Local NewsNewsPolitical

අදානි සුළං විදුලි ව්‍යාපෘතියේ වන්දි මුදල තක්සේරු කිරීමේ වගකීම බලශක්ති අමාත්‍යාංශයට

මන්නාරම සහ පුනරින් කලාපවල ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ සුළං විදුලි ව්‍යාපෘතියෙන් ඉන්දියානු අදානි සමූහය ඉවත් වීමත් සමඟ, ඔවුන්ට ගෙවිය යුතු වන්දි මුදල තක්සේරු කිරීමේ වගකීම විෂය භාර අමාත්‍යාංශය වෙත පැවරීමට රජය පියවර ගෙන ඇත. අදාළ සමාගම ව්‍යාපෘතියේ මූලික කටයුතු වෙනුවෙන් මෙතෙක් වැය කර ඇති පිරිවැය නිවැරදිව ගණනය කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබේ.

කැබිනට් මණ්ඩලයේ උපදෙස් පරිදි සිදු කෙරෙන මෙම අධ්‍යයනයෙන් පසුව ගෙවිය යුතු අවසන් වන්දි මුදල තීරණය කෙරෙනු ඇත. දැනට ලැබී ඇති තොරතුරු අනුව මෙම මුදල රුපියල් කෝටි 30 ත් 50 ත් අතර අගයක් ගනු ඇතැයි අනුමාන කෙරේ. ඇමෙරිකානු ඩොලර් මිලියන 442 ක ආයෝජනයක් සහිතව මෙගාවොට් 350 ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කිරීමේ අරමුණින් පසුගිය රජය සමයේදී අදානි සමාගම සමඟ මෙම ගිවිසුම් අත්සන් කර තිබුණි.

වත්මන් රජය සමඟ පවත්වාගෙන ගිය මිල ගණන් පිළිබඳ සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වීම හේතුවෙන්, ව්‍යාපෘතියෙන් ඉවත් වන බව එම සමාගම පසුගිය මැයි මාසයේදී නිල වශයෙන් දැනුම් දී තිබුණි. ව්‍යාපෘතිය අත්හැර දැමීමට ගත් තීරණයත් සමඟ තමන් දැරූ මූලික වියදම් පියවා ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබාදෙන ලෙස අදානි සමාගම කළ ඉල්ලීම පරිදි, අදාළ ගෙවීම් සම්බන්ධ අවසාන තීරණය ගැනීමේ බලය මේ වන විට බලශක්ති අමාත්‍යාංශය සතු වන බව රජයේ උසස් නිලධාරියෙකු තහවුරු කළේය.

Related posts

ඉන්ධන මිල ඉහළ දැමීම ගැන ඛනිජ තෙල් වෘත්තීය සමිති විරෝධය පායි

Malar FM

නායක්තවය සජිත්ට දුන්නොත් රනිල් සමග එජාප ප‍්‍රබලයන් 15ක් දේශපාලනයෙන් සමුගනී..

Malar FM

අනුර දිසානායකට සහාය දෙන්න මන්ත‍්‍රීවරයෙක් ස්වාධීන වෙයි..

Malar FM