Local NewsNewsPolitical

ආබාධිත තැනැත්තන්ට ද සමාජයේ සෙසු අය මෙන්ම සමාන අයිතිවාසිකම් භුක්ති විඳීමට ඉඩ සැලසිය යුතුයි – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

ශාරීරික සීමා මායිම් තම අධ්‍යාපන අභිලාෂයන්ට බාධාවක් කර නොගෙන ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන ආබාධිත සිසුන් වෙනුවෙන් ජනාධිපති අරමුදල මඟින් ක්‍රියාත්මක කරනු ලබන ‘සරසවි දිරිය අභිමන්’ ශිෂ්‍යත්ව වැඩසටහනේ සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය සෙනසුරාදා (11) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

මෙම වැඩසටහන යටතේ ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල දැනට ඉගෙනුම ලබන සියලුම ආබාධිත සිසුන් ඇගයීමට ලක් කෙරෙන අතර, ජනාධිපති අරමුදල මඟින් එක් සිසුවෙකු සඳහා රුපියල් 100,000ක එක්දින ශිෂ්‍යත්ව ආධාරයක් පිරිනමනු ලැබේ. මෙහි සමාරම්භක උත්සවයේදී විශ්වවිද්‍යාල සිසුන් 236 දෙනෙකු සඳහා ශිෂ්‍යත්ව පිරිනැමුණු අතර, මෙම ව්‍යාපෘතිය සඳහා සුදුසුකම් ලබා ඇති සමස්ත සිසුන් සංඛ්‍යාව 400කට ආසන්න වේ. සිසුන්ට කොළඹට පැමිණීමේදී ඇතිවන දුෂ්කරතා සලකා බලා උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත් සඳහා වන ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සව ඉදිරි අගෝස්තු මාසයේදී එම ප්‍රදේශවලදීම පැවැත්වීමට සැලසුම් කර ඇත. සිසුන් සිටින අසුන් වෙතම ගොස් ඔවුන් වෙත ශිෂ්‍යත්ව පිරිනැමීම මෙදින උත්සවයේ කැපී පෙනෙන සුවිශේෂී අංගයක් විය.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ, වත්මන් රජය රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කරනු ලබන්නේ ආබාධිත තැනැත්තන්ට ද සමාජයේ සෙසු සියලු දෙනා හා සමාන අයිතිවාසිකම් භුක්ති විඳීමට හිමිකම් ඇති බව යන මූලධර්මය මත පදනම්ව බවයි. රටේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීම පහසු කටයුත්තක් නොවන බවත්, උසස් පෙළ සමත් වන ලක්ෂ සංඛ්‍යාත සිසුන් අතරින් විශ්වවිද්‍යාලවලට තේරෙන්නේ සීමිත පිරිසක් පමණක් බවත් ඇය පෙන්වා දුන්නාය. එවැනි තත්ත්වයක් තුළ ශාරීරික අභියෝගයන්ට ද නොබියව මුහුණ දෙමින් සරසවි අධ්‍යාපනය ලබන මෙම සිසුන් මුළු මහත් සමාජයටම ආදර්ශයක් බව ද ඇය පැවසුවාය.

ආබාධිත සිසුන් විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුළත් වූයේ දීර්ඝ අරගලයකින් පසුව බව මතක් කළ අග්‍රාමාත්‍යවරිය, තමන් කැමති ඕනෑම විෂයයක් හැදෑරීමේ අයිතිය අද වන විට ඔවුන්ට තහවුරු වී ඇති බවත්, එම අයිතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බාධාවකින් තොර වටපිටාව සකස් කිරීම සැමගේ වගකීමක් බවත් කියා සිටියාය. මේ වෙනුවෙන් සෑම විශ්වවිද්‍යාලයකම විශේෂ ඒකකයක් ස්ථාපිත කළ යුතු අතර, අධ්‍යාපන ඩිජිටල්කරණ කාර්යසාධක බලකාය මේ පිළිබඳව අධ්‍යයනය කර දැනටමත් නියමු ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව ද ඇය සඳහන් කළාය. පළමු අදියර යටතේ සිසුන් 236 දෙනෙකු වෙනුවෙන් රුපියල් මිලියන 23.6ක් වෙන් කරමින් ජනාධිපති අරමුදල ගත් මෙම පියවර අගය කළ අග්‍රාමාත්‍යවරිය, තම දරුවන් වෙනුවෙන් කැපවූ දෙමාපියන්ට ද සිය උපහාරය පුද කළාය.

මෙහිදී අදහස් දැක්වූ කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේ, ජනාධිපති අරමුදල 2028 වසරේදී සිය 50 වැනි සංවත්සරය සැමරීමට නියමිත බවයි. වසර 48කට පසු ජනාධිපති අරමුදල සැබවින්ම ජනතාව සතු අරමුදලක් බවට පත්ව ඇති බව පැවසූ ඒ මහතා, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් අලෙවියෙන් ලැබෙන ආදායමෙන් කොටසක් මේ සඳහා යෙදවෙන බැවින් රටේ සමස්ත ජනතාවම මෙම ශිෂ්‍යත්ව සඳහා දායක වී ඇති බව පෙන්වා දුන්නේය. 2025 වසරේදී පමණක් අධ්‍යාපනය වෙනුවෙන් රුපියල් බිලියන 4.46ක් වෙන් කර ඇති බව ද කථානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අවස්ථාවට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ජනාධිපති අරමුදලේ ලේකම් රොෂාන් ගමගේ, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ දෙමාපියන් විශාල පිරිසක් සහභාගි වූහ.

Related posts

බිමල්ට තව ලොකු තනතුරක්…

Malar FM

ලක්‍ෂ පහමාරක විදුලිය විසන්ධි කිරීම සාමාන්‍ය තත්වයක්…- ලංවිම

Malar FM

සියළු වාහනවල ස්ටිකර් පෝස්ටර් ගලවන්න නියෝග කරයි..

Malar FM