Local NewsNews

ඩෙංගු අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 160 දක්වා පහළට: සෞන්දර්ය විශ්වවිද්‍යාලය අද සිට යළි විවෘතයි

රට තුළ ක්‍රියාත්මක වන ඩෙංගු මර්දන සහ වැළැක්වීමේ වැඩසටහන් හේතුවෙන් මෙරට පවතින ඩෙංගු අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කොට්ඨාස සංඛ්‍යාව 174 සිට 160 දක්වා පහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව මදුරුවන් මර්දනය සඳහා දැනට ක්‍රියාත්මක වැඩපිළිවෙළ ඉදිරි සති දෙකක කාලය තුළ ද අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ඔහු සඳහන් කළේය. ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ සහාය ඇතිව, සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ඇතුළු රාජ්‍ය ආයතන සහ ප්‍රජා දායකත්වය පෙරදැරි කරගනිමින් මෙම වැඩසටහන් ක්‍රියාත්මක වේ.

පසුගිය සතිය පුරා පරිශ්‍ර පරීක්ෂා කිරීම් ලක්ෂ ගණනක් සිදු කර ඇති අතර, පසුගිය පැය 24ක කාලය තුළ පමණක් දිවයින පුරා පරිශ්‍ර 6,263ක් පරීක්ෂාවට ලක් කර තිබේ. ඉන් පරිශ්‍ර 1,074ක මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගෙන ඇති අතර, එහිදී නඩු පැවරීම් 80ක් සහ රතු නිවේදන 152ක් නිකුත් කිරීමට පියවර ගෙන ඇත. වෛද්‍ය කන්නන්ගර මහතා වැඩිදුරටත් සඳහන් කළේ වසරේ ආරම්භයේ සිට පසුගිය සෙනසුරාදා (11) දින දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 68,075 දෙනෙකු සහ මරණ 47ක් වාර්තා වී ඇති බවයි.

මේ අතර, ඩෙංගු ව්‍යාප්තිය හේතුවෙන් සති දෙකක කාලයක් වසා දමා තිබූ කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය අද (13) සිට නැවත විවෘත කිරීමට පාලනාධිකාරිය තීරණය කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති මහාචාර්ය වසන්ත කුමාර මහතා ප්‍රකාශ කළේය. ‘පිරිසිදු ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව ඊයේ (12) දින එම විශ්වවිද්‍යාල පරිශ්‍රයේ විශේෂ පිරිසිදු කිරීමේ සහ දුම් ගැසීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණු අතර, ඒ සඳහා කොළඹ මහා නගර සභාව, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ත්‍රිවිධ හමුදාව දායකත්වය ලබා දී තිබේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් අතර ද ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බැවින්, එහි විද්‍යා පීඨය තාවකාලිකව වසා දමා අධ්‍යයන කටයුතු මාර්ගගත ක්‍රමයට (Online) සිදු කිරීම පිළිබඳව අද (13) දිනයේදී තීරණයක් ගැනීමට නියමිතය. කොළඹ විශ්වවිද්‍යාලයේ කලා පීඨය දැනටමත් තාවකාලිකව වසා දමා ඇති අතර එහි අධ්‍යයන කටයුතු මාර්ගගත ක්‍රමයට සිදු කෙරේ. මීට අමතරව ඩෙංගු ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය ජූලි 7 වැනිදා තාවකාලිකව වසා දැමූ මොරටුව විශ්වවිද්‍යාලය එළඹෙන ජූලි 21 වැනිදා නැවත විවෘත කිරීමට නියමිතය. දිවයින පුරා පිහිටි සෙසු විශ්වවිද්‍යාල වසා දැමීමේ අවශ්‍යතාවක් මෙතෙක් මතු වී නොමැති අතර, අවශ්‍යතාව පරිදි අධ්‍යයන කටයුතු මාර්ගගත ක්‍රමයට සිදු කිරීමට පාලනාධිකාරීන්ට තීරණය කළ හැකි බව ද මහාචාර්ය වසන්ත කුමාර මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

අවදානම් කලාපවල ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ නිවසටම

Malar FM

හඳුනා ගත් භාණ්ඩ කීපයක් ආනයනය කිරීම අත්හිටුවයි

Malar FM

මුදල් අච්චු ගැසීම නවතයි.. පොලී අනුපාත ඉහල දමයි…

Malar FM