NewsPolitical

කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව නොවැම්බර් 03 වැනිදා විවාදයට ගැනීමට තීරණය කෙරේ

කථානායක ඩොක්ටර් ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති සංශෝධිත විශ්වාසභංග යෝජනාව (No-Confidence Motion) නොවැම්බර් 03 වැනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව ඇත.

කථානායක ඩොක්ටර් ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී ඉදිරි සතිය සඳහා වන පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය තීරණය කිරීමෙන් අනතුරුව මෙම පියවර ගෙන තිබේ.

කථානායකවරයාට එරෙහි මෙම විශ්වාසභංග යෝජනාව න්‍යාය පත්‍රයෙන් (Order Book) ඉවත් කරන ලෙස ආණ්ඩු පක්ෂය මීට පෙර පාර්ලිමේන්තු නිලධාරීන්ට උපදෙස් දී තිබුණද, එම යෝජනාව නිසි පරිපාටියට සහ ස්ථාපිත පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට අනුකූලව භාරදී ඇති බවට විපක්ෂය දරන මතය සමඟ පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය ද එකඟ වන බව වාර්තා වේ.

‘ද ඩේලි මෝනින්’ පුවත්පත වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ, අදාළ විශ්වාසභංග යෝජනාවේ සදහන් ඇතැම් කරුණු මේ වන විටත් අධිකරණය හමුවේ පවතින බැවින් (sub judice rule) එය මුල් ස්වරූපයෙන් විවාදයට ගත නොහැකි බවට ආණ්ඩු පක්ෂය මීට පෙර මතයක් ඉදිරිපත් කළ බවයි. කෙසේ වෙතත්, මුල් ලේඛනයම විවාදයට ගත යුතු බවට තදින්ම කියා සිටි විපක්ෂය, යෝජනාවේ පෙළ සංශෝධනය කිරීම හෝ අලුත් යෝජනාවක් භාරදීම ප්‍රතික්ෂේප කර ඇත. පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයේ මතය වී ඇත්තේ ද එම විශ්වාසභංග යෝජනාව නිසි නීතිමය ක්‍රමවේදයට අනුව ඉදිරිපත් කර ඇති බවයි.

පසුව පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ (AG) උපදෙස් ලබාගැනීමට ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය එකඟ වූ නමුත්, ඊයේ දිනය දක්වාත් එම යෝජනාව නීතිපතිවරයා වෙත යොමු කර නොතිබූ බව වාර්තා වේ. මේ පිළිබඳව කළ විමසීමකදී නීතිපති, ජනාධිපති නීතිඥ පරින්ද රණසිංහ (කනිෂ්ඨ) මහතා සඳහන් කළේ මෙම විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සිදුවන වර්ධනයන් පිළිබඳව තමන් දැනුවත් වී නොමැති බවයි.

කථානායකවරයෙකුට එරෙහි විශ්වාසභංග යෝජනාවක් සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් පැතීම පාර්ලිමේන්තු ඉතිහාසයේ කිසිදිනෙක සිදු නොවූවක් බවත්, විවාදය ප්‍රමාද කිරීම සඳහා එම ක්‍රියාවලිය භාවිතා නොකළ යුතු බවත් විපක්ෂය පෙන්වා දෙයි. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ථ කරුණාතිලක මහතා සඳහන් කළේ, රජය මෙම යෝජනාව සෘජුවම ප්‍රතික්ෂේප නොකළද, විවාදයට දිනයක් නියම කිරීමට පෙර නීතිපති උපදෙස් ලබාගත යුතු බවට තදින්ම කියා සිටි බවයි.

සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සහ ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරන විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 44 දෙනෙකු විසින් අත්සන් කරන ලද මෙම විශ්වාසභංග යෝජනාව ඔක්තෝබර් 09 වැනිදා පාර්ලිමේන්තු මහලේකම්, නීතිඥ කුෂාණි රෝහණදීර මහත්මිය වෙත භාර දෙන ලදී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, දූෂණ මර්දන පනත, රාජ්‍ය දේපළවලට එරෙහි වරද පිළිබඳ පනත, දණ්ඩ නීති සංග්‍රහය, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සදාචාර සංග්‍රහය සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් කථානායක ඩොක්ටර් ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව මෙහිදී චෝදනා එල්ල කර ඇත.

Related posts

ලංකාව ආහාර සොයාගන්න අපහසුම රටවල් 05 අතරට..- චන්දිම

Malar FM

විහාරස්ථාන ආරක්ෂා කළ නොහැකි නම් බුද්ධ ශාසනය ද ආරක්ෂා කළ නොහැකියි

Malar FM

සමාජ සත්කා­රය වෙනු­වෙන් ම කැප වූ විෂම භාග

Malar FM