මෑතකදී පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව උද්ගත වූ දේශපාලන අර්බුදය හමුවේ, ඊශ්‍රායලයේ නව හවුල් ආණ්ඩුවක් (coalition government) පිහිටුවීමේ වගකීම විපක්ෂයේ ‘යාෂාර්’ (Yashar) පක්ෂයේ නායක ගාඩි අයිසන්කොට් (Gadi Eisenkot) වෙත පැවරීමට ඊශ්‍රායල ජනාධිපති අයිසැක් හර්සොග් (Isaac Herzog) පියවර ගෙන ඇති බව වාර්තා වේ. වසර ගණනාවක් පුරා අග්‍රාමාත්‍ය ධුරය හොබවන ලද බෙන්ජමින් නෙතන්යාහුගේ (Benjamin Netanyahu) පාලනයට එරෙහිව ඊශ්‍රායල දේශපාලන කරළියේ සිදුවූ විශාල පරිවර්තනයක් ලෙස මෙම පියවර හඳුන්වාදිය හැකිය.
හිටපු හමුදාපතිවරයෙකු (former army chief) වන අයිසන්කොට්, ජනාධිපති හර්සොග්ගේ මෙම තීරණයත් සමඟ අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමට ආසන්නතම මට්ටමක පසුවේ. සිය ‘X’ (ට්විටර්) ගිණුමේ සටහනක් තබමින් හෙතෙම අවධාරණය කළේ, රජයක් පිහිටුවීමට වඩාත්ම සුදුසු කාලය මෙය බවත්, මහජන විශ්වාසය නැවත දිනාගැනීම සඳහා උපරිම කැපවීමෙන් කටයුතු කරන බවත්ය.
කෙසේ වෙතත්, පාර්ලිමේන්තුවේ (Knesset) බහුතර බලය තහවුරු කරගනිමින් හවුල් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අයිසන්කොට් වෙත හිමිව ඇත්තේ සති හයක (සති 4ක් සහ අවශ්‍ය නම් සති 2ක දීර්ඝ කිරීමක්) කාලයක් පමණි. මෙම බහුතර බලය (ආසන 120න් ආසන 61ක්) ලබාගැනීම අතිශය අභියෝගාත්මක බව විදේශීය විශ්ලේෂකයෝ පෙන්වා දෙති. 2023 ඔක්තෝබර් 07 වැනිදා හමාස් සංවිධානය එල්ල කළ ප්‍රහාරයෙන් පසුව ගාසා තීරය මුල් කරගනිමින් ආරම්භ වූ දැවැන්ත ගැටුම් හමුවේ ඊශ්‍රායල සමාජය දැඩි ලෙස මතවාදීව බෙදී පැවතීම ඊට ප්‍රධාන හේතුව වී ඇත.
මෑතකදී පැවැති මැතිවරණයේදී නෙතන්යාහුගේ දක්ෂිණාංශික සන්ධානයට (right-wing bloc) පාර්ලිමේන්තුවේ හිමිව තිබූ බහුතර බලය අහිමි වූ අතර, අයිසන්කොට්ගේ ප්රමුඛත්වයෙන් යුත් විපක්ෂ සන්ධානයට ද තනිව ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය ආසන සංඛ්‍යාව (ආසන 48ක්) හිමි නොවීය. මෙම තත්ත්වය හමුවේ, මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කරගත් අරාබි පක්ෂවල (Arab parties) සහයෝගය ඊශ්‍රායලයේ ඉදිරි නායකත්වය තීරණය කිරීම සඳහා තීරණාත්මක සාධකයක් බවට පත්ව ඇත.
අයිසන්කොට් සහ අරාබි පක්ෂ අතර සිදුවිය හැකි ඕනෑම එකඟතාවයක් හෝ සන්ධානයක් වැළැක්වීම සඳහා බෙන්ජමින් නෙතන්යාහු විසින් දැඩි ප්රචාරක මෙහෙයුමක් ආරම්භ කර ඇත. අරාබි පක්ෂ විසින් මැතිවරණය “සොරකම් කර ඇති” (stealing) බවට චෝදනා කරන ඔහු, ත්රස්තවාදීන්ට සහාය දක්වන බවට තමන් චෝදනා කරන පාර්ශ්ව සමඟ එක්ව වහාම ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු නොකරන ලෙස සිය හිතවතුන්ගෙන් ඉල්ලා සිටියි. ඊට පටහැණිව, සිය ආධාරකරුවන් ද ඇතුළත් වන පරිදි “ජාතික එක්සත් ආණ්ඩුවක්” (national unity government) පිහිටුවිය යුතු බවට ඔහු අවධාරණය කරයි.
කෙසේ වෙතත්, නෙතන්යාහුගේ ලි කුඩ් (Likud) පක්ෂය සහ අයිසන්කොට්ගේ නායකත්වයෙන් යුත් සන්ධානය අතර පොදු එකඟතාවයකට පැමිණීම පහසු කටයුත්තක් නොවේ. විශේෂයෙන්ම, අති-ඕතඩොක්ස් (ultra-Orthodox) යොවුන් පිරිස් හමුදා සේවයට අනිවාර්යයෙන් බඳවා ගැනීම සම්බන්ධයෙන් පවතින මතභේද සහ ඔක්තෝබර් 7 ප්‍රහාරයට අදාළ බුද්ධි අංශ අසාර්ථකත්වයන් පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට නෙතන්යාහු දක්වන විරෝධය, මෙම පාර්ශ්වයන් දෙක අතර පවතින ප්‍රධාන ගැටුම්කාරී කරුණු වේ.
අයිසන්කොට්ගේ සන්ධානය ප්‍රකාශ කර ඇත්තේ, අන්ත දක්ෂිණාංශික බලවේග සමඟ පවතින සන්ධානවලින් මිදෙන ලෙස ලි කුඩ් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බවත්, සිය ප්‍රතිපත්තිවලට අනුකූල වන මන්ත්‍රීවරුන් පමණක් නව රජයට ඇතුළත් කරගැනීමට අදහස් කරන බවත්ය.