Local NewsNewsSportsSports News

2026 T20 ලෝක කුසලානය වෙනුවෙන් කොළඹ නගරයට විශේෂ රථවාහන සහ ආරක්ෂක සැලැස්මක්

2026 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් විශේෂ රථවාහන සැලැස්මක් සහ දැඩි ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි. පෙබරවාරි 07 වන දින සිට මාර්තු 08 වන දින දක්වා පැවැත්වෙන මෙම තරගාවලියේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය සහ කුරුඳුවත්ත SSC ක්‍රීඩාංගනය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය.

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ තරග පැවැත්වෙන දිනවලදී වින්සන්ට් පෙරේරා මාවත, සෙබස්තියන් ඇළ පාර සහ සද්ධර්ම මාවත ඇතුළු මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනය අවස්ථානුකූලව සීමා කෙරේ. විශේෂයෙන් ශ්‍රී ලංකාව, අයර්ලන්තය, ඉන්දියාව සහ පාකිස්ථානය වැනි රටවල් සහභාගී වන ප්‍රධාන තරග පැවැත්වෙන දිනවලදී ප්‍රේක්ෂකයින් සඳහා පෝට්සිටි (Port City) සහ පැරණි MOD රථගාලේ සිට විශේෂ ප්‍රවාහන සේවයක් ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. අනෙකුත් තරග දිනයන්හිදී ග්‍රෑන්ඩ්පාස් මැටිපාක් සහ අඩි 100 පාර දෙපස රථගාල් පහසුකම් සපයා තිබේ.

SSC ක්‍රීඩාංගනය ආශ්‍රිතව පෙබරවාරි 07, 09, 10, 14 සහ 18 යන දිනවලදී මෙට්ලන්ඩ් පෙදෙස සහ විද්‍යා මාවත ආශ්‍රිතව රථවාහන සීමා පැනවෙනු ඇත. ඒ සඳහා පැමිණෙන රථවාහන ගාල් කිරීමට නිදහස් මාවත, BMICH පරිශ්‍රය සහ SSC ක්‍රීඩා සමාජ රථගාල ඇතුළු ස්ථාන කිහිපයක් වෙන් කර ඇත. සමස්ත තරගාවලියේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 1500ක් සහ රථවාහන නිලධාරීන් 600ක් යොදවා ඇති අතර, සිවිල් ඇඳුමින් සැරසුණු බුද්ධි අංශ නිලධාරීන් ද ආරක්ෂක රාජකාරිවල නිරත වනු ඇත.

විශාල ගමන් මලු, වීදුරු බෝතල්, ඩ්‍රෝන උපකරණ, මුවහත් ආයුධ සහ මත්ද්‍රව්‍ය ක්‍රීඩාංගනය තුළට රැගෙන ඒම සපුරා තහනම් බව පොලිසිය මහජනතාවට දැනුම් දෙයි. තරග නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයින්ට සහ කොළඹ නගරය හරහා ගමන් කරන රියදුරන්ට පවතින රථවාහන සැලැස්ම පිළිබඳව විමසිලිමත් වන ලෙස ද පොලිසිය ඉල්ලා සිටී.

Related posts

රනිල් ගෙනා විදුලි පනත සලකා බලන්න කැබිනට් අනුමැතිය..

Malar FM

වාහන ආනයනයට අවසර දෙන්න සූදානම්..- මහ බැංකු අධිපති

Malar FM

නිවෙස්වලින් අතුරුදන් වූ සිසුවිය සහ සිසුවා මහවැලි ගඟට පනී

Malar FM