Local NewsNewsPolitical

හැටන් නගරය සංවර්ධනයට රුපියල් මිලියන 2000ක ප්‍රතිපාදන වෙන් කෙරේ

හැටන් නගරය අදියර කිහිපයක් යටතේ නිසි සැලැස්මකට අනුව සංවර්ධනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රුපියල් මිලියන 2000ක ප්‍රතිපාදන වෙන් කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති මංජුල සුරවීර ආරච්චි මහතා පවසයි. පළමු අදියර යටතේ රුපියල් මිලියන 500ක ප්‍රතිපාදන භාවිත කරමින් හැටන් මල්ලිඅප්පු මංසන්ධියේ සිට දික්ඔය දක්වා කිලෝමීටර් 06ක මාර්ගය කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරීමටත්, නගර මධ්‍යයේ අංග සම්පූර්ණ රථ ගාලක් ඉදිකිරීමටත් නියමිතය.

හැටන් අජන්තා උත්සව ශාලාවේදී ව්‍යාපාරික ප්‍රජාව හමු වී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා සඳහන් කළේ, මීට පෙර පැවති පාලනයන් විසින් ව්‍යාපාරිකයන්ගේ අදහස් හෝ නිසි සැලැස්මක් නොමැතිව සිදු කළ සංවර්ධන කටයුතු නිසා විශාල මුදලක් නාස්ති වී ඇති බවයි. වත්මන් රජය සියලු පාර්ශ්වයන්ගේ යෝජනා සලකා බලමින් විධිමත් ලෙස නගරය සංවර්ධනය කරන බව ඔහු මෙහිදී සහතික විය.

මීට අමතරව නුවරඑළිය දිස්ත්‍රික්කයේ පානීය ජල ගැටලුව විසඳීම සඳහා ද රජයේ අවධානය යොමුව තිබේ. දැනට ජාතික ජල සම්පාදන මණ්ඩලය මගින් පිරිසිදු පානීය ජලය ලබා දෙන්නේ දිස්ත්‍රික්කයේ 11%ක ජනතාවකට පමණක් වන අතර, එම ප්‍රතිශතය 50% දක්වා ඉහළ නැංවීමට රුපියල් බිලියන 56ක ප්‍රතිපාදන වෙන් කර ඇති බව ද මන්ත්‍රීවරයා අනාවරණය කළේය. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මෙනවිය සහ හැටන් දික්ඔය නගර සභාවේ සභාපති අසෝක කරුණාරත්න මහතා ද සහභාගී වූහ.

Related posts

රුපියල බේරා ගැනීමට කැපවිය යුතුයි

Malar FM

වතුකරයට ජපානයේ අතහිත.. තානාපති වතුකරයේ සංචාරයකි..

Malar FM

අපි අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා

Malar FM