් පෙරේරා මහතා 2030 වසර ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කෙරෙන  ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණ ක්‍රමෝපායන් සහ ඩිජිටල් ආර්ථිකය ශක්තිමත් කිරීමට ගෙන තිබෙන පියවර ගැන මෙන් ම එහි ප්‍රගතිය ගැන ද සඳහන් කළේය.

රටේ ආර්ථික අර්බුදය  උග්‍ර ව පැවති පසුගිය සමයේ  ජාතික ඉන්ධන බලපත්‍රය හඳුන්වා දීම මඟින්, පීඩාවට පත් වූ ජනතාවට සහනයක් වු බව පෙන්වා දුන් ඒ  මහතා ඩිජිටල් තාක්ෂණයේ ප්‍රතිලාභ ජනතාව ලැබූ එක් අවස්ථාවක් වශයෙන් එය හැඳින්වීය.

ශ්‍රී ලංකාවේ ඩිජිටල් මුල්‍ය  ක්ෂේත්‍රය වැඩි දියුණු කිරීම සහ ඩිජිටල් ආර්ථීකය සවිබල ගැන්වීම සඳහා මෙම සමුළුව උත්තේජනයක් වු අතර මෙරට තොරතුරු තාක්ෂණ කර්මාන්තකරුවන් චීන වෙළෙඳපොළට පිවිසීමේ වැදගත්කම මෙහි දී අවධාරණය කෙරිණි.

ලෝකයේ නගර කේන්ද්‍ර කර ගනිමින්  ඩිජිටල් ආර්ථිකය ඉහළ නැංවීමත්, නව්‍ය ව්‍යාපාර හා  නවෝත්පාදන ප්‍රවර්ධනය කිරීමත්, 5G තාක්ෂණය වැනි වේගයෙන් සංවර්ධනය වන ඩිජිටල් ක්ෂේත්‍රයන් වෙත වැඩි අවධානයක් යොමු කිරීමත් මඟින් සාධනීය වෙනස්කම් සඳහා මඟ පෑදෙන බව සමුළු නියෝජිතයන් මෙහි දී පෙන්වා දෙන ලදී.

මෙරට ඩිජිටල්කරණය  වේගවත් කිරීමේ වැඩපිළිවෙළට අදාළ ව ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිත ඩිජිටල් ආයෝජන සමුළුවට සහභාගි වන ලෙස කරන ලද ආරාධනයට ද චීන සමුළු නියෝජිතයින් මෙහි දී යහපත් ප්‍රතිචාර දක්වා තිබේ.

පර්යේෂණ, අධ්‍යාපන, කර්මාන්ත, දේශපාලන ඇතුළු  ක්ෂේත්‍ර  රැසක් නියෝජනය කරමින් තොරතුරු තාක්ෂණ කර්මාන්තකරුවන්, ආයෝජකයින්, විද්වතුන් ඇතුළු චීනය, ශ්‍රී ලංකාව, හොංකොං, මැලේසියාව, නෝර්වේ, ලාඕසය, සිංගප්පූරුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ස්ලොවේනියාව ආදී ආරාධිත රටවල් රැසක නියෝජිතයෝ මෙම සමුළුව සඳහා එක්ව සිටියහ.

– ICTA

Related posts

ජනාධිපති අපේක්ෂකයා මහින්ද තීරණය කරයි

Shiran Viraj

පරීක්ෂණ වැඩි කිරීම සඳහා සැපයුම් අඩුපාඩු බාධාවක් නම් වහාම සොයා බලා අවශ්‍ය සැපයුම් ලබා ගැනීමට කටයුතු කරන්න – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

Shiran Viraj

මහින්ද දේශපාලනයෙන් සමු ගනී..? පොහොට්ටුවන් රනිල්ගේ නායකත්වයට..?

Shiran Viraj

Leave a Comment