Local NewsNewsPolitical

මාදැල් සඳහා ටැක්ටර් භාවිතයෙන් සාගර පද්ධතියට සහ කොරල්පරවලට දැවැන්ත හානියක්

විද්‍යාත්මක පදනමකින් තොරව මාදැල් ධීවර කර්මාන්තය සඳහා ටැක්ටර් සහ විංචි (Winches) භාවිත කිරීමට අවසර දීම හේතුවෙන් මෙරට සාගර පද්ධතියට සහ කොරල්පරවලට බරපතළ හානි සිදුව ඇති බව ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසයි. 2015 වසරේදී එවකට සිටි ධීවර බලධාරීන් විසින් කිසිදු විද්‍යාත්මක නිර්දේශයකින් තොරව මෙම අවසරය ලබා දී ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේය.

මෙලෙස යන්ත්‍ර සූත්‍ර භාවිත කරමින් කිලෝමීටර් 4-5ක් වැනි විශාල දුරක සිට මාදැල් ඇදීමේදී, දැල මුහුදු පතුලේ රැඳවීමට යොදන අධික බර නිසා සාගර පතුල හෑරීමට ලක්වන බව ඔහු පෙන්වා දෙයි. මෙම ක්‍රියාවලිය වක්‍රව ‘බොටම් ට්‍රෝලින්’ (Bottom Trawling) ක්‍රමයට සමාන විනාශයක් සිදු කරන අතර, එමගින් කොරල්පර, මුහුදු පැළෑටි සහ මත්ස්‍ය බෝවන ස්ථාන සම්පූර්ණයෙන්ම විනාශ වී යන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ හිටපු ධීවර අමාත්‍යවරුන් මෙම විනාශකාරී තත්ත්වය පිළිබඳව නිසි අවබෝධයකින් තොරව ධීවරයන් නොමඟ යවන බවට ද මෙහිදී චෝදනා එල්ල විය. මාදැල් කර්මාන්තය යනු මෙරට ධීවර සංස්කෘතියේ කොටසක් බවත්, එය ආරක්ෂා කර ගනිමින් තිරසර සංවර්ධනයක් කරා යා යුතු බවත් ඔහු පැවසීය. මේ සම්බන්ධයෙන් දැනට අධිකරණ ක්‍රියාවලියක් පවතින බැවින්, ලබන 27 වනදායින් පසුව ධීවරයන් සමඟ සාකච්ඡා කර පරිසරයත්, ධීවරයාත් ආරක්ෂා වන ස්ථිර විසඳුමකට එළඹීමට රජය සූදානම් බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

අධ්‍යාපනය හා සෞඛ්‍යට ඉතිහාසයේ වැඩිම මුදල මෙවර අයවැයෙන්..

Malar FM

ව්‍යාජ රුපියල් 500 නොට්ටු රාජ්‍ය බැංකුවකින් මාරු කිරිමට පැමිණි කාන්තාවක් අත්අඩංගුවට…

Malar FM

බ්‍රිතාන්‍යයෙන් කොටින්ට තල්ලුවක් – කොටි තහනම ඉවත් කරයි

Malar FM