ඉන්දියාවේ දුසේරා (Dussehra), දුර්ගා පූජා (Durga Puja) සහ දීපාවලි (Diwali) ඇතුළු ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල යෙදෙන උත්සව සමය තුළ සංස්කෘතික හා විවේකී සංචාර සඳහා ඉන්දියානු සංචාරකයන්ගේ වැඩිම ආකර්ෂණය දිනාගත් විදේශීය සංචාරක ගමනාන්තය බවට ශ්රී ලංකාව පත්ව ඇත.
ඩිජිටල් සංචාරක වේදිකාවක් වන ‘ඇගෝඩා’ (Agoda) හි නවතම දත්ත වාර්තාවලට අනුව, ඉන්දියානු සංචාරකයන් විසින් ශ්රී ලංකාව සම්බන්ධයෙන් සිදුකර ඇති සංචාරක සෙවීම් ප්රමාණය (searches) ඉකුත් වසරට සාපේක්ෂව 262%ක දැවැන්ත වර්ධනයක් සටහන් කර තිබේ. සංස්කෘතික, සූපවේදී සහ විවේකී අත්දැකීම් ලබාගැනීමට ඉන්දියානුවන් දක්වන කැමැත්ත මෙම වර්ධනයට ප්රධාන ලෙස බලපා ඇත.
ඔක්තෝබර් 15 සිට නොවැම්බර් 30 දක්වා කාල සීමාව තුළ සංචාරය කිරීම සඳහා අගෝස්තු 1 සිට සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ සිදුකරන ලද සෙවීම් පදනම් කරගනිමින් මෙම දත්ත සකස් කර ඇත.
ඉන්දියානු සංචාරකයන්ගේ ප්රමුඛ විදේශීය ගමනාන්ත වර්ධනය:
- ශ්රී ලංකාව: 262%ක වර්ධනයක්
- හොංකොං: 138%ක වර්ධනයක්
- ජපානය: 125%ක වර්ධනයක් (ටෝකියෝ නගරය සඳහා 109%ක වර්ධනයක්)
- වියට්නාමය: 86%ක වර්ධනයක් (ෆූ කුඕක් 124%, හැනෝයි 94%)
- තායිලන්තය: 55%ක වර්ධනයක් (බැංකොක් 65%, ඵුකෙට් 51%)
ඉන්දියානු සංචාරකයන් අතර ජනප්රියතම විදේශීය නගර ලෙස බැංකොක්, ඵුකෙට් සහ ටෝකියෝ සටහන් වී ඇති අතර, ඉන්දියාව ඇතුළත පිහිටි ජනප්රියම සංචාරක ස්ථාන ලෙස ගෝවා (Goa), පූරි (Puri) සහ උදයිපූර් (Udaipur) පත්ව තිබේ. ඉන්දියාව තුළ පූරි නගරය සඳහා වූ සෙවීම් 318%කින් ද, ඌටි (Ooty) සඳහා 166%කින් ද, මුන්නාර් (Munnar) සඳහා 107%කින් ද වර්ධනය වී ඇත.
ඇගෝඩා ආයතනයේ ඉන්දියානු උප මහද්වීප සහ ඉන්දියන් සාගර කලාපීය අධ්යක්ෂ ගෞරව් මලික් (Gaurav Malik) මහතා සඳහන් කළේ, සාම්ප්රදායික රටාවෙන් මිදී තම කැමැත්තට අනුව මුහුදු වෙරළ, ඓතිහාසික නගර සහ කඳුකර ප්රදේශ සංචාර සඳහා තෝරාගැනීමට ඉන්දියානුවන් පෙළඹී ඇති බවයි.