Local NewsNews

රජය සතු ඌන උපයෝජිත වතු ඉඩම් ආයෝජකයන් වෙත බදු පදනම මත ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය ආයතන කිහිපයකට අයත් ඌන උපයෝජිත ඉඩම් සහ දේපළ දෙවන අදියර යටතේ ආයෝජකයන් වෙත බැහැර කිරීමට රජය තීරණය කර තිබේ. ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය සහ ඇල්කඩුව වැවිලි සමාගම යන ආයතන සතු, මෙතෙක් නිසි ප්‍රයෝජනයට නොගත් ඉඩම් ප්‍රශස්ත උපයෝජනයක් සඳහා යොදා ගැනීම මෙම වැඩපිළිවෙළේ මූලික අරමුණයි. 2025 ජුනි මස ලබා දුන් අමාත්‍ය මණ්ඩල අනුමැතියට අනුව පළමු අදියරේ කටයුතු දැනටමත් සිදුවෙමින් පවතින අතර, එම අදියරට ඇතුළත් නොවූ ඉතිරි ඉඩම් මෙලෙස දෙවන අදියර යටතේ සංවර්ධනය කිරීමට නියමිතය.

මෙම නව යෝජනාවට අනුව නියමිත ප්‍රසම්පාදන ක්‍රමවේද අනුගමනය කරමින් සුදුසු ආයෝජකයන් වෙත බදු පදනම මත ඉඩම් ලබා දීමට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය. මෙහිදී දෙවන අදියර යටතේ හඳුනාගත් ඉඩම්වලට අමතරව තේ ශක්ති අරමුදලට අයත් මාතර දිස්ත්‍රික්කයේ පිහිටි හෙක්ටයාර 40.48 කින් යුත් මාවරල වත්ත සහ එහි තේ කර්මාන්ත ශාලාව ද ආයෝජන සඳහා විවෘත වේ. එසේම ශ්‍රී ලංකා කජු සංස්ථාව භුක්ති විඳින මන්නාරම කොන්ඩච්චි වතුයායේ පිහිටි හෙක්ටයාර 1,541 ක දැවැන්ත ඌන උපයෝජිත ඉඩම් ප්‍රමාණය ද මෙම ව්‍යාපෘතියට ඇතුළත් කර ඇත.

මෙම ක්‍රියාවලිය හරහා රජයේ වැවිලි ආයතන සතු සම්පත්වලින් උපරිම ඵලදායිතාවක් ලබා ගැනීමටත්, නව ආයෝජන මගින් රැකියා අවස්ථා උත්පාදනය කිරීමටත් අපේක්ෂා කෙරේ. විනිවිදභාවයකින් යුත් ටෙන්ඩර් පටිපාටියක් මගින් මෙම බදු දීම් සිදු කිරීමට නියමිත අතර, එමගින් අදාළ රාජ්‍ය ආයතනවල මූල්‍ය ශක්තිමත්භාවය ඉහළ නැංවීමට ද අපේක්ෂිතය.

Related posts

Exclusive : කොළඹ ඩෙල්ටා ගිලගනී.. පැතිරීම 75%යි..

Malar FM

මොරගහකන්ද ජලාශය උපරිම මට්ටමට පැමිණීමත් සමග අඩියෙන් අඩිය යටවන අවසන් නගරය මෙන්න (VIDEO)

Malar FM

තවත් ගෑස් පිපිරුමක්..

Malar FM